තරුණද? ගොවිතැනට බයද?

සමනල කන්ද මුදුනේ සිට දිවයිනේ සතර දිග්භාග වෙත ගංගාවෝ සතරක් ගලා බසිති. මහවැලි නදිය දිගම ගංගාවයි. එය හෙමින් සීරුවේ ගලා බැස යමින් අප රටට කෙරෙන සේවය මිල කළ නොහැකිය. එමඟින් විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ජලය ලබා දෙයි. කෘෂිකර්ම සංවර්ධනයට අවශ්‍ය ජලය, මොරගහකන්ද වැනි යෝධ ජලාශවලට අවශ්‍ය සම්පූර්ණ ජලය මහවැලි නදියෙන් සැපයේ. එදා පැරැන්නෝ මෙය සිහිනයක් සේ දකින්නට ඇත. එහෙත් එය සැබෑ ක්‍රියාවලියක් බව ජනතාව මොරගහකන්ද ජලාශය දැකීමෙන් නිවැරදි ලෙස තේරුම්ගෙන සිටිති. එය ගොවි ජනතාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි.

බෙල්ලන්ගේ ඔය තරුණ ගොවි ව්‍යාපාරය ද විවිධ බාධක මධ්‍යයේ පසු බසිමින් හා ඉදිරියට යමින් කෘෂිකර්ම ක්ෂේත්‍රය ජයගත් තරුණ ගොවි පිරිසක් පදිංචි කුඩා ගොවිපොළකි. ලෝක උරුමයක් වූ සීගිරිය පුරවරයට ආසන්නයේ, කණ්ඩලම ගොවි ජනපදයෙන් මායිම් වූ මෙය අක්කර 400කින් පමණ සීමා වුණු, එදා මහා කැලෑවකින් වැසී ගිය මූකලානයකි. සතා සිව්පාවුන්ගේ නිජ බිමක් ලෙස ප්‍රසිද්ධ වූ මෙය අක්. 216න් සමන්විත නිවාස 100කට ආසන්න ජනතාවට බත සපයන මහා වෙල්යායක් බවට පත්වේ යයි කිසිවෙකු නොසිතන්නට ඇත.

මෙලෙස පැවති මෙම වන පෙදෙස කෘෂි කර්මාන්තයෙන් සංවර්ධිත ගොවි පොළක් බවට පත්වූයේ අහම්බෙනි. 1965-66 කාලයේදී එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඩඩ්ලි සේනානායකගේ සංකල්පයක් අනුව රැකියා විරහිත උගත් තරුණයන් කෘෂි කර්මාන්තයේ යොදවා ස්වයං රැකියාවක් ලෙස දියුණු විය හැකි බව ප්‍රථම වතාවට සනාථ කරමින් දිවයින පුරා තරුණ ගොවි ව්‍යාපාර 50කට ආසන්න සංඛ්‍යාවක් පිහිටුවනු ලැබීය.

තරුණ ගොවිපොළ

අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායකයන්ගේ විශිෂ්ට මෙහෙවරක ප්‍රතිඵලයක් වශයෙන් ඉනාමළුවේ පිහිටි බෙල්ලන්නේ ඔය තරුණ ගොවිපොළ, 1966 අගෝස්තු 24 වෙනි දින පිහිටුවනු ලැබීය. එදා තරුණ ගොවිපොළ භාරව ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වශයෙන් කටයුතු කළ සුසිල් සිරිවර්ධන මැතිතුමා වර්තමානයේ දී ද රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙකු වශයෙන් කටයුතු කරනු දකින්නට ලැබීම ගොවීන් වශයෙන් අප සැමට ඉමහත් සතුටකි.

