කසිප්පු අල්ලන්න ආවම අම්මයි පුතයි පොලිස් නිලධාරීන්ට බල්ලන් උසිගන්වලා

කසිප්පු වැටලීමකට ගිය අවස්ථාවේ පොලිස් පිරිසකට පහරදී බල්ලන් උසි ගන්වා හපා කෑමට සලස්වා රාජකාරියට බාධා  කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලෙවෙල කැන්දලන්ද ප්‍රදේශයේ  මවක හා පුතකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. එම සිද්ධියේදී පිහි ඇනුමකට ලක්වූ උප පොලිස් පරීක්ෂක වරයකු ඇතුළු පොලිස් නිලධාරින් සිවු දෙනකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි පල්ලෙවෙල 
පොලිසිය කියයි. පොලිස් නිලධාරීන් පිරිසක් ලත් තොරතුරක් අනුව පෙරේදා (20දා) කැන්දලද ප්‍රදේශයේ කසිප්පු වැටලීමකට ගිය අවස්ථාවේ නිවෙසක තිබී කසිප්පු බෝතල් 30ක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම නිවෙසේ කසිප්පු වෙළෙඳාම් කරන බව කියන කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිසියට

කැඳවාගෙන ඒමට සුදානම් වූ අවස්ථාවේ එම කාන්තාවගේ පුතා ඇතුළු පවුලේ පිරිසක් ඊට විරෝධය පළ කරමින් බැන වැදී ඇත. සැකකාර කාත්තාව කසිප්පු විකිණිම සමිබන්ධයෙන් පෙර අවස්ථාවන්හිදී වැරැදිකාරීය වීම නිසා අත්හිටුවූ සිර දඬුවම් නියමවූ අයකු වන නිසා ඇය පොලිසියට ගෙන යෑම සම්බන්ධයෙන් පවුලේ පිරිස විරෝධය පළ කර ඇති අතර පොලිස් නිලධාරීන් ඊට එකඟ නොවූ අවස්ථාවේ සැකකාරියගේ පුතා උප පොලිස් පරීක්ෂකවරයාගේ වම් අත පිහියකින් කපා තුවාල කර ඇතැයි පොලිසිය කියයි.

මේ අතර පවුලේ සාමාජිකයන් පොලිස් පිරිසට සවලකින් හා ගල්මුල්වලින්ද පහරදී තිබේ. මේ අවස්ථාවේ සැකකාරිය නිවෙස පිටුපසට ගොස් කුඩුවක සිටි බල්ලා මුදා හැර උසි ගන්වා ඇති බවද පොලිසිය සඳහන් කරයි. අනතුරුව බල්ලා පොලිසියේ දෙදෙනකු සපා කා ඇත. සැකකාරියගේ පුතා මෙල්ල කිරීමට ගිය පොලිස් සැරයන්වරයකුද මෙහිදී තුවාල ලබා තිබේ.  පොලිසිය මහත් පරිශ්‍රමයක් දරා සැකකාරිය හා ඇගේ පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට යොදාගත් පිහි දෙකක්, සවලක් ඇතුළු දේපළද අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියේදී පිහි ඇනුමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයා හා බල්ලා සපා කෑමට ලක්වූ පොලිස් නිලධාරින් දෙදෙනා වතුපිටිවල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන අතර අනෙක් පොලිස් නිලධාරියා මූලික ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවන ගත් සැකකාරිය හා ඇගේ පුතා ඊයේ (21දා)අන්තනගල්ල  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-දිනුෂි කේ.එම්.ආරච්චි- 

(Visited 16 times, 1 visits today)

Related posts

Leave a Comment