කුළු බඩු වසන්තය නැවතත්

කුළුබඩු කර්මාන්තය ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත කිරීමට Chelcey Consulting private Limited සහ OSL ආයෝජන ක්ෂේත්‍ර සඟරාව කටයුතු අරඹයි. මේ දෙපාර්ශ්වය එක්ව කුළුබඩු නිෂ්පාදනයේ විප්ලවීය පෙරළියක් සිදු කිරීමේ අරමුණින් මේ වසරේ ජූලි මාසයේ 10 වැනිදා සිට 13 දක්වා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සම්මන්ත්‍රණය නම්කර ඇත්තේ The Global Spice Road Symposium හෙවත් GSRS 2019 ලෙස යි. ප්‍රාථමික කර්මාන්තය අමාත්‍යාංශයේ, කෘෂි අපනයන දෙපාර්තමේන්තුවේ සහ කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදකයන්ගේ සහ අලෙවි කරුවන්ගේ සංගමයේ සහයෝගය ද ඇතිව මෙය සංවිධාන කෙරේ. ඒ සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබාදෙමින් සාර්ථක සම්මන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට කුළුබඩු කවුන්සිලය ද අත්වැල් බැඳ සිටී. මේ මඟින් ශ්‍රී ලංකාවට සහ කුළුබඩු නිෂ්පාදකයන්ට කැපී පෙනෙන ප්‍රගතියක් අත්වනු ඇතැයි GSRS 2019 සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ වසර දහස් ගණනකට පෙර සිට වෙළෙඳ රාජ්‍යයක් ලෙස අපරට යුරෝපය හා මධ්‍ය ආසියාව සමඟ සම්බන්ධවූයේ කුළුබඩු කර්මාන්තයන් ඔස්සේය. දූපතක් ලෙස මෙන්ම ඊටම විශේෂිත කාලගුණික දේශගුණික ලක්ෂණ ඇති රටක් වශයෙන් පැවතීම නිසා ලෝකයේ මිල ඉහළ කුළුබඩු රාශියක උපත හා පැවැත්මගුණාත්මක බව පවතින්නේ අප රට තුළයි.

කුරුඳු, ගම්මිරිස්, එනසල්, සාදික්කා මේ සියල්ලෙහි ඉහළ ගුණාත්මක බව ලොවෙන්ම වාර්තාවන්නේ අපගේ කුළුබඩුවලයි. මේ නිසා මෙම කර්මාන්තය නිසි ආකාරයෙන් නගා සිටුවිය හැකිනම් මෙරට ආර්ථිකයේ ප්‍රමුඛතාව ධන උපායන මාර්ගය බවට කුළුබඩු කර්මාන්තය පත් කළ හැකියි.

මේ සඳහා බාධාවන් රැසක් පවතිනවා. ලංකාවේ කුළු බඩුවල ඇති ඉහළ තත්ත්වය පිළිබඳව ලෝකයේ ඇති පිළිගැනීම නිසා ඇතැම් කූට වංචනික ව්‍යාපාරිකයන් ලංකාවේ කුළු බඩු නමින් වෙනත් රටවලින් ගෙන්වන ලද කුළුබඩු වැඩි මිලකට තවත් රටවලට යවනවා. එවැනි කූට ව්‍යාපාර පසුගිය වකවානුවේ කරගෙන ගොස් තිබුණා. අපි අමාත්‍යාංශය ලෙසත් එය වැළැක්වීමට පියවර ගත්තා. අපගේ කුළුබඩු පිළිබඳ කීර්තිනාමය රකිමින් ඒ ආශ්‍රිත නිෂ්පාදන වැඩිකිරීම මෙන්ම ඒ ආශ්‍රිත අගය එකතු කළ නව නිෂ්පාදන සිදුකිරීමෙන් පමණයි.

මෙම කර්මාන්තය දියුණු කළ හැක්කේ ඒ සඳහා කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන වැඩසටහන් අපි දියත්කරමින් පවතිනවා. යනුවෙන් ඇමැති වරයා වැඩිදුරටත් පැවසීය.

The Global Spice Road Symposium සම්මන්ත්‍රණය දේශීය නිෂ්පාදකයන්ට ජාත්‍යන්තර කුළුබඩු ප්‍රජාව සමග අත්වැල් බැඳ ගැනීමට කදිම අඩිතාලමක් දමා තිබේ. මෙමගින් වර්තමානයේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කුළුබඩු නිෂ්පාදන ක්ෂේත්‍රයේ උන්නතියට අවශ්‍ය ප්‍රායෝගික භාවිතයන් සහ නිශ්චිත විසඳුම් ලබාගැනීමට අවස්ථාව ලැබේ. දින දෙකක සම්මන්ත්‍රණයක් ලෙස මේ වසරේ ජූලි මාසයේ 10 වැනිදා සිට 13 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ පැවැත්වෙන මෙම වැඩසටහනට නිෂ්පාදකයන් 600කට පමණ සිය නිෂ්පාදන විදහා දැක්වීමට පහසුකම් ලැබෙන ප්‍රදර්ශනයක් ද ඇතුළත්ය. මෙම ඒකරාශීවීම තුළින් සැපයුම්කරුවන් සහ ගැණුම්කරුවන් අතර පුළුල් සම්බන්ධතාවක් ඇති කරගැනීමට ද අවස්ථාව ලැබෙනු ඇත.

නිෂ්පාදන ගුණාත්මකභාවය, අලෙවිය සහ ප්‍රවර්ධනය මෙන්ම ශ්‍රී ලංකාවේ පවතින යටිතල ව්‍යුහය ජාත්‍යන්තර අපනයන ඉල්ලුම් සපුරාලීමට ඇති හැකියාව කෙරෙහි ද මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරේ. රටවල් 33ක් අතර සම්බන්ධතාව පවත්වාගනිමින් මෙම සම්මන්ත්‍රණය දිගු කාලීන කුළුබඩු පුනර්ජීවනයකට නිශ්චිත මග පෙන්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම සම්මන්ත්‍රණය සැමට කණ්ඩායමක් ලෙස එක්ව කුළුබඩු වෙළෙඳපොළ නැවත යථා තත්ත්වයට පත් කරලීමේ අධිෂ්ඨානශීලී ගමන් මාර්ගයක් බව The Global Spice Road Symposium හි වැඩසටහන් අධ්‍යක්ෂිකා ෆාමිඩා බුලත්සිංහල මහත්මිය සඳහන් කරයි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හීන්කෙන්ද, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදකයන්ගේ හා අලෙවිකරුවන්ගේ සංගමයේ ආරම්භක සභාපති ගුලාම් චාටූර්, එම සංගමයේ උප සභාපති චාමික නාරංපිටිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ කෘෂි විද්‍යා අධ්‍යයන මණ්ඩලයේ සභාපති මහාචාර්ය බුද්ධි මාරඹේ මහත්වරු වර්තමානයේ මෙරට වෙළෙඳපොළේ පවතින ගැටලු සම්බන්ධව මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

(Visited 23 times, 1 visits today)

Related posts

Leave a Comment