අනුනට විණ කැටූ යකැදුරාට අත්වූ ඉරණම

අම්පාර ගලපිටගල ධනපාල කොඩිතුවක්කු මහතා ලියා එවූ කතාවකි.



හතළිහේ දශකය අවසාන භාගය වනතෙක්ම රටෙහි සියලු තැන්හි නොයෙකුත් ඇදහිලි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කෙරෙහි මහත් වූ විශ්වාසයකින් යුතුව මිනිසුන් කටයුතු කරන ලදී. විශේෂයෙන් රෝගාබාධ වැළඳුන කල බේත් ගැනීමක් සිදුවූයේ නැතිතරම්ය. යාගහෝම, සෙත් ශාන්ති, තොවිල් ආදිය කරන අතර උණ රෝගය වැළඳුණ කල්හි පොල්තෙල් වලට කහ මිශ්‍රකොට තෙල් සාත්තුව ද කරගනී. මේවායේ ප්‍රථිපල නිරතුරුවම ලැබිණ. එබැවින් යන්ත්‍ර මන්ත්‍ර කිසියම් වූ සත්‍යතාවයක් තිබූ බව පිළිගත යුතුව ඇත. මේ යන්ත්‍ර මන්ත්‍රවල හොඳ මෙන්ම නරක ප්‍රතිඵල ලබාදෙන ලෙසද කටයුතු කළ අය සිටි බව නම් කිව යුතුමය.


සිරිලක දකුණු පෙදෙසින් ජනපද ලාභියෙකු සේ නැගෙනහිර පෙදෙසට පැමිණි තේගිස්හාමි යකදුරු තැන ද එවැනි පුද්ගලයෙකි. ජනපදයට පැමිණ වැඩිකලක් යන්නට මත්තෙන් මොහු ගමේ මෙන්ම අවට ගම්වලද තම කටයුතු වල නිරතවෙන්නට විය. මේ සඳහා තවත් සහයකයින් කිහිප දෙනෙක් ද ළංවූයේ නිරායාසයෙනි. තේගිස් හාමි මුල් අවධියේ තම ක්‍රියාව යහපත් ලෙස යෙදවුව ද පසුව එය අයහපත් ලෙස ද යොදවන්නට විය. එ් අනුව බොහෝදෙනා මොහුගේ සහය පතා ඇදී එන්නට විය. තේගිස් හාමි මේ කටයුතු සඳහා වැඩි ගාස්තුවක් අය නොකළ ද මත්වතුර අනිවාර්‌යෙන්ම ලබාදිය යුතුව තිබුණි. වැඩක් අවසානයේ තම සගයින් සමග මත්වතුරින් සප්පායම් වී ශබ්ද නගා කෑමොර දෙමින් පාරේ සැරි සැරීමට ද මොහු පුරුදු විය. ඒ සඳහා ඔහුට වෙලාවක් කලාවක් නොමැති වූ තරම් විය. ගමේ අයට මෙය සුලබ දසුනක් වූ අතර කිසිවෙක් විරෝධය පා ඉදිරිපත්වන්නට මැළි වූහ. මන්ද ඔහුගේ ක්‍රියාකලාපයට කිසියම් වූ බියක් සිත්තුළ ජනිතව තිබූ බැවිනි.


​කෙසේ හෝ මෙම ක්‍රියාදාමයන් වැඩිකාලයක් පවත්වාගෙන යාමට නොහැකි විය. වරදින්නට ද උදාවූයේ. සීමිත කාලයක් පමණි. යාබද ගමේ කරුණාදාස දිනක් තේගිස් හාමි හමුවන්නට පැමිණ ඔහු ප්‍රකාශ කළේ තම බිරිඳ විටින් විට පිස්සියක් සේ හැසිරෙන බවත් එවන් අවස්ථාවල මහත් වූ විනාශකාරී දේ සිදුකරන බවත්ය. තේගිස් හාමි මදක් සිනාසී. ප්‍රකාශ කළේ මා ලෙඩාව සනීපකරන්නම් යාගය සඳහා අවශ්‍ය දෑ ලබාදෙන ලෙසය. එදා සෙනසුරාදා දිනයකි. සවස් භාගයේ තම සගයකුත් සමග තේගිස් හාමි කරුණාදාසගේ ගෙදරට පැමිණ යාගය සඳහා සියලු කටයුතු සකසන ලදී. පළමුව තේගිස් හාමි දෙහි ගෙඩි තුනක් මතුරා ජීවන් කර තම සගයා අතට දී ප්‍රකාශ කළේ මෙය මා ඉල්ලන අවස්ථාවේ මාහට දිය යුතු බවත්ය.


