ජනපති අපේක්ෂකයා ජවිපෙ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්

20 වන සංශෝධනය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ දැඩි උනන්දුවකින් කටයුතු කරන බව පෙනෙනවා. ඊට හේතුව.

ඔව්, එහි පසුගිය දශක ගණනාවක ජනතා අපේක්ෂාවන් එහි ගැබ් වී තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව 1982 ජනපතිවරණයේ සිට රටේ තිබූ විරෝධතාවය පිළිගනිමින් එය අහෝසි කිරීම මෙහි අරමුණයි.

20 සම්මත කරගන්නට බැරිවුණොත් ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද?

ඔව්, අනිවාර්යයෙන්ම.

ජනපතිවරණයට ජ.වි.පෙ.න් ඉදිරිපත් වන්නේ ඔබ නේද?

ඉදිරිපත් වන අපේක්ෂකයා කවුදැයි තීරණයක් නෑ. එහෙත් ඉදිරිපත් වීම ස්ථීරයි.

ඒ කියන්නේ අපේක්ෂකයෙක් නම් කිරීමට තරම් ඔබ පක්ෂය සංවිධානය වී නැති බවයි

මෙහෙමයි මේ වන විට රනිල්, මෛත්‍රී, මහින්ද කියන පාර්ශ්ව තුනටම එරෙහි බුද්ධිමතුන්, මානව හිතවාදීන් වෙනම පෙරමුණකට ගොනු වෙමින් සිටිනවා. අපේක්ෂකයා ඉදිරිපත් වන්නේ ඒ පෙරමුණෙන්. ජ.වි.පෙ. එයට නායකත්වය දෙනවා. ඔහු ජ.වි.පෙ. වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

ඔබලා ගෙන එන්නෙත් ‍පොදු අපේක්ෂකයෙක්.

‍පොදු අපේක්ෂකයා කියන වචන වත්මන් ජනාධිපතිවරයා විසින් වෙන කෙනෙකුට භාවිත නොකළ හැකි ලෙස හෑල්ලු කර තිබෙනවා. එහෙයින් ‍පොදු අපේක්ෂකයකුට නැවත ඉඩක් නෑ. මේ එක අරමුණකට ගොනු වූ පක්ෂ සහ බලවේග කීපයක අපේක්ෂකයෙක්.

ඔබ 20 සම්මත කරගැනීමට කතා කරන ගමන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ගෙනෙන්න සූදානම් වෙනවා. මේ දෙක පරස්පරයි නේද?

20 සම්මත වුවහොත් ජනාධිපතිවරණයක් නෑ. ධුරය අහෝසියි. අපි එයට උත්සාහ ගන්නවා. එය කළ නොහැකි වී ජනපතිවරණය පැවැත්වූවහොත් එයට ඉදිරිපත් වීමට අපි සූදානම්.

20 අරමුණ ජනාධිපති ධුරය අහෝසි කිරීමට වඩා රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම රැකදීම නේද?

රනිල් රැක ගැනීමේ උවමනාව ඇත්තේ අපට නොවෙයි. මහින්ද පාර්ශ්වයටයි. 20  කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන සංශෝධනයක්. පක්ෂ මාරු කිරීමට වැට බැඳීම ඉන් සිදුවෙනවා. එමගින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙනවා. රට පාර්ලිමේන්තු ක්‍රමයකට ගෙන ගොස් ජනතාවට වගකියන රජයක් පිහිටුවීම මෙහි අවසාන අරමුණයි.

ආණ්ඩුවට තව අවුරුදු එකහමාරයි. ජනාධිපතිට තව මාස දහයකට වඩා නෑ. මේ අව්අස්සේ මොන ව්‍යවස්ථා සංශෝධනද?

ඒ  එක පැත්තක්. මේ අවස්ථාවේ ව්‍යවස්ථා සංශෝධනයට ඉඩ ලැබෙන්න ඔබට නොපෙනෙන හේතුත් තියෙනවා.

ඒ මොනවද?

