ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට උරදෙන ඇඟලූම් කර්මාන්තයේ දිරිය කතුන්

ලෝක බැංකුව විසින් 2018 වසරේදී ප‍්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව, ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කලාපය වන්නේ දකුණු ආසියාවයි. කෙසේ වුවද කලාපයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට සාපේක්ෂව රැකියා අවස්ථාවන් වර්ධනය වී නොමැත. කලාපය පුරාම සමාජ හා සංස්කෘතික හේතු නිසා රැකියා යෝජිත අනුපාතය පහළ ගොස් ඇති අතර මේ අඩුවීම බොහෝදුරට සිදුවී ඇත්තේ කාන්තාවන් සම්බන්ධයෙනි. මෙතෙක් කර ඇති අධ්‍යයන වලට අනුව 2005 සිට 2015 දක්වා දශකය තුළ, කාන්තා රැුකියා නියුක්තය වාර්ෂිකව 1% කින් පහළ ගොස් තිබේ.

අද ලෝක කාන්තා දිනයයි. මෙය අපට ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම බලකායට ලැබෙන කාන්තා දායකත්වය පිළිබඳව සාකච්ඡුා කිරීමට සහ කාන්තාවන් සවිබල ගැන්වීමට ලැබෙන මහඟු අවස්ථාවකි.

ගෘහ සේවයේ සිට සෞඛ්‍ය සේවය දක්වා ඉතාමත් පුළුල් පරාසයකට කාන්තාවන්ගේ දායකත්වය හිමි වේ. කාන්තාවන් රැකියා කිරීම සම්බන්ධයෙන් සමාජයේ දුර්මත කොතෙක් පැවතියද, ඔවුන්ගෙන් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය සුළුපටු නැත. කාන්තාවන්ගේ දායකත්වය විශාල වශයෙන් හිමිවී ඇති ඇඟලූම් කර්මාන්තය දැනටමත් කාන්තාවන් 300,000 කට අධික සංඛ්‍යාවකට රැුකියා අවස්ථා පිරිනමා තිබේ. මෙම කර්මාන්තය 2018 වසරේදී ඉපයූ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.2 ක් වූ අතර මෙරට බිලියන 5 අපනයන ආදායම් සීමාව පසුකළ ප‍්‍රථම කර්මාන්තය බවටද එය පත්විය.

කෙසේ වුවද, ඇඟලූම් ක්ෂේත‍්‍රයේ රැකියා වල නියුතු කාන්තාවන් සම්බන්ධයෙන් සමාජය තුළ පවතින ආකල්ප නිසා, එම ක්ෂේත‍්‍රයේ රැුකියා වෙත යොමුවීමට කාන්තාවන් පසුබට වන බව, ආසියානු සංවර්ධන බැංකුව මගින් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. මෙම කාන්තාවන් රටේ ආර්ථිකයට කෙතරම් පුළුල් දායකත්වයක් ලබාදුන්නද, ‘ජුකී කෙල්ලන්’ වැනි අවමානාත්මක යෙදුම් වලින් ඔවුන් හඳුන්වනු ලබනු විනා, ඔවුන්ගෙන් ඉටුවන මෙහෙවරට නිසි ගෞරවයක් සමාජයෙන් තවමත් ලැබෙන්නේ නැත.

