ගෝඨාභය අභියෝගයක් නොවෙයි එයා ඡන්දයට එනවා නම් එන්න දෙන්න ඕනෑ

මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති
පාඨලී චම්පික රණවක

  •  ‘ක්ලීන් පුත්තලම’ ගැන කතා කරන අයට ඊට කිලෝ මීටර ගානකට උඩින් මහ වනයේ හෙක්ටර්යාර දහස් ගානක් කැලෑ හෙළිකරන කොට ඔය දේශපාලනඥයෝ කතා කළේ නෑ. හදිසියේ මේක මතක් වෙලා තියෙන්නේ.
  • මම මෙතැනට ඇවිත් තියෙන්නේ පවුලේ හයියෙන් නොවෙයි. මුදල් බලයෙන් නොවෙයි. දේශපාලනය හරහා හරි හම්බ කරගෙන නොවෙයි. මම මෙතැනට ඇවිත් ඉන්නේ මගේ කකුල් දෙකේ හයියෙන්. මගේ බුද්ධියේ හයියෙන්. මම වගේ පරපුරක් මේ රටේ ඉන්නවා. ඒ පරපුරට රටේ අයිතිය දිනා දෙන්න තමයි මම ඇවිත් තියෙන්නේ. ඒක මම කරනවා.

දේශපාලන කරළිය දිනෙන් දින ගිනියම් වෙමින් තිබෙන්නේ ජනාධිපතිවරණයට දිනෙන් දින ළංවන හෙයිනි. මේ එ් ගිනියම් දේශපාලන වටපිටාව සම්බන්ධයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා සමඟ කළ සාකච්ඡාවකි.

• ප්‍රශ්නය:- ජනාධිපතිවරණයට මාස අටයි. කොහොමද ඔබේ සූද‌ානම?


පිළිතුර:- ඇත්තටම අපි නිරන්තරයෙන්ම අවධානයට ලක් කරපු දේ තමයි මේ රට ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම මේ පවුල් වාදයෙන්, ගජ මිතුරුවාදයෙන් තොරව මේ රටේ අනිකුත් ක්ෂේත්‍ර දියුණු වුණා වගේ කුසලතාවයට, නිපුණතාවයට මුල් තැන දෙන ක්‍රියාවලියක් දේශපාලනයේදී අවශ්‍යයි. ඒ වගේම තවදුරටත් මේ රටේ දේශපාලනය බාල ජනප්‍රියවාදී ඉල්ලීම්වලින් ගෙනියන්න බෑ. විශාල ඉදිකිරීම් පෙන්ලලා මිනිසුන්ට රැවටීමෙන් හෝ මිනිසුන්ගේ බඩගින්නට අහවල් අහවල් දේ දෙනවා කියලා ඉදි​රියට ගෙනියන්න බෑ. මොකද අද මේ රට පෙළන දැවැන්ත ණය බර ඉදිරි අවරුදු තුනේදී අපට ගෙවන්න තියෙන දේශීය විදේශීය ණය කන්ද එක්ක බැලුවම රටේ ආද‌ායම් උපදවන්න පුළුවන් පාලනයකට මිසක් වෙනත් පාලනයකට රට බංකොලොත් නොකර ඉදිරියට ගෙන යන්න බෑ.


ඔය කියපු කාරණා දෙක ආද‌‌ායම් ඉපැයිය හැකි ආර්ථිකයක් සහිත පාලනයක් හා රටේ සමාජීය වශයෙන් වෙනසක් ඇති කළ හැකි නිපුණතාවයට මුල්තැන දෙන රටක් කියන තේමාවට ජනමතය ගොඩනැගීම තමයි අපි මේ ජනාධිපතිවරණයේදී බලාපොරොත්තු වෙන්නේ.

රාජපක්ෂ කඳවුරට පුංචි ඡන්දේදී ලැබුණේ සියයට තිස්නවයයි. මතක තියාගන්න ජනාධිපතිවරණය දිනන්න සියයට පනහයි තවත් එක ඡන්දයකුයි ඕනෑ.


• ප්‍රශ්නය:-  පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කියලා කියනවා. ඔබේ හැඟීම?


