ළමා ආරක්ෂක අධිකාරියේ උවමනාවක් මත එම අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් 2017 වසරේදී සිදුකර ඇති මෙම සමීක්‍ෂණයට දිස්ත්‍රික් හයක පාසල් ළමයින් 900ක් පමණ යොදාගෙන තිබිණි.  ඒ අනුව මෙම සමීක්‍ෂණයේදී ශාරීරික දඬුවම් යටතේ මිට මොළවා හෝ පයින් පහරදීම් 17%ක්, බෙල්ලෙන් ඇද හුස්ම හිරකිරීම් 3.6%ක්, අඛණ්ඩව තදින් පහරදීම් 16%ක්, මුගුරක් හෝ තියුණු ආයුධයක් පෙන්වා තර්ජනය කිරීම් 3.8%ක්, බිම වැටෙන සේ තල්ලුකර දැමීම් 07%ක්, පිලිස්සීම් 0.6%ක් අනාවරණය කරගෙන ඇත.  මෙම තත්ත්වය අවම කර ගැනීම වෙනුවෙන් පාසල් තුළ දඬුවම් කිරීම අවසන් කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් වූ මාධ්‍ය හමුවක් (27දා) සෞඛය ප්‍රවර්ධන කාර්යාංශයේදී ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබිණි.


එහිදී පාසල් තුළ කායික දණ්ඩනය හෝ මානසික වශයෙන් සිදු කෙරෙන දණ්ඩනය හෝ ඕනෑම අවස්ථාවක දරුවෙකු විසින් මුහුණ දෙන ශාරීරික දණ්ඩනය හා කෲරත්වයන්ට එරෙහිව පවතින නීතිය පිළිබඳ දැනුවත් කිරීමක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශිකා නීතිඥ ප්‍රීතිකා සකළසූරිය මහත්මිය විසින් ඉදිරිපත් කළාය.
ළමයින් කෲරත්වයට හා වධ හිංසාවට බහුලව ගොදුරු වන සමාජයක එම තත්ත්වය මුලින් උපුටා දැමීම වෙනුවෙන් සමාජය බලාත්මක කළ යුතු අතර, ඒ සඳහා පවතින නීති පිළිබඳ දැනුවත් වීමද වැදගත් වන බැවින් මේ පිළිබඳ රටේ පවතින නීතිය සම්බන්ධයෙන් ඇය දැක්වූ අදහස් මෙලෙස ඉදිරිපත් කරමු.

