ලංකාවට ආ පසු වාඩුව ගන්න මධුෂ් සැරසේ

ලංකාවේ පාතාල මර්දනය ආණ්ඩුවෙන් ආණ්ඩුවට, කාලයෙන් කාලයට එක එක විදිහට ක්‍රියාත්මක වෙයි. එහෙත් අද වනතෙක් පාතාලය සම්පූර්ණයෙන් මර්දනය කිරීමට කිසිදු රජයකට හැකියාවක් ලැබී නැත. ඔන්න මර්දනය කළා මෙන්න මර්දනය කළා කීවත් කාලයත් සමඟ පාතාලයෝ කරළියට එන්නේ ගුල්වල සැඟවී සිටින නයි පොළොඟුන් මෙනි. එසේ පැමිණ එළව එළවා පහරදෙන්නේ ඔවුන් එකී වළට තල්ලු කළ උන්ගෙත් උන්ගේ පැවැත්මට අභියෝග කළ උන්ටත් එක්කමය. මේ නිසා දැන් මුළු රටම අපරාධ ලෝකයක් බවට පත්ව ඇත. එක පැත්තකින් කුඩුය. අනෙක් පැත්තෙන් මිනීමැරුම්ය. මේ සියල්ල මැද පාතාලයෝ රඟ දෙති.

කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ රටම එක කුඩු විමානයක් මෙන්ම එක ලේ විලක් කරන්නට යන මදුෂ්ගේ වර්තමාන කතාව ගැනය. මේ වන විට ඩුබායි බන්ධනාගාරයේ සිටින මධූෂ් පිළිබඳ හැමෝම ඉන්නේ අවධානයෙන්ය. ඒ කවදා කොයි මොහොතක ලංකාවට ගෙන එන්නේදැයි සැකයෙන්ය. එහෙත් දැනට මෙරට ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ලැබී ඇති තොරතුරු අනුව මාකඳුරේ මදුෂ් ද ඉදිරි දිනවලදී මෙරටට පිටුවහල් කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මේ වනවිට මධූෂ්ගේ පාතාලයේ සම්පූර්ණයෙන් බල බිඳීමට හැකි වූ බවට වෙලේ සුදා උදම් අනමින් සිටිති. ඒ පොලීසියේ සහය ද ඔහුට ලැබීම නිසාය. එහෙත් මේ වනවිට මධූෂ්ගේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම අංගොඩ ලොක්කා වෙත පැවරී ඇතැයි සඳහන් වේ. ඔහු දැනටමත් විවිධ පුද්ගලයන් ලවා මධූෂ්ගේ කණ්ඩායම එක් කරමින් සිටිනා බව පාතාලයේ තොරතුරු අනුව සඳහන් වේ. ඒ මධූෂ් මෙරටට ආ සැණින් නැවත සක්‍රීය කණ්ඩායමක් බවට පත් කිරීමේ අරමුණු ඇතිවය.

දැනට පාතාලයෙන් ලැබෙන තොරතුරු අනූව මධූෂ්ගේ කණ්ඩායම සැරසී සිටින්නේ ඔහු මෙරටට ආ සැණින් මධූෂ්ගේ ඉරණම මෙලෙස ලියාදුන් හැමදෙනාගෙන්ම අදාළ වාඩුව ගැනීමටය. ඒ වාඩුව ගනු ලබන්නන් අතර දෙවුන්දර තමිල්, වෙලේ සුදා සහ අන්නාසි මොරිල් ඉහළින්ම සිටිනා බව සඳහන් වේ. විශේෂයෙන් මධූෂ්ගේ කුඩු ව්‍යාපාරයේ බල බිඳීම පසුපස මේ තිදෙනා සිටිනා බව මධූෂ්ගේ කණ්ඩායම දැනගෙන ඇත. එසේම ආරක්ෂක අංශවල ඉලක්කය පවා මධූෂ්ගේ කණ්ඩායම පමණක් වෙද්දී මෙරටට කුඩු ගේන වෙලේ සුදාලා මොරිල්ලා වැන්නවුන් සහ ඔවුන්ගේ ගෝලයන් බේරෙන්නේ කෙසේ ද යන්න ගැටලුවක් වී ඇත.