පිළිතුර:- ඔව් සමහරු උත්සාහ කරනවා ගෝඨාභය මහත්තයා එන එක වළක්වන්න උසාවි යන්න. අමෙරිකන් පුරවැසි භාවය පදනම් කරගෙන අධිකරණමය ක්‍රියාමාර්ග ගන්න. මගේ හැඟීම නම් ගෝඨාභය මහත්තයා එනවා නම් ඔහුට ඒ අවස්ථාව දිය යුතුයි කියලයි. 2010 දී ෆොන්සේකා මහත්තයා එනකොට ඒක වළක්වන්න ඕනෑ කියලා මහින්ද රාජපක්ෂ කඳවුරෙන් මතයක් ආවා. එයාව අත්අඩංගුවට ගන්න. එයාගේ ඇමෙරිකන් පුරවැසිභාවය මත අධිකරණයට යන්න ඔන්න ඔය වගේ යෝජනා ආවා. මම එද‌ා හිටපු ස්ථාවරය තමයි සරත් ෆොන්සේකා මහත්තයා ජනාධිපතිවරණයට එනවා නම් එන්න දෙන්න ඕනෑ කියලා.


• ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔබේ ප්‍රතිවාදියා ගෝඨාභය වීම ඔබලාට අභියෝගයක් නොවෙයි?


පිළිතුර:- ඔව්. ගෝඨාභය කිසිම අභියෝගයක් නොවෙයි. එයා එනවා නම් එයාට එන්න දෙන්න ඕනැ. හැබැයි මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ තනි පවුලකට පුළුවන්ද ර​ෙට් ඉරණම තීරණය කරන්න බාර දෙන්න? මේ පවුලට කාගේ අනුහසක් ද තියෙන්නේ? අතීතයෙන්ම විශ්වාසයක් තියෙනවා යුරෝපීය රටවල්වල දෙවියන් වහන්සේගේ බලය අධිරාජ්‍යයට ලැබෙනවා කියලා. ඒත් මේ රාජපක්ෂ පවුලට මොන දෙවියන්ගෙන් ද මේ බලය ගලාගෙන එන්නේ? එතකොට මෙතුමන්ලා මොනවද මම අර මුලින් කියපු ප්‍රශ්න දෙකට දීලා තියෙන උත්තර? රටට ආද‌ායම් එන ව්‍යාපෘති කරපු අයද මේ? එහෙම නැත්නම් නිපුණතාවයට කුසලතාවයට මුල්තැන දීපු කට්ටියක් ද? ඒ දෙකෙන්ම මේ ගොල්ලේ අසමත්. ඒ වගේම රට මේ වැටී තිබෙන ඛේදවාචකයට වග කියන්නත් ඕනෑ ඒ ගොල්ලොනේ. ඒ වගේම වි​ෙද්ශ රටක පුරවැසිභාවය අත හරින්න මට ජනාධිපති ධුරයම ලැබෙන්න ඕනෑ කියලා හිතන පුද්ගලයෙකුගෙන් රටට බලාපොරොත්තු විය යුත්තේ මොනවාද කියන එකත් බැලිය යුතුයි. කෙසේ නමුත් එතුමාට බාධාවකින් තොරව ජනාධිපතිවරණයට එන්න ඉඩදිය යුතුයි.


• ප්‍රශ්නය:- ඔබ අහනවා මොන දෙවියන්ගේ බලයක්ද කියලා? ඒ බලය එන්නේ ජනතාවගෙන්. 2018 පෙබරවාරි 8 ප්‍රදර්ශනය වුණේ ඒ බලය?


පිළිතුර:- මතක තියාගන්න ඒ බලය සියටය 39 යි. ජනාධිපතිවරණය දිනන්න සියයට 50 යි. තවත් එක ඡන්දයක් අවශ්‍යයි. ඒ අයට මට කියන්න තියෙන්නේ ඒක විතරයි. ඒ ගොල්ලන්ට හිතවත් ජනමාධ්‍ය කිව්වා ඒ ගොල්ලන්ට සියයට 46 ක් ලැබුණා කියලා. ඒත් 39 යි ලැබුණේ. ඒකේ වෙනසක් වෙලා නෑ. මහින්ද මහත්තයා 2005 දීත් ඔය ගාන ගත්තා. 2010 දිත් ගත්තා. 2015 දිත් ගත්තා. ලොකු වෙනසක් වෙලා නෑ.


• ප්‍රශ්නය:- ලයිට් කපන ආණ්ඩුවක්, දඩයි බදුයි ගහන ආණ්ඩුවක්. ජාතික සම්පත් විකුණන ආණ්ඩුවක් හා ජිනීවාවලදී රට පාවා දෙන ආණ්ඩුවක් නිසා අනෙක් පාර්ශ්වය ඉබේ ෆෝම් වෙනවා?