“කායික දණ්ඩනය පිළිබඳ නීතිමය තත්ත්වය පිළිබඳ කතා කළොත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලාංකික අපට තිබෙනවා ජාත්‍යන්තර බැඳීමක්. ඒ අනුව ළමයින්ගේ කායික දණ්ඩනය සම්බන්ධයෙන් අපට තිබෙන වගකීම හා බැඳීම සම්බන්ධයෙන් හා අපේ රටේ එයට තිබෙන නීතිමය තත්ත්වයන් පිළිබඳවත් කෙටියෙන් මෙහිදී සඳහනක් කරන්නට කැමතියි.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය පිළිබඳ කතා කළොත් එය එක්සත් ජාතීන්ගේ ලියැවිල්ලක්. මෙම ලියැවිල්ලට අත්සන් තබන හැම රටක්ම එයට අත්සන් තැබීමෙන් තහවුරු කරන්නේ එහි දැක්වෙන අයිතිවාසිකම් තමන්ගේ රටේ දරුවන්ට ලබා දෙන බවට කරන ප්‍රතිඥාවයි. ලංකාවත් මෙම ප්‍රඥප්තියට අත්සන් කරලා, ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ තිබෙන අයිතිවාසිකම් අපේ රටේ දරුවන්ට ලබා දෙන බවට තහවුරු කර තිබෙනවා. මේ ප්‍රතිඥාව අනුව ශ්‍රී ලංකාව ළමයින්ට අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිවාසිකමත්, අධ්‍යාපනය ලබන පරිශ්‍රය තුළත්, අධ්‍යාපනය ලබන ක්‍රියාවලිය තුළදීත් ළමයාගේ ගෞරවය රැකෙන පරිදි, වයසට ගැළපෙන ආකාරයට, විනය පවත්වාගෙන යෑමේ ක්‍රියාවලියේදීත්, ළමයාට හානියක් නොවන්නට වගබලා ගන්නා බවට වන වගන්තියක්ද සමගමයි මේ ප්‍රඥප්තියට අත්සන් තැබුවේ.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ ළමයා කියලා දැක්වෙන්නේ අවුරුදු දහඅටකට වඩා අඩු වන සෑම අයෙක්වමයි. රටට වගකීමක් තිබෙනවා මේ අනුව ළමයාගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරන්න වගේම පාසලේදී විනය පරිපාලනය ළමයාගේ ගරුත්වය ආරක්ෂා කෙරෙන විදිහට සිද්ධ කරන්න. ඒ වගේම මේ ප්‍රඥප්තියේ එක් වගන්තියක දැක්වෙනවා කිසිම ළමයෙක් කිසිම වධ හිංසාවකට, වෙනත් කෲර, අමානුෂික හෝ නොහොබිනා සැලකිල්ලකට, එහෙම නැත්නම් දඬුවමකට යටත් නොකරනවාය යනුවෙන්. ඒ අනුව මේ වගේ වගන්ති සහිත ප්‍රතිඥාවකට තමයි අපි 1991 වර්ෂයේදී අත්සන් තැබුවේ.
ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අදාළ කමිටුවක් අවුරුදු 05න් 05ට ප්‍රතිඥාව ඉෂ්ට කරන්න අත්සන් තැබූ රටවල් මොනවද කළේ කියන දේ පිළිබඳ සාකච්ඡා කරන්න රැස්වෙනවා. මේ කමිටුවට අපි වාර්තා කරනවා මේ මේ කටයුතු අපි රටක් වශයෙන්  සිදු කර ඇති බව. මේ යටතේ නීතියෙන් සිදු වූ දේවල් කිහිපයක් තියෙනවා.

නමුත් ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අපි අත්සන් කර තිබුණත්, එය තහවුරු කර තිබුණත් ලංකාව ඇතුළේ එය බලාත්මක කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මෙය රටේ නීතිය නොවෙයි. අපි බැහැරින් අත්සන් කරන, එකඟවන ගිවිසුම් ලංකාව ඇතුළේ බලාත්මක කරන්න නම් ලංකාවේ නීති ක්‍රමයට එය ඇතුළත් විය යුතුයි. එලෙස අත්සන් කරන හා එකඟවන ගිවිසුම් හා ප්‍රඥප්ති  ඉබේම නීති බවට පත්වන  නීති ක්‍රමයක් නොවෙයි අපේ රටේ තියෙන්නේ. 

අපේ රටේ තියෙන්නේ ද්විතීය ක්‍රමයක්. ඒ අනුව එළියෙන් එකඟවන ප්‍රතිඥා රටේ ඇතුළේ නීතියක් වෙන්නට ව්‍යවස්ථාදායකය නැත්නම් පාර්ලිමේන්තුව තුළින් ව්‍යවස්ථාවක් හෝ නීතියක් හැදිය යුතුයි. අපි ප්‍රඥප්ති එකඟතා සම්මුති පිටතින් අත්සන් කළාට පාර්ලිමේන්තුවෙන් නීතියක් හැදුවොත් තමයි එය බලාත්මක වන්නේ.

අපේ රටේ පුරවැසියන් වෙනුවෙන් ව්‍යවස්ථාදායකය හරහා හැදුව එක නීතියක් තමයි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ජේදයේ එකොළොස් වැනි ව්‍යවස්ථාවේ සඳහන් වන කරුණු අපට ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙනුත් බලාත්මක වන නීතිය ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.