මෙම වැරදි ආකල්ප නිසා, කාන්තාවක් ඇඟලූම් ක්ෂේත‍්‍රයේ රැකියාවක් කෙරෙහි උනන්දුව පළකළ විටම, දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ගුරුවරුන් සහ ආගමික පූජකයන් වැනි බොහෝ පාර්ශ්ව එම තීරණය අධෛර්යමත් කිරීමට කටයුතු කරන බව මෙම අධ්‍යයනය මගින් වැඩිදුරටත් අනාවරණය වී ඇත. මෙබඳු බලපෑම් ඇතිකරන්නන් මෙම ක්ෂේත‍්‍රයේ කාන්තාවන් හැකියාවන්ගෙන් තොර අය ලෙස හඳුන්වන අතර, ක්ෂේත‍්‍රය මගින් සංස්කෘතික හා සදාචාරමය පිරිහීමක් ඇතිවන බවටත්, ක්ෂේත‍්‍රයේ නියුතු කාන්තාවන් ලිංගික සූරාකෑම් වලට ලක්වන බවටත් හේතු දක්වති.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රෙහාන් ලේකානි මහතා පැවසුවේ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යයනය සමග තමන් එකඟ වන බවයි. මෙරට ඇඟලූම් ක්ෂේත‍්‍රය මගින් සිදුකරන ලද පර්යේෂණ වලදීද මීට සමාන නිරීක්ෂණයන් සිදුවී ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, ඇඟලූම් ක්ෂේත‍්‍රයට සම්බන්ධ වන කාන්තාවන්ට පරිපූර්ණ දැනුමක් හා පුහුණුවක් ලබාදීම සඳහා මූල්‍ය වැඩමුළු සහ තවත් වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක වන බවයි. ‘‘මෙම ක්ෂේත‍්‍රයේ දියුණුවට කාන්තාවන්ගෙන් ලැබෙන්නේ විශාල දායකත්වයක්. ඒ නිසා, අතීතයේ පටන්ම ඔවුන්ට මනා දැනුමක් හා පුහුණුවක් ලබාදෙමින්, වෘත්තීය ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේදීද සාර්ථකත්වය ළඟා කරගැනීම සඳහා අවශ්‍ය පසුබිම අප සකසා දී තිබෙනවා.” ඒ මහතා පැවසී ය.

මේ ආකාරයට ඇඟලූම් ක්ෂේත‍්‍රය සම්බන්ධ ඉහළ තලයේ පුහුණුවක් ලබාදීමට අමතරව, ඇඟලූම් ක්ෂේත‍්‍රයේ කාන්තාවන්ට තම අනාගත අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය සහයද ක්ෂේත‍්‍ර මගින් පිරිනැමේ.

එදා මෙදාතුර ඇඟලූම් ක්ෂේත‍්‍රයේ සේවිකාවන් රාශියක් (මේ අතරින් බොහෝ දෙනා ඊට පෙර වෙනත් රැුකියාවක් සිදුකර නොතිබිණි) තම ආදායමින් මුදල් ඉතිරි කරමින්, තම දරුවන්ට, පවුල් වලට සහ සමාජයට වඩාත් යහපත් අනාගතයක් උදාකර දීම සඳහා දායක වී තිබේ. දරුවන්ට වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබාදීම, වඩා හොඳ සෞඛ්‍ය සේවාවන් මගින් පවුලේ ජීවන තත්ත්වය උසස් කිරීම, නව තාක්ෂණික උපාංග සහ රථවාහන ආදිය මිලදීගැනීම, නිවාස තැනීම පමණක් නොව, තම සහෝදරියන්ගේ විවාහ අවස්ථා වලදී දෑවැදි පිරිනැමීම දක්වා විවිධ ආකාරයන්ගෙන් ඔවුන් මෙම මෙහෙවරට දායක වී ඇත. තවද ඇඟලූම් ක්ෂේත‍්‍රය තුළදී ලද පළපුරුද්ද ඔස්සේ තම ව්‍යවසායක කුසලතා අවදි කරමින්, ඇඳුම් මැසීම, ආපනශාලා සහ ප‍්‍රවාහන සේවා වැනි ක්ෂේත‍්‍ර වල සුළු ව්‍යාපාර ආරම්භ කිරීමටද ඔවුන්ට හැකියාව ලැබී තිබේ. මෙහි දක්වා ඇත්තේ ඇඟලූම් ක්ෂේත‍්‍රයෙන් ලැබෙන දායකත්වයෙන් කාන්තාවන් තම ජීවිත වඩාත් යහපත් කරගන්නා ආකාරය සම්බන්ධ උදාහරණ කිහිපයක් පමණි.