මාතලේ දිස්ත්‍රික්කය තුළ පදිංචි වයස අවුරුදු 20-25 අතරේ පසුවන රැකියා විරහිත උගත් තරුණයන් 125ක් තෝරාගෙන මෙම වන පෙදෙසේ කූඩාරම් තුනක තාවකාලිකව පදිංචි කරනු ලැබීය. අක්කර 400 කින් පමණ වටවූ මෙම භූමි ප්‍රදේශය අනාගතයේ දී සංවර්ධිත වෙල්යායකින් හා නිවාස සමූහයකින් හෙබි සුන්දර ගම්මානයක් වේ යැයි කිසි විටෙකවත් අපි නොසිතුවෙමු. අප පිටුපසින් සිටි පාලන අංශයේ නිලධාරි මහතුන්ගේ අවංකභාවය සහ නිවැරැදි උපදේශකත්වය මේ මහා වන සංග්‍රාමයේදී සැමගේ විශ්වාසය ගොඩනගා ගැනීමට උපකාරී විය.

කැලෑ සංග්‍රාමය

විනයගරුක වීම, සාමුහිකව වැඩ කිරීමේ හැකියාව සහ පොදු හැඟීමෙන් තම වගකීම් ඉටුකිරීම නිසා අපට ජයග්‍රහණය කරා වේගවත්ව පැමිණීමට ධෛර්ය ලැබුණි. අපගේ ක්‍රියාකාරීත්ව කෙරෙහි පැහැදුණු රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු රෝද හතරේ ෆර්ගියුෂන් ට්‍රැක්ටර් දෙකක්ද, වතුර පොම්ප ස්ප්‍රේ යන්ත්‍ර, කැලෑ කැපීමට අවශ්‍ය කැති, පොරෝ, මන්නා ආදිය ඇතුළත් කෘෂි උපකරණ රාශියක් ලබා දුන්හ. ඊට අමතරව ඇමරිකන් ආධාර යටතේ පිටි, සීනි, පරිප්පු, කරවල, සැමන්, කිරිපිටි සහ තෙල් හිඟයකින් තොරව ලබාදීමට එම නිලධාරීහු සමත් වූහ.

තවද දෛනික අවශ්‍යතා සඳහා දිනකට රු.1.25ක් බැගින් මසකට රු.37.50ක් අතිරේක ජීවනාධාර මුදලක් ලබා දුනි. මෙය අපව දිරිමත් කිරීමට උපකාර විය. මේ වන විට රජයේ ඉලක්කය වූයේ 1967-68 වර්ෂය අවසාන වීමට ප්‍රථම කැලෑ කැපීම අවසන් කිරීමටය. ඒ අනුව යමින් අපගේ මෙන්ම රජයේ අරමුණු ඉටුකිරීමට තීරණය කර ගත් අප සියලු දෙනා එකා මෙන් නැගී සිට 68 දෙසැම්බර් මාසයට පෙර කැලෑ සංග්‍රාමීය කටයුතු අවසන් කළෝය.

මෙම සිදුවීමත් සමඟ තරුණ ගොවිපොළ භාරව රජයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ සුසිල් සිරිවර්ධන විසින් කරන ලද විශේෂ සමීක්ෂණයකදී දිවයි‍ෙන් පිහිටි තරුණගොවිපොළ අතුරින් දක්ෂතා පෙන්වූ හොඳම ගොවි ව්‍යාපාරය ලෙස බෙල්ලන්නේ ඔය තරුණ ගොවි ව්‍යාපාරය නම් කරනු ලැබීය. මෙය අප විසින් පසුකළ අවසාන කඩඉම ය. මෙය සනාථ කිරීම සඳහා ගනු ලැබූ ඡායාරූපය අද දක්වා සුරක්ෂිතව තබා ඇත.

අප පාලන අංශයේ උපදෙස් පරිදි පසුගිය වසරේදී දැව ඉවත් කිරීමෙන් සකස් කර ගන්නා ලද හේන අතිරේක බෝග වගාව සඳහා යොදවා ගනු ලැබීය. අක්කර 100කට පමණ සීමා වූ මෙම ඉඩමේ මිරිස්, මුංඇට, කව්පි හා තල ආදර්ශ වගාවක් ලෙස ක්‍රියාවට නංවනු ලැබී නිසා අතිරේක ආදායම් මාර්ගයක් උපයා ගැනීමට අවස්ථාව උදා විය. එමඟින් ලැබෙන ආදායම පාලනය කරගැනීම සඳහා බෙල්ලන්නේ ඔය සමුපකාර සමිතිය නමින් නව සංවිධානයක් බිහි විය. එම සමිතිය හරහා අධ්‍යාපන චාරිකා, උත්සව අත්තිකාරම් සහ නිල ඇඳුම් සකසා ගැනීම සඳහා එමඟින් මුදල් ආයෝජනය කරන ලදී. මෙම ක්‍රියාව තරුණයන් දිරිමත් කිරීමට සමත් විය.