මෙය ළමයින්ට පමණක්ම අදාළ වන නීතියක් නොවෙයි. රටේ සමස්ත ප්‍රජාවටම බලාත්මක වන නීතියක් මේක. නමුත් එය ළමයින් වෙනුවෙනුත් බලපාන නීතියයි. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය එන්න කලින් තමයි මේ නීතිය අපේ ව්‍යවස්ථාවට ආවේ. එම ව්‍යවස්ථාව ශාරීරික දඬුවමකට ගොදුරු වුණ පුද්ගලයෙකුට රැකවරණය සඳහා මෙන්ම සහන සඳහා භාවිත කරන්න අවස්ථාව තිබෙනවා. වධ හිංසාවෙන් නිදහස ලබන්න මේ යටතේ වැඩිහිටියෙකුට වගේම ළමයෙකුටත් අවස්ථාව හිමිවෙනවා. මෙම ව්‍යවස්ථාව් කිසිම තැනැත්තෙක්‘ යනුවෙන් දක්වා ඇති නිසා වැඩිහිටියන් වගේම ළමයින්වත් ආවරණය වෙනවා. 

නමුත් මෙම එකොෙළාස් වැනි වගන්තියෙන් වැඩියෙන්ම රැකවරණය ලබලා තිබෙන්නේ වැඩිහිටියන්. නමුත් ළමයින්ටත් අවස්ථාවන් කිහිපයකදී වධ හිංසාවලදී, කෲර, අමානුෂික හෝ අවමන්සහගත සැලකීමකින්, දඬුවම් කිරීම් අවස්ථාවල රැකවරණය පතලා මේ යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අවස්ථා තිබෙනවා.

මේ යටතේ කොයිම හෝ අවස්ථාවක වින්දිතයෙකු බවට පත්වුවහොත්, එනම් වධ හිංසාවකට ගොදුරුව ඒ කියන්නේ විනය හදන නාමයෙන්, පාසල තුළ විනය ක්‍රියාපටිපාටිය පවත්වාගෙන යෑමේ නාමයෙන් හෝ වධ හිංසාවකට කෲර නැත්නම් අමානුෂික, අවමන්සහගත සැලකීමකට දරුවෙකු ගොදුරු වුවහොත් සහන ඉල්ලන්න පුළුවන්. 

හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි ව්‍යවස්ථාවේ පැහැදිලිව කියනවා මේ විදිහේ අයිතිවාසිකමක් කඩවුණොත් එම සිදුවීම සිදුවෙලා මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහන ඉල්ලිය යුතු බව. ඒ අනුව මෙවැනි අවස්ථාවක මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක් ඉල්ලන්න පුළුවන්. මෙහිදී ශාරීරික දඬුවම් පමණක් නොව අවමන්සහගත සැලකිල්ල, මානසික පීඩාවන්ට සහන ලබාගන්න පුළුවන්. රටේ ඉහළම නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එහි ඉතා පුළුල් ලෙස මෙම තත්ත්වය දක්වා තිබෙනවා.

මීට අමතරව පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරනවා මහජනතාවගේ, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ අනුව රටක අපරාධ නීතිය හා සිවිල් නීතිය යනුවෙන් දෙකක් පවතිනවා. මේ අපරාධ නීතිය යටතේ යම් පුද්ගලයෙකුගේ ශරීරයට එරෙහිව කළ වරදකට නීතියෙන් සහනයක් ලබාගන්නේ කොහොමද? යන්නට පිළිතුරක් ලබා ගන්නට තිබෙන වගන්ති දණ්ඩ නීති සංග්‍රහයේ තමයි දැක්වෙන්නේ.

1883 තමයි දණ්ඩ නීති සංග්‍රහය අපේ රටේ නීතියක් බවට පත්වුණේ. මේ නීති හැදෙන්නේ ඒ ඒ කාලවලදී පැවැති සමාජ තත්ත්වය මතයි. ඒ අනුව යම් යම් අවස්ථාවලදී නොගැළපෙන තැන් ආවම සංශෝධනය වීම් සිදුකර තිබෙනවා. මේ අනුව 1995 වර්ෂයේදී දණ්ඩ නීති සංග්‍රහයේ 308 යන වගන්තිය සංශෝධනය කර ළමයින් කෲරත්වයට පත්කිරීම යනුවෙන් වරදක් ඇතුළත් කර තිබෙනවා. මේ වගන්තිය ඉතා දිගයි. 