මේ මොහොතේ මහින්ද රාජපක්ෂ සිටිනුයේ විශාල දේශපාලන අර්බුදයක. එය සංකීර්ණයි. නාමල් රාජපක්ෂ කරළියට ගෙන ඒම ගෝඨාභයගේ ඉදිරිපත් වීම හරහා බිඳ වැටෙනවා. එ.ජා.ප. නායකයත් කැමැතියි විධායකයකට එන්න. ඒ විවෘත ආර්ථිකයගෙන ඒමේදී ඔහුට මඟහැරුණ දේ කරන්න. ඔහුටත් ඇතුළත වගේම පිටතත් ගැටලු තිබෙනවා. ජනාධිපතිටත් තනිව දිනන්න බෑ. මේ විදිහට බලනකොට මේ හැම පාර්ශ්වයක්ම ජනපතිවරණය අතහැර පාර්ලිමේන්තු මැතිවරණයකට එකඟ වීමට ඉඩ තියෙනවා. මෙන්න මේ සුළු අවකාශය ප්‍රයෝජනයට අරගෙන හරි 20 සම්මත කරගන්නට අපි උත්සාහ ගන්නවා. අපි තවම බලා‍පොරොත්තු අතහැර නෑ.

ඔබලා නායකත්වය දෙන සන්ධානය ජනාධිපතිවරණයෙන් පසුව ඉවරද?

නෑ. එහි අරමුණු රැසක් තිබෙනවා. ජනාධිපතිවරණය දිනුවත් විධායක ජනපති ධුරය එකවර අහෝසි වෙන්නේ නෑ. එයට තව පියවර ගණනාවක් තියෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු බලය දිනාගැනීම වැදගත්.

ඒ සඳහා තුනෙන් දෙකක බලය අවශ්‍යයි නේද?

ඔව්. ඒ සඳහා තමයි අප පුළුල් පෙරමුණක් ලෙස ගොඩනැගිය යුත්තේ. පවතින ක්‍රමයෙන් තනි පක්ෂයකට තුනෙන් දෙකේ බලය ලැබෙන්නේ නෑ. එ.ජා.ප., ශ්‍රී ලනිප පවා ජාතික ආණ්ඩු කතාව 19 වන සංශෝධනයට රිංගවා ගත්තේ  ඒ නිසයි.

විධායකය ජනපති ධුරය අහෝසි කිරීම ඔබ කියන ලෙස බොහෝ අසීරුයි වගේ?

ඔව්. ඊට කෙටි ක්‍රම නෑ. පළමුව 20 සම්මත කරගෙන පසුව මැතිවරණ ජයගෙන ජනමත විචාරණයකට යා යුතුයි.

ඔබ ඇතුළු පාර්ශ්ව ගණනාවක් කතා කළේ අලුත් ව්‍යවස්ථාවක් ගැන නේද? දැන් ඉන් බැහැරව ඇති බවයි පෙනේන්නේ.

නෑ. අලුත් ව්‍යවස්ථාවකට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකඟ වුණා. එහෙත් එය ක්‍රියාවට නැගුණේ නෑ. වංචනික බලවේග ප්‍රසිද්ධියේ අලුත් ව්‍යවස්ථාවට සහය පළ කර අප්‍රසිද්ධියේ ඊට බාධා කරනවා.

ඔබලා මහමැතිවරණ ජනාධිපතිවරණ ගැන කතා කළත් ජනාධිපතිවරයා කියන්නේ මුලින්ම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි.

ඒක ප්‍රායෝගික නෑ. මොකද පළාත් සභා මැතිවරණය එක්කෝ පැරණි ක්‍රමයට තියන්න ඕනේ. නැතිනම් අලුත් ක්‍රමයට තියන්න ඕන. මේ වන විට ලංකාවේ ඔය ක්‍රම දෙකම නෑ.

එවැනි තත්ත්වයක් තිබේ නම් පෙර පැවැති සමානුපාතික ක්‍රමයට පහසුවෙන් යන්න පුළුවන්නේ.

එහෙම බැහැනේ. මනාප ක්‍රමයෙන් මහ ගැටලු මතුවෙන බව කවුරුත් කීවානේ. කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයකු ඕනෑ බව කවුරුත් කීවානේ. එතකොට කොහොමද පැරණි ක්‍රමයට යන්නේ. කොහොම හරි හිත හදාගෙන ගියා. කියමුකෝ. ඒත් ඒ විදිහට ඡන්දේ තියන්නත් පාර්ලිමේන්තුවේ 2/3 ඕන. එ.ජා.ප.ය. ඒක කීයටවත් දෙන්නේ නෑ. මොකද එය ඔවුන් සියතින් ගෙල සිඳගන්නවා වගේ වැඩක්.