සන්ධ්‍යා කාලයේ හතට පමණ යාගය ආරම්භ විය. මධ්‍යම රාත්‍රිය එළඹෙත්ම කරුණාදාසගේ බිරිඳ පිස්සියක් සේ හැසිරෙන්නට විය. මෙය තේගිස් හාමි එතරම් ගණනකට ගත්තේ නැත. ඔහු ඉන්පසු යාගය සඳහා ගෙනෙන ලද දෙහි ආතුරයාගේ හිසමත තබා කපමින් වතුර බඳුනකට දැමීම සිදු කරන ලදී. ආතුරයා ක්‍රමයෙන් ප්‍රකෘති තත්ත්වයකට පත්වන්නට විය. මේ අතරවාරයේ තම සගයා මත්වතුර පානය කර නින්දට වැටී ඇති බව​ තේගිස් හාමි දැන සිටියේ නැත. දැන් අලුයම් කාලය උදාවෙමින් තිබුණි. යාගයේ අවසන් අදියරයට සමීප වෙමින් තිබුණි. තම ආරක්ෂාවට මතුරාදුන් දෙහි සගයා ගෙන් ලබා ගැනීමට තේගිස් හාමි සෙවූ මුත් ඔහු පෙනෙන තෙක් මානයක නොවීය. තේගිස් හාමිගේ ඉහමොළ රත්විය. තව විනාඩි කීපයකින් ආරක්ෂාවට මැතිරූ දෙහි කැපිය යුතුය. සගයා ගෙය පිටුපස මඩුවක ගොරවමින් නිදියන අයුරු දැක තේගිස් හාමිට යකා නැග්ගේය. සිතට පැමිණි කේන්තියෙන් සගයා අසල තිබූ මත්වතුර බෝතලය උගුරට දෙකට හිස්විය. වැඩිවේලාවක් යන්නට මත්තෙන් තේගිස් හාමි කැපූ ගසක් මෙන් බිම ඇද වැටුණේ තවත් තොවිල් පවිල් කරන්නටවත් ඉඩ නොතබමිනි. සෙත් ශාන්ති තෙල් මැතුරුම් අනවින කොඩිවින වලට තිත තැබිණ. නරක නොහොඳ ක්‍රියාවන් වලට දඬුවම් ලැබෙන අයුරු තේගිස් හාමිගෙන් උදව් ගෙන අන්අයට විණ කළ අැත්තන්ටද මෙසේ දඬුවම් ලැබිය යුතුය. ඔහුගේ මරණින් පසු තැන තැන කතා බහට ලක්වූයේ නුගුණ මිස හොඳ නම් නොවේ.



බෙලිඅත්ත දම්මුල්ල ජේ. කණ්ඩම්බි මහතා ලියා එවූ කතාවකි.

මරු පියදාස


මීට දශක පහකට පෙර දකුණු ප්‍රදේශ​යේ ගම්මානයක පියදාස උපත ලැබුවේ සොයුරන් හතර දෙනෙකුගේ බාලයා ලෙසය. සොයුරන්ගේ ශක්තිය වැළඳගෙන මැරකම් කිරීම නිසා පාසල් දොරටුවද වැසුණේය. යොවුන් වියේදීම සුරාවත් ගිනි අවියත් වැළඳගෙන පියදාස මදාවියෙකු සේ ජීවත් විය. එවකට පොලිසියේ පැවති දුර්වලතාවන් පියදාසගේ අපරාධවලට රුකුලක් විය.


දක්ෂ වෙඩික්කරුවෙකු වූ පියදාසට අවට ගම්වලද මිතුරන්ගෙන් අඩුවක් නොවීය. මිත්‍රත්වය රැකගැනීම උදෙසා මිනිස් ඝාතනයක් කළදා පටන් ඔහුට මරු පියදාස නම පටබැඳුණි. ඊට තුටුපඬුරු ලෙස ලද අරක්කුත්, මසුත් මිතුරන් සමගම කා බී ඔහු ගෙදර අවේ. මහා පවක් කරතබාගෙන බව ඔහුට නොවැටහුනි. පසු කාලීනව මරු පියදාස මිනිස් ඝාතන උදෙසා මුදලුත් තුවක්කුවකුත් අය කළේය.


