2025 වන විට ඩොලර් බිලියන 8ක ඉලක්කයක්

මෙරට ආර්ථික අර්බුදයේ මූලික විසඳුම අපනයන ආදායම වර්ධනය කිරීමයි. ඒ පිළිබඳ ඇති අපේක්ෂා අතර ඇඟලුම් කර්මාන්තය ප්‍රමුඛතම ස්ථානය ගනී. ඇඟලුම් අපනයන ඉලක්ක ජයගැනීම පිළිබඳව හා අභියෝග පිළිබඳව දිනමිණ ‘පවුර’ ට අදහස් දැක්වූ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගම් සම්මේලනයේ සභාපති ෂෙරාඩ් අමලින් මහතායි.

මෙරට ඇඟලුම් කර්මාන්තයේ අපනයන ඉලක්කය වූ ඩොලර් බිලියන 5 ක් ඉක්මවීමට හැකිවීම රටක් වශයෙන් අපගේ ආඩම්බරයට හේතුවිය යුතු කරුණක්.

2025 වන විට මෙම ආදායම ඩොලර් බිලියන 08 බවට පත්කිරීමටයි අපි කටයුතු කරන්නේ. ඒ සඳහා වන ලෝක වෙළෙඳපොළ අවශ්‍යතා හා ලෝකයේ නව ප්‍රවණතා පිළිබඳ අපට හොඳ අවබෝධයක් තිබෙනවා. උදාහරණ විදිහට පසුගිය නොවැම්බර් මස 11 දා චීනයේ පැවැති සිංගල්ස් ඩේ පැය 24 ඇතුළත අලිබබා වෙබ් අඩවිය හරහා කළ වෙළෙඳාමේ අගය ඩොලර් බිලියන 31 ක වෙළෙඳාමක් සිදු වී තිබිණි. අපි මෙම වෙ‍ළෙඳාමේ කොටස්කරුවෝ හෝ ඊට සපයන්නෝ හෝ විය හැක්කේ කෙසේදැයි හඳුනාගත යුතුයි. ලොව ඇති විශාලතම වෙළෙඳපොළ වන චීනයට භාණ්ඩ සැපයිය හැක්කේ කෙසේදැයි අපි මංපෙත් විවර කර ගත යුතුයි.

දැන් ලෝකයේ වේගයෙන් පැතිරී යන E Marketing සංකල්පය සමඟ එක්විය හැකි ක්‍රමය කර්මාන්තය ලෙස අපි හඳුනාගත යුතුයි. ඒ සඳහා විශාල වශයෙන් ඇනවුම් ලබාගැනීමට අපගේ කර්මාන්තකරුවන් අවධානය යොමුකළ යුතුයි. විශේෂයෙන්ම අපට සමීපයේ ඇති ඉන්දියාව සහ චීනය විශාල වෙළෙඳපොළවල්. ලෝකයේ උසස් යයි සම්මත සන්නාමයන්ගේ ඇඟලුම් නිෂ්පාදනය කරන අපිට මෙම විශාල වෙළෙඳපොළ ජය ගැනීමට ඇති හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. මෙම වෙළෙඳපොළ සමඟ ගනුදෙනු කිරීමට අවසර ලැබෙනුයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් හරහායි. එමනිසා වෙළෙඳ ගිවිසුම් කඩිනමින් ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය සාධකයක්.

ඇඟලුම් කර්මාන්තයේ 2025 ඉලක්කය සැපිරීමට නම් නිෂ්පාදන කාර්යක්ෂම කිරීම මෙන්ම, නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමත් අත්‍යාවශ්‍ය කරුණක්. දැනටත් ලංකාවේ පවතින උසස් මට්ටමේ නිෂ්පාදන ක්‍රමවේද පිළිබඳ සෑහීමට පත්වන යුරෝපයේ මෙන්ම අමෙරිකානු ආයතන ඔවුන්ගේ නවීන සංකල්ප ඉටුකර ගැනීමට අප වෙත පැමිණෙනවා. අපගේ නිර්මාණශීලීත්වය මෙන්ම හැකියාවන් පිළිබඳව යුරෝපීයන් තුළ පවතින්නේ ඉහළ විශ්වාසයක්. මේ නිසාම අපගේ නිෂ්පාදනයන්ට ඉහළ මිලක් නියම කිරීමේ හැකියාව අපි ගොඩනඟාගෙන තිබෙනවා. මෙම මට්ටම තවදුරටත් පවත්වා ගැනීම කර්මාන්තය සතු වගකීමක්. මේ හේතුව නිසාම මෙම ක්ෂේත්‍රයේ අත්දැකීම් හා පළපුරුද්ද ඇති අයට ලොව වෙනත් තරගකාරී ‍රටවලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. ඉන්දියාව, බංගලිදේශය, පාකිස්තානය, වියට්නාමය, ඉතියෝපියාව සහ කෙන්යාව ඒ අතරත් ප්‍රමුඛ වෙනවා.

දැනට ලොව පුරා ප්‍රවණතාවක් ලෙස පවතින (Garments without Guilt) වැරදීම්වලින් තොර ඇඟලුම් ආයතන, (Susteining enviroment) පරිසරය සුරැකීමේ පිළිවෙත් මෙන්ම නීති හා ආචාරධර්ම මනාව සුරකීම (ETHCAL GARMENTS) පිළිබඳව විශේෂ අවධානයන් යොමුවෙනවා. පරිසරය මෙන්ම මානව සහ කම්කරු හිමිකම් පිළිබඳව අවධාරණයට සංකල්ප කීපයක්.

මෙම සංකල්පවලට සමගාමීව භාණ්ඩ සඳහා ඉහළ මිලක් නියම කිරීමේ ගැටලු ඇතිවී තිබෙනවා. නමුත් අනාගතයේ මේ සඳහා ලැබෙන මිල තවදුරටත් වර්ධනය වේවි යයි විශ්වාස කරනවා. කෙසේ වෙතත් අප‍ගේ ඉලක්කය වන්නේ 2025 වන විට ඇඟලුම් අපනයනයෙන් ලැබෙන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 08 දක්වා වන ඉලක්කය සම්පූර්ණ කිරීම සඳහා වන සියලු අභියෝග සහ බාධක ජය ගැනීමයි.

(Visited 24 times, 1 visits today)

Related posts

Leave a Comment