දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවේ ඇති කිරීමට පියවර ගන්නවා – අගමැති රනිල්

දැනුම හා තාක්ෂණය තිබෙන රටවල් ලොව ඉදිරියෙන්ම සිටින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්කරන බව අද (03) මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ පැවති ජනහමුවක දී පැවසීය.

රජයට කොපමණ අපහසුතා තිබුණත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැයකරමින් අධ්‍යාපන ක්ෂේත්‍රය විශාල පරිවර්තනයකට ලක්කර තිබෙන බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

බම්බලපිටිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල පිළිසකර කර විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් මේ බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ සියලූ පාසල් ප්‍රතිසංස්කරණයට ලක්කල යුතු බව පැවසීය.

වසර 13ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම තුලින් එදා ගල්ලෑල්ල, කළුලෑල්ල භාවිතා කරමින් අධ්‍යාපනය ලැබුව යුගය පසුකර වයිට් බෝඩ්, සුහුරු පන්ති කාමර දක්වා පැමිණ තිබෙන බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා මෙරට දරුවන්ට නවීන දැනුම ඔස්සේ ඉදිරියට ගොස් ලොව ජයගැනීමේ මංපෙත් විවරකර දීම සඳහා පියවර ගෙන තිබෙන බව පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“අප උත්සාහ කරන්නේ මේ රටට අලූත් අධ්‍යාපන ක්‍රමයක් ලබාදීමටයි. ඒ අනුව දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවේ ඇති කිරීමට අපි පියවර ගන්නවා.“

“රටේ කොපමණ ප්‍රශ්න තිබුණත් රජයට කොපමණ ආර්ථික අපහසුතා පැවතුනත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර අධ්‍යාපනයේ පුළුල් පරිවර්තනයක් ඇති කිරීමට මේ වනවිටත් අප පියවර රැසක් ගෙන තිබෙන බව සිහිපත් කළ යුතුයි.“

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක, විදුහල්පතිනි සුමේධා ජයවීර යන මහත්ම මහත්මීන් ඇතුළුව රාජ්‍ය නිලධාරින් හා ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීහු විශාල පිරිසක් සහභාගිව සිටියහ.

(Visited 15 times, 1 visits today)

Related posts

Leave a Comment