මේ යටතේ අවුරුදු 18ට අඩු තැනැත්තෙකුගේ භාරකාරත්වය, භාරය හෝ ආරක්ෂාව දරාගෙන සිටින ඕනෑම අයෙකු යනුවෙන් දක්වා තිබෙන වචන හරහා නොවැරදීම උදේ 7.30 සිට 1.30 දක්වා භාරය දරන පාසලේ විදුහල්පති හා ගුරුවරුනුත්, පැය 24 පුරා භාරකාරත්වය දරන දෙමවුපියන්, ළමා නිවාසයක සිටින දරුවෙකු සම්බන්ධයෙන් පැය 24 භාරකාරත්වය දරන පාලිකාවන්, උපකාරක පන්තියක නම් එම ගුරුවරයා නැත්නම් ක්‍රීඩා පුහුණු කරන අවස්ථාවක පුහුණුකරුවා ආදි ඒ ඒ අවස්ථාවල භාරකාරත්වය හා ආරක්ෂාව දරන වැඩිහිටියන් දක්වා තිබෙනවා. 

මේ වැඩිහිටි තැනැත්තෙකු විසින් ළමයාට වේදනාවක්, සෞඛ්‍යට හානියක් ඇතිවන යමක් සිදුකිරීම එම වගන්තියේ තවදුරටත් ශාරීරික හෝ මානසිකව වුවත් %‘හානිය’ සිදුවිය හැකි බව පැහැදිලි කර දක්වනවා. ඒ අනුව ඇසේ පෙනීමට, කනේ ඇසීමකට, ශරීරයේ අවයවයකට ඉන්ද්‍රීයකට කරන තුවාලයක්, මානසික ව්‍යාකූලතාවක් ආදි ඕනම දෙයක් කරන හෝ කරන්නට තැත්කරන කවුරුන් හෝ කෙනෙකු ළමයින් කෲරත්වයට පත්කිරීමේ වරදක් සිදු කරනවා යනුවෙන් දක්වා තිබෙනවා. 

මෙවන් සිදුවීමක් මහාධිකරණයක අහන නඩුවක් බවට පත්වෙනවා. මෙවන් අපරාධ පහළ මහේස්ත්‍රාත් අධිකරණයේ අහන වරදක් නොවෙයි. මෙවන් වරදක් කළ අයෙක්ට අවුරුදු දෙකත් දහයත් අතර කාලයක සිරදඬුවම්, බරපතළ වැඩ සහිතව හෝ නොමැතිව ලබාදීම අධිකරණයේ විනිසුරුවරයාට සිදුකළ හැකියි. ඒ වගේම දඩයක් හා වන්දියක් නියම කරන්නටද පුළුවන්. 

දැනට මේ තිබෙන නීති තමයි, වැඩි වශයෙන් පාසල් තුළ මෙන්ම ඕනෑම තැනකදී ළමයෙකු කෲරත්වයට පත්කිරීම්වලදී ක්‍රියාත්මක වෙන්නේ. මේ අනුව දවල් කාලයේ ළමයින් අවධිව ඉන්න පරිසරයේ තමයි ළමයෙකුට කෲරත්වය වැඩියෙන්ම විඳින්නට ලැබෙන්නේ. ඒ අනුව පාසල තමයි එයට ඇතුළත් වෙන්නේ. නමුත් අධිකරණයේ නඩු තිබෙනවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ අයට, ළමා නිවාසවල පාලකයන්ට වගේම දෙමවුපියන්ටත් එරෙහිව. එවිට කාටහරි හිතන්න පුළුවන් අම්මට තාත්තට එරෙහිව කෲරත්වයට නඩු දාන්න පුළුවන්ද කියලා. 

කරුණු තියනවා නම්, වින්දිතයා කටින් නොකිව්වත් තුවාල කතා කරන වෙලාවල් එනවා. ළමයින් තුවාල වෙලා ආවම මේ තුවාලේ කවුරු කළ එකක්ද කියනදේ හෙව්වම භාරකාරත්වය ආරක්ෂාව දරන අය වෙත ඇඟිල්ල දිගු වෙනවා. ඒ අනුව ඔවුන් චූදිතයන් බවට පත්වෙනවා. 