එම කාන්තාවන්ගෙන් ලැබෙන මහඟු දායකත්වය සම්බන්ධයෙන් ඇඟලූම් ක්ෂේත‍්‍රය සහ එහි ප‍්‍රධාන පාර්ශ්වකරුවන් හොඳින් දැන සිටියද, කර්මාන්තය සහ පොදුවේ රටේ ආර්ථිකය උදෙසා ඔවුන්ගෙන් ඉටුවන කාර්යභාරය පිළිබඳව පොදු සමාජය තවමත් දැනුවත් වී නොමැත. මේ නිසා තවමත් ඔවුන්ට සමාජයෙන් නිසි ඇගයීමක් නොලැබේ. මේ කාන්තාවන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, සැමියන්/පෙම්වතුන්, ගුරුවරුන් ඇතුළු බොහෝ අය, මෙම දිරිය කතුන්ගේ මෙහෙවර ගැන නිසි අවබෝධයක් ලබා නොමැත. මෙම කාන්තාවන්ගේ දායකත්වය නිසා ඇඟලූම් ක්ෂේත‍්‍රය රටේ වැඩිම විදේශ අදායමක් උපයන කර්මාන්තයක් බවට පත්වී ඇති බව ඒ බොහෝ දෙනෙක් නොදනිති. මේ නිසා මෙම කාන්තාවන්ගේ මෙහෙවර සමාජය තුළ නිරන්තරයෙන් අවතක්සේරුවට ලක්වේ. රටේ ආර්ථිකයට සක‍්‍රීය දායකත්වයක් ලබාදෙන පිරිසක් ලෙස ඔවුන්ට ලැබිය යුතු ගෞරවය තවමත් ලැබෙන්නේ නැත.

මෙම ගැටලූව ඇඟලූම් ක්ෂේත‍්‍රයේ පාර්ශ්වකරුවන් හොඳින් වටහාගෙන සිටින අතර, සමාජයේ වැරදි සහගත ආකල්ප වෙනස් කිරීම සඳහා ඔවුහු සක‍්‍රීය මැදිහත් වීම් සිදුකරමින් සිටිති. මෙහි එක් පියවරක් වශයෙන්, ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලූම් සංවිධාන සම්මේලනය, ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමය සහ අපනයන සංවර්ධන මණ්ඩලය එක්වී ‘මටයි මගේ රටටයි’ නමින් වැඩසටහනක් දියත් කරන ලදි. ඇඟලූම් ක්ෂේත‍්‍රයේ නියුතු කාන්තාවන් සම්බන්ධයෙන් සමාජය තුළ පවතින වැරදි ආකල්ප වෙනස් කිරීම සහ, ඇඟලූම් ක්ෂේත‍්‍රය තුළ පවතින රැුකියා අවස්ථා වල වටිනාකම හා එමගින් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය පෙන්වා දීම මෙහි මූලික ඉලක්කය වේ.

දශක ගණනාවක් තිස්සේ සමාජයේ මුල්බැසගෙන තිබූ ආකල්ප වෙනස්කිරීම පහසු කටයුත්තක් නොවූවද අපට සෑමවිටම බලාපොරොත්තුවක් ඉතිරි වී ඇත. ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5 කට අධික විදේශ විනිමයක් රැගෙන එන, රටේ දෙවැනි විශාලතම අපනයන කර්මාන්තය බවට පත්වී ඇති ඇඟලූම් කර්මාන්තයේ ජීවනාලිය වූ කාන්තාවන් රටේ ආර්ථිකය වෙනුවෙන් නිහඬව ඉටුකරන මෙහෙවර සම්බන්ධයෙන් ජනතාවට දැනුවත් කිරීම මෙහිදී අත්‍යවශ්‍ය වේ. ‘මටයි මගේ රටටයි’ වැඩසටහන ඒ වෙනුවෙන් කේන්ද්‍රීය දායකත්වයක් ලබාදෙනු ඇති බවට ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලූම් සංවිධාන සම්මේලනය සහ, වැඩසටහන සමග අත්වැල් බැඳගෙන සිටින අනෙකුත් පාර්ශ්ව සියල්ල විශ්වාස කරයි.

(Visited 30 times, 1 visits today)

Related posts

Leave a Comment