මේ අතර ආරක්ෂක අංශ විසින් පසුගියදා මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් පිරවූ නැව පිළිබඳව ආරක්ෂක අංශ විසින් මදුෂ්ගේ කුඩු යැයි කීවත් පාතාලයෙන් ඇසෙන කතා වෙනස්ය. එනම් පාතාලයෙන් ඇසෙන්නේ ඒ කුඩු මධූෂ්ගේ නොව එය යම් කණ්ඩායමක් විසින් ඔහුගේ නමින් ගෙන්වා ආරක්ෂක අංශවලට කොටු කරදී එකී ගිණුම ද මධූෂ්ගේ නමට දැමීමේ සුදානමක් බවයි.

එනම් ඔහු දැනට මාස දෙකකට ආසන්න කාලයක සිට බන්ධනාගාරයේ සිටින අතර එසේ දැන දැනත් ඔහු හෝ ඔහුගේ අයකු මෙරටට කුඩු ගෙනේදැයි බැලූ බැල්මට ප්‍රශ්නයක් මතුවන බවත්ය. අනෙක ඩුබායි බන්ධනාගාරයේ සිටින මධූෂ් කුඩු ජාවරම්කරැවන් සමඟ කතා කළේ කුමකින්දැයි සැකයක් පවතින බවත්ය. ඒ නිසා මේ සියල්ල කිසියම් තවත් ජාවාරම්කරුවන් පිරිසක් විසින් ගොතන ලද සහ සූක්ෂම ලෙස මෙහෙයවා ගොඩනගන ලද කතාවක් බව පාතාලයේ අදහස වී ඇත.

එහෙත් එහි සත්‍ය අසත්‍ය බව සොයාගත හැක්කේ මෙරට ආරක්ෂක අංශවලට පමණි. එහෙත් තවම ඒ ගැන සොයාගෙන නොමැති අතර මෙරට ඇතැම් මාධ්‍යයත් කුමක් හෝ ඇසුණු සැණින් ඒ ගැන වාර්තා කරනු ඇත. යම් ආකාරයකින් තර්කානුකූලව සිතුවහොත් මේ කුඩු නැව මදුෂ්ගේ නම් මධූෂ් බන්ධනාගාරයේ සිටියදී නැවක (බඩු) මෙරටට පැමිණිය හැකිද?

කෙසේ වෙතත් දැනට ලැබෙන තොරතුරු අනූව වෙලේ සුදා සිය ව්‍යාපාරය ඉතාම හොඳින් යහතින් සිදුකරගෙන යයි. ඒ මධූෂ්ගේ සියලු රහස් ආරක්ෂක අංශ වෙත ලබාදෙමිනි. ඒ ඔස්සේ වෙලේ සුදා රටට ආදරේ යහපත් පුරවැසියකු ලෙස පෙන්නන්නට උත්සාහ ගෙන ඇත. කෙසේ වෙතත් වෙලේ සුදාගේ උකුලේ නැලවෙන ආරක්ෂක අංශයේ ඇතැම් සීමිත නිලධාරීන් කිහිපදෙනකුත් බන්ධනාගාරයේ නිලධාරීන් කිහිපදෙනකුත් මේ සියල්ලට වගකිව යුතුව ඇත.

යම්කිසි අයකුට මේ හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් ගැටලු සහගත විය හැක. එහෙත් මේ නොපෙනන සත්‍ය බව ප්‍රථමයෙන්ම කිව යුතුය. මේ අතර මධූෂ් මෙරටට පිටුවහල් කෙරෙන බවට තොරතුරැ ලැබීමත් සමඟ බන්ධනාගාරයේ සිටින මධූෂ්ගේ ගෝලයන් සංවිධානාත්මක වෙමින් පවතින බව වාර්තා වේ. ඒ බන්ධනාගාරය තුළ සහ එපිට තම බලය පෙන්වීමේ අරමුණු ඇතිවය. මධූෂ්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීම සඳහාත් මේ වන විට බන්ධනාගාරය තුළ පිරිස සූදානමින් සිටින බව වාර්තා වේ. මේ සූදානම ගැන පාතාලයේ මතය වී ඇත්තේ විශාල ලේ හැලීමක ආරම්භයක් බවය. ඒ නිසා මධූෂ් ආ සැණින් බොහෝ දෙනකුගේ ඉරණම ලියවිය හැකි බව පාතාලයේ අදහස වී ඇත.