තවද තරුණ ගොවි­‍ෙප­ාළවල් භාරව කටයුතු කළ සුසිල් සිරිවර්ධන මහතා අපගේ ගොවිපලට නිතර පැමිණීම අපගේ වාසනාවක් වූ අතර, සැමගේ අවශ්‍යතාව බාධාවකින් තොරව ඉටුකර ගැනීමට පුළුල් ශක්තියක් විය. ගම්මානයේ මධ්‍යම කොටසේ පිහිටි දඹගස්නා වැව නවීකරණය කරගැනීමට එතුමා මඟ පෙන්වීය. එම වැව අපගේ තරුණ ශක්තිය මෙහෙයවා නවීකරණය කිරීම නිසා කුඹුරු ඉඩම් අක්කර 50කට ආසන්න ප්‍රමාණයක් වී ගොවිතැනේ යොදවා ගැනීමට ප්‍රථම වරට අවස්ථාව උදා විය. එයින් නොනැවතුන අප වී වගාව ව්‍යාප්ත කර ගැනීම සඳහා නව ක්‍රියාමාර්ගයක් කරා යොමු වීමට සිදුවිය.

එකල සිටි මාතලේ මහ දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී බෙල්ලන්නේ ඔය ඉහළ කොටසේ ස්ථිර අමුණක් ඉදිකර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය. එය පිළිගත් ආණ්ඩුව අමුණ සැලසුම් කිරීම හා ඉදිකිරීමේ කාර්යය වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත භාර කරනු ලැබීය. අහස් දියෙන් වී ගොවිතැන් කළ අපට අමුණ ඉදිකිරීම නිසා කුඹුරු ඉඩම් ප්‍රමාණය සිවු ගුණයකින් වැඩිකර ගැනීමට හැකිවීම සුවිශේෂ ජයග්‍රහණයකි. අද වන විට ඉඩම් අක්කර 216 ක් යල-මහ කන්න දෙක වගා කෙරෙන අතර ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකිවීම අපගේ උත්සාහයේ අවසාන ප්‍රතිඵලයයි.

අපේක්ෂා

අප තරුණ ගොවි ව්‍යාපාරයේ අනාගත අපේක්ෂාවන් දිරි ගැන්වීම සඳහා රාජ්‍ය ආයතන කීපයක්ම අනගි මෙහෙවරක් ඉටු කළේය. ඒ අතර ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙහිලා සිහිපත් කරනු වටී. එම දෙපාර්තමේන්තු අතරින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වර්ෂ 1966 සිට අද දක්වාම අඛණ්ඩ සේවයේ යෙදී සිටී. අමුණ ඉදිකිරීම f’.c. 1 සහ f.c. 2 යනුවෙන් මීටර් 3000 සහ 3500 බැගින් දික් වූ ප්‍රධාන ඇළ මාර්ග දෙකක් තැනවීම, අතුරු ඇළ මාර්ග ඉදිකිරීම, බෝක්කු සහ පාලම් ඉදිකිරීම සහ අවහිර බාධාවන් ඉවත් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉටුකරන ලද විශිෂ්ට සේවාවන්ය. වසර 60කට ආසන්න කාලයක් තුළ සිදු කරන ලද සේවාව අගය කිරීම අප සැමගේ යුතුකමකි.