මැදිවියට එළඹෙත්ම රොඩී ගුරුකම් ඉගෙන ගෙන ඔහු සල්ලාල දිවියක් ද ගත කළේය. ඔහුට අවනත නොවන තරුණියන්ට අනවින කොඩිවින කිරීමට ද පෙළඹුනි. අවට ගම්මාන වලින් ද ඔහුට ගුරුකම් උදෙසා ඉල්ලුම වැඩිවිය. මිනීඅැට, දුම්මල, රත්මල් ගෙවතු අසල දැමීමෙන් පිස්සු වැටුණු කාන්තාවන් ද අපමණ වූහ.​ මෙවන් මිත්‍යාවන්ට ගොදුරුවන්නන් එදා නූගත් සමාජයේත් අද විද්‍යාත්මක යුගයේත් සිටීම රට ජාතිය දිළිඳු වීමටද හේතුවකි.


සැමදා නියං එකදා වැහි වළාවේ කියා දහමට අනුව අහිංසක සුදු අයියා​ෙග් ඝාතනයෙන් මරු පියදාසට ගැලවීමක් නොවීය. ඇසින් දුටු බිරිඳ පොලිසියට පැමිණිලි කළාය. ඒ වෙනුවෙන් පියදාසට වසරකට අධික කාලයක් බන්ධනාගාර ගතවීමට ද සිදුවිය. සිද්ධිය අද මෙන් එදාත් බන්ධනාගාර අපරාධ මර්දනයට තෝතැන්නක් විය. ඇපමත පැමිණි දින රැයේදීම වෙරි වී මිතුරන් සමඟ සුදු අයියාගේ බිරිඳ දූෂණය කර ගෙට ද ගිනි තබා ඇය ගමෙන් ද එලවිය. නමුත් ඇය සෑම නඩු දිනයකම උසාවියේ පෙනී සිටීමට පසුබට නොවූවාය.
කාලය කෙමෙන් ගෙවී ගොස් නඩු විභාගයට දින නියමවිය. ඒ අතරම මරු පියදාසගේ පාදයේ හටගත් කෝදුරු තුවාලය ද වර්ධනය විය. රෝහල් ගතවීද සුවයක් නොලද බැවින් ගෙදරටම සීමාවිය. ඔහු සමඟ දැවටුණු මිතුරන් ද දිනෙන් දිනම ඉවත් විය. පොල්කඩා සයිමන්ගේ පිහිටින් කුසගිනි නිවාගත්ත ද හැඩිදැඩි සිරුර දුටුවන් මවිත කරමින් දිරාපත් විය. සිනාහඬක් නැති ඔහුගේ දෙනෙතින් අන්ත අසරණ බයාදු බැල්මක් දිස්විය.


මරු පියදාසගේ රෝගී තත්ත්වය හේතුවෙන් නඩුවාර මගහැරී විවෘත වරෙන්තු ද නිකුත් විය. ඔහුගෙන් වරදාන ලද පොලිස් නිලධාරීන් ඔහුව රැගෙන ගොස් සිරගත කළේ නන්නාඳුනන මිනිසුන් ලෙසය. පාදයේ තුවාලය ද උඩුදිවීය. අනුනට අංචි ඇද්ද කොඩිවින මන්තර මතක් වී තුවාලය උත්සන්න වූ බව ගම්මුන්ගේ විශ්වාසය විය. හමන දුගඳත් මැස්සනුත් හේතුවෙන් සිරකුටියෙන් ද ඉවතට වැටුණි. ටික දුරක්වත් ඇවිදගත නොහැකි බැවින් වැසිකිළිය ළඟම නවාතැන වූයේ අපායට ගියා සේය.


ඔහුගේ ඉඩම් අල්ලාගත් එවුන්ද බත්මුලක් සරමක්වත් ලබාදීමට තරම්වත් උනන්දු නොවීය. දණ හිසින් පහළ කකුලද කපා මර ලතෝනී දෙමින් වසර දෙකක් පමණ මරු පියදාස අපාදුක් වින්දේය. ඔහුගේ මැරකම් හේතුවෙන් සොහොයුරන් ද නොදන්වා ගමහැර ගියෙන් අසරණ බව වැඩිවීමට හේතුවිය. ඔහු නොමැතිව නඩුව විභාග කිරීමට අධිකරණයේ තීරණය විය. නඩු තීන්දුව ලබාදීමට මාස දෙකක් තිබියදී එළැඹි දුරුතු මස මැදියම් රැයේදී ඔහුගේ හුස්ම පොද වාතලයට එකතු විය. සිරගෙදරම නිහඬකර වූ මරු පියදාසගේ අවසන් කටයුතු රජයේ වියදමින් පොදු සුසානයේදී සිදු කෙරුනේ ඥාතිමිත්‍ර කිසිවකු නොමැතිවය. ඔහුගේ පාංසකූලයට පැමිණි හිමි නම පියදාස උපාසක මහතා යැයි දෙසූ දහම බන්ධනාගාර රැඳවියන්ගේද උපහාසයට ලක්විය.