කෙසේ වෙතත් දෙබරෙට ගල් ගැසුවාක් මෙන් කැළඹී සිටින පාතාලය තොරතෝංචියක් නැතිව ජීවිතවලට තර්ජනය කරමින් පවතී. ඇත්ත හෙළිකරන පුද්ගලයන් සේම ඔත්තු ලබාදෙන්නන් පසුපසත් පන්නමින් මරණ වරෙන්තු ලබාදෙමින් ඔවුන් කටයුතු කරන බව කියති. පුදුමය නම් එම කණ්ඩායම් කවුද යන්න සොයා ගැනීමට නොහැකි වීමය. ඇතැම් පාතාලයෝ මධූෂ්ගේ හෝ වෙනත් අයකුගේ නම විකුණා පළි ගනිති. තවත් අය මධූෂ්ලාගේ නම් කියා ජීවිත රැකගනිති. මේ නිසා කාගේ කවුරුන් විසින් මේ අපරාධ මෙහෙයවනවාද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් නැත.

එහෙත් මේ කතාව අවසාන වන්නේ නැත. මෙරට අපරාධකරැවකුට ලැබිය යුතු හොඳම ආරක්ෂාව බන්ධනාගාරය තුළදී මධූෂ්ට මෙරටදී ලැබීමට ඉඩ තිබේ. ඒ නිසා ඔහුගේ නැවත පැමිණීම එතරම් හොඳ දෙයක් වන්නේ නැත. එය බොහෝ දෙනකුගේ ජීවිතවලට තර්ජනයක් වනු ඇත. එකී තර්ජනයෙහි අවසානය ලේ විලකි.

– ගයාන් ගාල්ලගේ

ඩුබායි රටෙන් පිටුවහල් කළ සැකකරුවන් හතර දෙනෙක් 28 වැනිදා උදේ 6.15ට පැමිණි FZ547 ෆ්ලයි ඩුබායි යානයෙන් කටුනායක ගුවන්තොටුපොළට පැමිණියා. ඒ අතර මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් (34), තුඹේදුරහේවා අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගා (38), අමිල සම්පත් සේපාල රත්නායක (37), ඇන්ඩර්සන් ෆර්නෑන්ඩස් (42) සිටිනවා.

ඔවුන් පිළිවෙළින් කොළඹ-08 දකුණු ගන්දර, රොටුඹ හා කොළඹ-13 පදිංචිකරුවන්. ඇන්ඩර්සන් නැමැත්තා 2019 ජනවාරි 31 ඩුබායි ගිහින් තිබෙනවා. ඔහු වාහන අමතර කොටස් අලෙවිකරුවකු ලෙස පෙනී සිට තිබෙනවා. අමිල සම්පත් නැමැත්තා 2017-08-07 දින ඩුබායි රටට ගොස් තිබෙනවා. 2017-10-11 සිට ඔහු එරට නේවාසික වීසා ලබාගෙන තිබෙනවා. ඔහු ඉන්ධන පිරවුම්හළක සේවය කරන බව පෙන්වා තිබෙනවා. ඔහු 2005 වසරේ ඌරුබොක්ක ප්‍රදේශයේ දී වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමකට අවශ්‍ය සැකකරුවෙක්.

අනුෂ්ක කෞෂාල් නැමැත්තා 2019-02-03 දින ඩුබායි ගොස් තිබෙනවා. ඔහු 2017 නොවැම්බර් මාසයේදී නේවාසික වීසා ලබාගෙන තිබෙනවා. ඔහුගේ නිවෙස පෙබරවාරි 8 වැනිදා පරීක්ෂාවකට ලක් කළා. එහිදී ටී-56 පතුරම් තොගයක්, යුද හමුදා නිලඇඳුමට සමාන ඇඳුම් හා තවත් උපකරණ රාශියක් සොයා ගත්තා. එදින මොහුගේ පවුලේ ඥාතීන් දෙදෙනකු අත්අඩංගුවට ගත්තා. මෙම ජංගා අත්බෝම්බයක් සමඟ 2001 වසරේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සඳහා වරෙන්තුද නිකුත් කර තිබුණා. 2000 වසරේ නොවැම්බර් මාසයේදී මාතරදී පිහියකින් ඇන මිනිස් ඝාතනයක් සිදුකිරීමට මොහු සැකකරුවෙක්. මොහු මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙක් විදිහට හඳුනාගෙන තිබෙනවා.