ඒ අනුව එදා වාරිමාර්ග ඉංජිනේරු වර්තමානයේ වාරිමාර්ග අධ්‍යක්ෂවරියක් වන දේවේන්ද්‍ර මහත්මිය එදා වාරිමාර්ග ඉංජිනේරු වශයෙන් සේවය කළ වර්තමානයේ කලාප අධ්‍යක්ෂ වරයෙකු වන පලුගස්වැව මහතා ද විශ්‍රාමික ව්‍යාපාර කළමනාකරු දයාරත්න මහතා ද දැනට දඹුල්ල වාරිමාර්ග ඉංජිනේරුවරයා වශයෙන් සේවය කරන ඉංජිනේරුතුමා සහ දැනට ව්‍යාපාර කළමනාකාරිනී කේ. එම්. එස්. විජේරත්න මහත්මිය ඇතුළු නිලධාරි පිරිස ඉතා ගෞරවණීය ලෙස සිහිපත් කර සිටිමු. ගොවි සංවිධානයේ වර්තමාන සභාපති ඩබ්. එම්. එස්. බණ්ඩාර තරුණ මහතා ගොවි ගැටලු මනා ලෙස හඳුනාගෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත සහාය දෙමින් ගොවින් වෙනුවෙන් සේවය කිරීම ප්‍රශංසාවට භාජනය විය යුතුය. එදා තරුණ වයසේ පසුවුණ අපව වගා සංග්‍රාමය සාර්ථක කරගැනීම සඳහා සාමුහිකව නිසිමගට යොමුකළ පාලන අංශයේ නිලධාරීන්වද සිහිපත් කළ යුතු යුතුමය.

සංවර්ධන ක්‍රියාවලිය

1966 අගෝස්තු 24 වෙනි ආරම්භ කළ දැවැන්ත වගා සංග්‍රාමය 1969 දෙසැම්බර් 31 කට පෙර සාර්ථකව අවසන් කර ගැනීමට හැකි වූයේ රාජ්‍ය නිලධාරින්ගෙන් ලැබුණ උපරිම සහයෝගය සහ තරුණ ගොවීන් වශයෙන් අප සියලු දෙනාම එකම අපේක්ෂාවෙන් හා සාමුහිකව ක්‍රියා කළ බැවිනි. එදා ඒ තරුණ ගොවීන් අද වන විට අවුරුදු 70 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ය. අතීතයේ මෙන්ම වර්තමානයේ ද කියාකාරී වැඩිහිටියන් කීප දෙනෙකුගේ නම් සඳහන් කිරීම ඔවුන්ට සිදු කරන ගෞරවයකි.

එදා ලොකු ලූනු වගාව මාතලේ දිස්ත්‍රික්කයට ප්‍රථමයෙන්ම හඳුන්වා දුන් හිටපු ගොවි සංවිධානයේ සභාපති එස්. එම්. පී. සමරකෝන් මහතා, බෙල්ලන්නේ ඔය තරුණ ගොවි ව්‍යාපාරය ආරම්භ කළ ප්‍රථම කළමනාකරු ඩී. ඇම්. ජයතිලක මහතා ආරම්භක සමුපකාර සමිතියේ කාරක සභික හා එක්සත් මරණාධාර සමිතියේ හිටපු ආරම්භක සභාපති කේ. බ්‍රම්පි සිඤ්ඤෝ මහතා I , ඇළ ගොවි සංවිධානයේ සහ එක්සත් මරණාධාර සමිතියේ හිටපු ලේකම් එම්. එම්. යූ. ප්‍රේමචන්ද්‍ර මහතා සහ ක්‍රියාකාරී සාමාජිකයන් වූ ඊ. ආර්. බණ්ඩාරනායක, ඩබ්. එම්. සමරකෝන් බණ්ඩා යන ගොවි මහත්වරු එදා මෙන්ම අදත් තමන්ට හැකි පමණින් සේවයේ යෙදී සිටී.

බෙල්ලන්නේ ඔය තරුණ ගොවි ව්‍යාපාරය සිහිනයක් වන්නට නොදී ඉදිරියට පැමිණ බාධාවන් අධිෂ්ඨානයෙන් යුතුව අභියෝගවලට මුහුණ දෙමින් කළ සංග්‍රාමයේ ප්‍රතිඵල නෙළා ගැනීමට හැකි වීම විශිෂ්ට ජයග්‍රහණයකි. අද වන විට අක්කර 216 න් යුත් සරුසාර වෙල්යායකින් හා අගනා නිවාස සියයකට ආසන්න නිවාස සංකීර්ණයකින් යුත් පුංචි ගම්මානයකි.