කෙසේ වෙතත් මේ වනවිට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවී තිබෙනවා. අපරාධකරුවන් අත්අඩංගුවට පත්වෙනවා. මිනිසුන් තුළ ආණ්ඩුව ගැන විශ්වාසයක් ඇතිවෙමින් තිබෙනවා. ඔබලා ගෙන එන ආණ්ඩු විරෝධය පදනමක් නෑ නේද?

මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? මේ ජනාධිපති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියන එක උසාවි තීන්දුවකින් තහවුරු වුණා. හරිනම් ඔහු ඉල්ලා අස්විය යුතුයි. එවන් ජනාධිපතිවරයකුට දෝෂාභියෝගයක් ගෙනඑන්නේ නැතිව ආරක්ෂා කරන්නේ ප්‍රධාන පක්ෂ දෙක. එතැනින්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉවර බව පේනවා. ජනතාවට දැන් සියල්ල වැටහෙමින් තිබෙනවා. ඔවුන් අපි වටා එක් රැස් වෙනවා.

එහෙත් අගමැතිවරයා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදි බවයි ලෝකයට කියන්නේ.

ඔහු මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක් වුණේ අහිමිවූ දේශපාලන බලය රැකගන්න. පුටුවට ගොඩවූ පසු ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදි බව දකින්න නෑ. දැන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කිසිඳු ආයතනයක් ඉතිරිව නෑ. ඒ විනාශය කළේ රනිල් මෛත්‍රී සහ මහින්ද කල්ලියයි. දැන් ඔවුන් යන්නේ කරට අතදාගෙන තමන්ගේ බල ව්‍යාපාරය වෙනුවෙන් යන ගමනක්.

හොඳයි හදිසි මැතිවරණයකට ආණ්ඩුව ගියොත් එය පැවැත්විය යුත්තේ කෙසේද?

පාර්ලිමේන්තු මැතිවරණයකට අවශ්‍ය මැතිවරණ ක්‍රමවේදයක් තවමත් රටතුළ නිර්මාණය වී නෑ. සීමානිර්ණය වැනි ගැටලු මුළුමනින්ම විසඳී නෑ. නමුත් එය ඉක්මනින් කළ හැකියි. පැරණි ආසන ක්‍රමය මනාප ක්‍රමය ඇතුළේත් පැවැති නිසා සුළු අඩුපාඩු සාදාගෙන ඉක්මනින් මැතිවරණයට යා හැකියි.

ඔබේ පක්ෂය මේ පවතින ඡන්ද ක්‍රමයට එකඟද?

ඔව්. පසුගිය පළාත් පාලන මැතිවරණය පැවැති ඡන්ද ක්‍රමයට අපි එකඟයි. මනාප ක්‍රමය එහි නෑ. මැතිවරණ බල ප්‍රදේශයට වගකියනා නියෝජනයක් තිබුණා. කාන්තා නියෝජනය තිබුණා. එයට සෙසු පක්ෂත් එකඟයි. පැවැති අඩුපාඩු නිවැරදි කරගෙන මහමැතිවරණයකට වුවත් එම ක්‍රමයම යොදාගත හැකියි. පළාත් සභා සඳහා එය සුදුසුයි. රටකට එක ඡන්ද ක්‍රමයක් ප්‍රමාණවත්.

ප්‍රධාන පක්ෂ රටට එපා වී ඇති බව ඔබ පවසනවා. එසේ නම් වාමාංශික පක්ෂ සියල්ල එක් කර ඊට විකල්පයක් ගොඩනැගිය හැකියි නේද?

එවැනි පෙරමුණකට තමයි අපි නායකත්වය දෙන්නේ. ඒත් ඔය සියලු පක්ෂ කියන වචනය ප්‍රායෝගික නෑ. ඒක දේශපාලන න්‍යායක්.

රනිල්, මෛත්‍රී, මහින්ද තුන් හවුල පිටමං කරන්නට ඕනෑ කරන පාර්ශ්වයන් එක්වී ගොඩනගාගත් එකමුතුවක් ලෙස මෙය නම් කරන්න පුළුවන්.

හොඳයි මෙවැනි පෙරමුණකට ඔබ පක්ෂයයෙන් කැඩී ගිය පෙරටුගාමීන් වැනි අයත් එකතු වෙනවාද?