කංජිපානි ඉම්රාන් නැමැත්තා 2015-03-28 වැනිදා ඩුබායි ගොස් තිබෙනවා. 2016-01-26 සිට නේවාසික වීසා ලබාගෙන තිබෙනවා. ඔහු ජංගම දුරකතන ව්‍යාපාරිකයෙක් විදිහට පෙනී සිට තියෙනවා. ඩුබායි සැඟවී සිට මත්ද්‍රව්‍ය ජාවාරම, කප්පම් ගැනීම, මිනීමැරීම ඇතුළු අපරාධ රැසක් ලංකාවේ සිදුකළ අයෙක්.

මෙම සැකකරු 2018-02-20 බොරුල්ල ප්‍රදේශයේදී වෙඩිතබා මිනිස් ඝාතනයට තැත් කිරීම, 2018-03-07 දින මාලිගාවත්තේදී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කිරීම, 2018-03-19 වැනිදා ආමර්වීදියේදී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කර තවත් අයකුට තුවාල කිරීම, 2018-07-08 වෙරළබඩ ජම්පටා වීදියේදී දෙදෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීම, 2018-08-30 මාලිගාවත්තේදී වෙඩිතැබීම, 2018-10-12 මාලිගාවත්ත වෙඩිතැබීම, 2018-10-20 මාලිගාවත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීම, 2018-11-07 ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීම, 2018-12-10 මෝදර ප්‍රදේශයේ 6 දෙනකුට වෙඩිතබා තුවාල කිරීම, 2019-01-01 ජම්පටා වීදියේදී අයකුට වෙඩිතැබීම, 2019-01-20 ජිත්තුපිටිය වෙඩිතැබීම, 2019-02-14 කොටහේන වෙඩිතැබීම ඇතුළු වෙඩිතැබීමේ සිද්ධි මෙහෙයවීම සම්බන්ධ සැකකරුවෙක්.

ඊට අමතරව විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු රාශියක් පවතිනවා. මොහු 2015 වසරේදී ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඩුබායි ගිය බව අනාවරණය වී තිබෙනවා.

කංජිපානි ඉම්රාන් හා අමිල සම්පත් යන දෙදෙනා කටුනායකට පැමිණි පසුව UL-101 ගුවන්යානයෙන් මාලදිවයිනට පලා යාමට උත්සාහ කර තිබුණා. ඊට පෙර අපේ විමර්ශන නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගත්තා. මීට පෙරදින ඩුබායි රටින් පිටුවහල් කළ නදීමාල් පෙරේරා මුදාහැරියා. ලලිත් කුමාර නැමැති බන්ධනාගාර නියාමකවරයාගෙන් ප්‍රශ්න කිරීම් කරනවා. මෙම නියාමකවරයා හා මධූෂ් කුඩා කල පටන්ම හිතවතුන් බව අනාවරණය වී තිබෙනවා.

2017 පෙබරවාරි 27 වැනිදා කළුතර එතනමඩලදී බන්ධනාගාර බස්රථයට සිදුකළ වෙඩිතැබීම සඳහා එම බස්රථය බන්ධනාගාරයෙන් පිටත්වන බවට නිවැරදිව තොරතුරු ලබා දී තිබුණා. එවකට ලලිත් කුමාර නැමැත්තා එම බන්ධනාගාරයේ සේවය කර තිබෙනවා. ඔහු නිවාඩු දින කිහිපයක් ගතකර සිට වෙඩිතැබීම වූ දිනයේමයි සේවයට වාර්තා කර තිබුණේ. මේ හේතුවෙන් සැකකාර බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට නියමිතයි.

ඩුබායි රටින් පිටුවහල් කළ හය දෙනාම කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් වෙන වෙනම ප්‍රශ්න කිරීම සිදුකළා. ඉදිරියේදී මේ සියලු සැකකරැවන් පිළිබඳව තොරතුරු අනාවරණය කරනවා.

(සමන්ත ප්‍රදීප් විල්තෙර)
– deshaya

(Visited 22 times, 1 visits today)

Related posts

Leave a Comment