එදා මෙන් අදත් මහවැලි ගං කොමලිය මහ මුහුද හා එක් වන්නේ අප රටට අවශ්‍ය විදුලිය උත්පාදනය සඳහා ජලය ලබා දෙමිනි. යෝධ වගා සංග්‍රාමය වෙනුවෙන් ඉදිකරන ලද මොරගහකන්ද වැනි ජලාශ පුරවමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අමිල සේවාවක් ද ඉටු කරමිනි. එලෙසම බෙල්ලන්නේඔය තරුණ ගොවීහු ද මහා වන පෙදෙසක් අතීත ගොවි ජනතාව මෙන් කැති, පොරෝ යොදා ගනිමින් වෙල්යායක් බවට පරිවර්තනය කළේය. එදා තරැණ ගොවින් වශයෙන් ඉමහත් අභිමානයෙන් නිර්මාණය කළ එකී සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් ලෙස ඉදිරියට ගෙනයාම සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙළකට අපගේ දරුවන් ඇප කැපවී ක්‍රියා කිරීමට ඉදිරිපත්ව සිටීම සතුටට හේතුවකි. වර්තමානයේ දී ඒ සඳහා බිහිකරන ලද සංවිධාන කීපයකි.

I ඇළ ගොවි සංවිධානය වාරි කර්මාන්තය හා කෘෂිකර්මාන්තය වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක යෙදී සිටී. නව සභාපති ඩබ්. එම්. එස්. බණ්ඩාර එය මැනවින් ඉටු කරමින් සිටී. තරුණ ශක්ති යොවුන් හවුල සමාජ සේවා හා පොදු කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් අප ගොවි පොළ සාර්ථක කර ගැනීම සඳහා ක්‍රියා කරති. එහි සභාපති කොළඹුගොල්ල මහතා අවංකව තම වගකීම් ඉටු කරමින් සිටී.

එක්සත් මරණාධාර සමිතිය 1980 සිට ක්‍රියාත්මකව පවත්නා අතර හිටපු සභාපති කේ. බ්‍රම්පිසිඤ්ඤෝ මහතා නොයෙකුත් බාධක මධ්‍යයේ ක්‍රියාත්මක කළ අතර, සේවා කටයුතු හා දීමනා හා පහසුකම් වැඩිකරමින් හොඳ සේවාවක් සාමාජිකයන්ට ලබා දීමට පියවර ගනිමින් සිටී. සහන පදනමක් මත ණය පහසුකම් හා ස්වයං රැකියා සඳහා උපකාර ලබා ගැනීම සඳහා සමෘද්ධි සංවර්ධන සමිතියක්ද ක්‍රියාත්මක කෙරේ. වර්තමාන දඹුල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය ද සිහිපත් කළ යුතුය.

තරුණ ගොවියෝ

අධ්‍යාපනය හදාරා උගතුන් වශයෙන් සමාජගත වන තරුණයන් රජයේ රැකියාවන් සොයමින් නිකරුණේ ලත වෙති. මන්දයත් ඔවුන්ගේ එකම බලාපොරොත්තුව රාජ්‍ය සේවයට යාමය. මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුස්සෙකු යැයි පැරැණි කියමනක් ඇත. එදා අප ස්වයං රැකියාවක් වශයෙන් ගොවිතැන තෝරා ගත්තේ නූගත් අය නිසා නොවේ. එදා සිටි රාජ්‍ය නිලධාරීන් අප සැම නිවැරැදි මාර්ගයකට යොමු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. විවිධ අභියෝගවලට අප කාටත් මුහුණපෑමට සිදුවේ. අධිෂ්ඨානයෙන් යුතුව අභියෝගයට මුහුණ දීමේදී කැපවීම අවංකවම විය යුතු බව අප සැම ලත් අත්දැකීම් මත බව යළිත් සිහිපත් කරමි.

ඇම්. ඇල්. කුරේ
ලේකම්
I ඇළ ගොවි සංවිධානය ඉනාමළුව 

(Visited 22 times, 1 visits today)

Related posts

Leave a Comment