කවුරු එකතු වෙනවාද නැද්ද යන්න දැනට කියන්න බෑ. දේශපාලනයේදී එකතු වන වෙන්වන පුද්ගලයන් ගැන කල් තබා කියන්න බෑ. එය තීරණය වන්නේ රටේ දේශපාලන වුවමනාව මත. ජනතාවගේ වුවමනාව ප්‍රතික්ෂේප කරලා කාටවත් දේශපාලනයේ පවතින්න බෑ. ඒකයි ඇත්ත කතාව.

හොඳයි ඔබ පක්ෂයට ජනාධිපතිවරණයට යොමු වීම මගින් ලැබිය හැකි ප්‍රතිඵලය කුමක්ද?

ජනතාවට ප්‍රධාන පක්ෂ දෙක එපා වී ඇති මොහොතක අපට පැවරෙන වගකීම විශාලයි. අපේ ඉදිරිපත්වීම හරහා ජනාධිපතිවරණය තුන්කොන් තරගයක් වෙනවා.

ඔබ එසේ තර්ක නැගුවත් එ.ජා.ප., ශ්‍රීලනිප පක්ෂ දෙකම ජාතික ආණ්ඩුවක හවුල්කරුවන්ව සිටියා. ඔවුන් නැවතත් එක පෙරමුණකට ආවොත්.

ඔව්. එතකොට නැවතත් තරගය දෙකොන් සටනක් වෙනවා. එක අතකින් බලනකොට දැනටත් මේ අය එක පෙරමුණකට ඇවිත් අවසන්. දැන් තියෙන්නේ කරට අතදාගෙන යන ගමන් එක එක්කෙනා මුදුනා වෙන්න උත්සහා කිරීමක්.

එහෙත් මේ වන විට ‍පොහොට්ටු පක්ෂය, එ.ජා.ප.ය, ශ්‍රීලනිපය අතර බරපතළ වියවුල් පවතිනවා නේද?

ඒ අපට පෙනෙන්න කරන දෙයක්නේ. එක බානේ යන ගමං එක්කෙනෙක් ඉස්සර වෙන්න හදනවා. ඒ ඇරුණාම කවුරුත් එක වගේ මිතුරුයි. එක්කෙනෙක් අනෙක් එක්කෙනා ආරක්ෂා කරනවා. ඕක තමයි පහුගිය අවුරුදු තුන හතරේම වුණේ. මීට වසර දෙක තුනකට කලින් මම කීවා මීළඟ ආණ්ඩුව හදන්නේ රනිල්, මෛත්‍රී, මහින්ද ත්‍රිත්වය බව එය ඕනෑම මොහොතක සැබෑ විය හැකිය.

හොඳයි ඔබ පක්ෂ රැසක් සමග එන්නේ තනි පක්ෂයක් ලෙස ජ.වි.පෙ.ට පිළිගැනීමක් නැති නිසා නේද?

අපිට පිළිගැනීමක් තිබෙනවා. නමුත් තනිවම අපි එනකොට ජනතාවට අපි දිනන බව විශ්වාසයක් නෑ. ජනතාව මේ වළෙන් ගොඩඑන්න ඕන. හැබැයි ඊට සමත් ව්‍යාපාරයක් ඔවුනට තවම ලැබි නෑ. අපි තනිවම එන විට අප දිනන බවට ජනතාවට ඒත්තු යන්නේ නෑ. දිනන්න පුළුවන් පෙරමුණක් ලෙස අපි එන්නේ ඒකයි. අපි එහෙම ඉදිරිපත් නොවුණත් නැවත ප්‍රතිගාමී බලවේග එකතු වී ජනතා පරමාධිපත්‍ය විනාශ කරනවා.

හොඳයි. ප්‍රධාන පක්ෂ දෙක ජනපතිවරණය, පළාත් සභා මැතිවරණය මගහැර මහා මැතිවරණයකට ගියොත් ඔබලා ඊට මුහුණ දෙන්නේ තනි පක්ෂයක් ලෙසද?

නෑ. මේ මුළුගැන්වෙන පෙරමුණ ලෙසින් ඊට මුහුණ දෙනවා.

එහි ලකුණ සහ නායකත්වය?

අපි නායකත්වය දෙනවා. ලකුණු වැනි දේ එතරම් අදාළ නෑ. මුල් තැන දෙන්නේ අරමුණටයි.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

(Visited 19 times, 1 visits today)

Related posts

Leave a Comment