කෑගල්ල බෙලිගල මනහර මහින්ද වෑකඩ මහතා ලියා එවූ කතාවකි.

මදු ගසා සතුන් මැරූ පාපය පල දුන් හැටි.


සූරසේන එක්තරා පිටිසර ගමක ජීවත් වූ චණ්ඩි මිනිසෙකි. නමේ පමණට ඔහුගේ වැඩද චණ්ඩියෙකු මෙනි. කිසිදා වැස්සකටවත් පාසලකට පය නොතැබූ ඔහු මළපොතේ අකුරක් නොදන්නෙකි. කිසිදු අණක්ගුණක් නොදත් කිසිදු ජීවනෝපාය මාර්ගයෙක් නොමැති සූරසේන ගමේ හොර ගස් ගෙඩි කඩා ජීවත් විය. මෙයට අමතරව ඉක්මනින් පොහොසත් විය හැකි මාර්ගයක් තම ජීවනෝපාය ලෙස තෝරාගත්තේය. එනම් මත්පැන් පෙරීම, විකිණීම සහ මදු ගසා සතුන් දඩයම් කිරීමයි. මෙම කටයුතු සඳහා සූරසේනට ගැලපෙන ගෝලබාලයෝ පිරිසක් ඔහු වටා රොක්ව සිටියහ.


මෙම මත්පැන් පෙරීම සහ විකිණීම නිසා සූරසේනට විශාල අාදයම් මාර්ගයක් ලැබිණි. ඔහු ගමේ පොහොසතෙක් විය. මෙම මත්පැන් පෙරීම සහ විකිණීමට අමතරව මදු ගැසීම් නම් වූ ක්‍රම ආධාරයෙන් සතුන් දඩයම් කිරීම කරගෙන ගියේය. සතුන් දඩයම් කිරීම සඳහා සූරසේන තෝරා ගෙන තිබුණේ කම්බි කොක්කක් ආධාරයෙන් සවි කොට අහිංසක සතුන්ගේ බෙල්ලට හිරවන ලෙස සකස් කරගත් මදු ගැසීම නම් ක්‍රමවේදයයි. මද්දකට අසුවූ සතුන් දින ගණන් දුක් විඳ මියයයි. මෙම පාපතර ක්‍රියාවට අත ගැසූ සූරසේන එම මස් විකුණා ජීවනෝපාය සරිකර ගත්තේය.


මද්දට අසුවී දින ගණන් දුක් විඳ මියයන සතුන්ගේ ස්වභාවය දැකීමෙන් සිතට දැනෙන්නේ කණස්සල්ලකි. මෙවැනි අහිංසක සතුනගේ මස් විකුණා ජීවත්වන පුද්ගලයන්ට විඳීමට සිදුවන අකුසල කර්ම අප්‍රමාණය. මේවාට වැඩිපුරම ගොදුරුවන්නේ ඉත්තෑවන් සහ හා පැටවුන්ය. මෙවැනි සතුන්ගේ මස් උයා රස කර කෑම සූරසේනගේ දින චරියාවයි. මෙවැනි මස් රස මසවුළු ලෙස සකසා කෑමට ගත් සූරසේනට හිටි හැටියේම කකුලේ අමාරුවක් හට ගැනුණි. බොහෝ කලක් බෙහෙත් කිරීමට සිදුවිය. කකුලේ අමාරුව උග්‍ර අතට හැරී ඔහු ඔත්පල විය. මෙම නිසා ඔහුගේ දෛනික කටයුතු අඩාල විය. තමන් මෙතෙක් හම්බ කරගත් මුදල් ද බො​හෝ වැයවිය. රෝගය උග්‍ර වූ විට ඔහු වටා සිටි ගෝලබාලයන්ද ඔහු හැර දමා ගියේ වෙනදා මෙන් වාසියක් නැති බව පවසමිනි. ඔහුට වැළඳී ඇත්තේ දණ හිසෙන් පහල පණ නැතිවන අංශ භාග රෝග තත්ත්වයකි. කකුලේ හටගත් පිළිකා තත්ත්වයකි. මෙම නිසා ඔහුගේ පාදයක් ඉවත් කිරීමට වෛද්‍යවරුන් තීරණය කළහ. සූරසේන අසරණ විය. ඔහු මදු ගැට ගසා සතුන් දඩයම් කිරීම නිසා මෙවැනි තත්ත්වයක් හටගත් බව ගැමියන්ගේ මතයයි. ඔහු විසින් කරන ලද පව් මෙලොවදීම පලදී ඇත්තේ කාට කාටත් සිතන්නට යමක් පෙන්වා දෙමිනි.



සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

(Visited 32 times, 1 visits today)

Related posts

Leave a Comment