අපරාධ නඩුවක් නිසා මේවා ඔප්පු කිරීම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්නට සිදුවෙනවා. සමහර වෙලාවට වින්දිතයා පළමු සාක්ෂිකරුවා වෙනවා. ඒ අනුව ළමයාට සිදුවීම වුණ ආකාරය සාක්ෂි කූඩුවේදී කියන්නට වෙනවා. මීළඟට ඇසින් දුටු සාක්ෂිකරුවන් ඉන්නවා නම්, ඔවුන්ගේ සාක්ෂි ඉදිරිපත් වෙනවා. නොවැරදීම ශාරීරික තුවාල තිබෙනවා නම්, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ මතය ඉදිරිපත් කෙරෙනවා. දරුවා කියන දේ එක්ක තුවාල සැස‍දෙනවා නම් අධිකරණ වෛද්‍ය නිලධාරියා දරුවා වෙනුවෙන් සාක්ෂි දෙන හොඳම රාජ්‍ය නිලධාරියා බවට පත්වෙනවා.

මීට අමතරව ළමයාගේ ශරීරයේ තුවාල නොතිබුණත් දඬුවම නිසා  මානසික වශයෙන් සිදුවන මනෝ විද්‍යාත්මක බලපෑමක් සිද්ධ වී ඇති බවට වන විශ්ලේෂණ වාර්තාත් සාක්ෂියක් ලෙස චූදිතයාට එරෙහිව අධිකරණයේදී සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නට පුළුවන්. හොඳට බර ඇති සාක්ෂිවලින් ඔප්පු වුණොත් අවුරුදු 2ත්, 10ත් අතර දඬුවම් චූදිතයාට ලබාදීමේ හැකියාවක් තිබෙනවා.

මීට අමතරව ළමයින් මුහුණ දෙන මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා ආයතන මට්ටමින් නිකුත් කරනු ලැබූ චක්‍රලේඛ හා රෙගුලාසි තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් තුළ විනය පවත්වා ගෙන යෑමට විටින් විට චක්‍රලේඛ නිකුත් කර තිබෙනවා. මෙම චක්‍රලේඛ රජයේ පාසල් හා රජය අනුබද්ධිත පෞද්ගලික පාසල් ඉලක්ක කරගෙනයි නිකුත් කර තිබෙන්නේ. 

අවසන් වරට 2016 අංක 12 චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා පාසල් තුළ ළමයින් හික්මවීම හා ළමයින්ගේ විනය පාලනය කිරීම සම්බන්ධයෙන්. මීට පෙර 2005 අංක 17 යනුවෙන් චක්‍රලේඛ නිකුත් කර තිබෙනවා. මේ දෙකෙන්ම ඉලක්ක කරගෙන තිබෙන්නේ රජයට අනුබද්ධ ආයතන විතරයි. එතනින් බැහැර අධ්‍යාපන ආයතනවලට මෙය බලපෑමක් වන්නේ නැහැ. 

ළමා ආරක්ෂක අධිකාරිය විදිහට ළමයින් හික්මවීම එපා කියන්නේ නැහැ. නමුත් හික්මවීම කළ යුත්තේ කුමන ආකාරයෙන්ද කියන දේ වැඩිහිටියන් සොයාගත යුතුයි.
අපව හික්මවූවේ ගහලයි. ඒ නිසා අපි ළමයි හික්ම වන්නේත් ශාරීරික දඬුවම් දීමෙන් කියන දේ නොවිය යුතුයි. මොකද වැඩිහිටි අපි පොඩි කාලයේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය තිබුනේත් නැහැ. අපේ රට එහෙම දෙයකට ප්‍රතිඥා දීලා තිබ්බේත් නැහැ. කාලය වෙනස් වෙනකොට, නීතිය වෙනස් වෙනකොට රටේ නීතියට පුරවැසියන් විදිහට අපි යටත් වන්නට වගේම ගරු කරන්නට යුතුකමක් තිබෙනවා.*

නදීශානි පතිරණ

(Visited 23 times, 1 visits today)

Related posts

Leave a Comment