පිළිතුර:- මෙහෙමයි, මේ ආණ්ඩුව ඇතැම් ක්ෂේත්‍රවල විශාල ප්‍රගතියක් අත්පත් කරගත්තා. විශේෂයෙන්ම සමාජ දේශපාලන ක්ෂේත්‍රයේ පුළුල් විශේෂ නිදහසක් මේ ආණ්ඩුව යටතේ ලැබුණා. ඒක හැමෝම පිළිගත යුතුයි. අධිකරණය ස්වාධීන වුණා. රාජ්‍ය සේවය ස්වාධීන වුණා. පොලිසිය ස්වාධීන වුණා. ජනාධිපතිවරයා සතුව තිබුණ අත්තනෝමතික බලය කප්පාදු වුණා ජනාධිපතිවරයා අධිකරණයට, පාර්ලිමේන්තුවට වගකියන කෙනෙක් බවට පත් වුණා. ඒක පසුගිය දින 52 කුමන්ත්‍රණයේදී පැහැදිලි වුණා. ජනමාධ්‍යයට නිදහස ලැබුණා. සමාජයට විවේචනය කිරීමේ නිදහස ඕනෑවටත් වඩා එහාට ලැබිලා තියෙනවා. විදේශීය වශයෙන් මේ රට කොටු කිරීමේ ඉරණම වෙනස් වුණා.

රුපියලක් සංවර්ධනයට යනකොට අපිට රුපියල් තුනක් ණය ගෙවන්න දෙන්න වෙනවා


• ප්‍රශ්නය:- අසමත් ක්ෂේත්‍ර මොනවද? ඒ පිළිබඳ ඔබේ ගණන් බැලීම?


පිළිතුර:- ඔව්. ආර්ථිකය පෙළන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ තියෙන අධික ණය බර. ඒ වගේම රටේ සංවර්ධනය ගැන පුළුල් ආකාරයකින් ක්‍රියාත්මක වෙලා නැහැ. එහෙම ක්‍රියාකාරි වුණා නම් මේ තියෙන අර්බුදය සමහන් කරගන්න තිබුණා. මේ ආණ්ඩුව කරපු ලොකුම දේ තමයි රට බංකොළොත් කරන්නේ නැතිව කෙසේ හෝ මේ අති විශාල ණය බර ගෙවපු එක. දැන් මේ අවුරුද්දේ වුණත් ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 734 යි ණය ගෙවන්න යනවා. බිලියන 2200 ක්. ඒ කියන්නේ රුපියලක් සංවර්ධනයට යනකොට රුපියල් 3 ක් ණය ගෙවන්න යනවා. ආර්ථිකය බංකොළොත් කරන්නේ නැතිව මෙහෙම යන එකත් ලොකු හපන්කමක්. මොකද රට බංකොළොත් වුණා නම් විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න වෙනවා. ඒ අතරම ආර්ථිකය ආද‌ායම් වැඩිකර ගත්තා. දෛනික වියදම් ආණ්ඩුවේ ආදායම්වලින් කරන්න පුළුවන් තත්ත්වය අවුරුදු 54 කට පස්සේ උද‌ා වුණේ මේ ආණ්ඩුව යටතේ, ඒක ලොකු දෙයක්. ආර්ථිකය පැත්තෙන් එහෙම ලොකු දේවල් වුණාට ඔබ කිව්වා වගේ විදේශ ණය ගෙවීමට අපේ අපනයනය හැකියාව වැඩි දියුණු කරගැනීම පැත්තෙන් බලශක්තිය, ජලසම්පාදනය වරාය, ගුවන් තොටුපළ කියන මේ උපක්‍රමික ක්ෂේත්‍ර හතරෙ පළල් වෙනසක්, ලොකු දියුණුවක් ඇති වුණේ නෑ.


• ප්‍රශ්නය:-  ඒ කියන්නේ මේ අණ්ඩුවට තියෙන්නෙත් අාලපාළු ආර්ථිකයක්.


පිළිතුර:- නෑ. නෑ. මම කියන්නේ පුළුල් වෙනසක් වුණේ නෑ කියලයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හැදුවේ නැහැ. කොළඹ හා තද‌ාසන්න ප්‍රදේශවලට ජලය සපයන්න තව ජලාශයක් දෙකක් අවශ්‍යයි. ඒවා කෙරුණේ ණෑ. විදුලිබල ක්ෂේත්‍රය මහා පරිමාණ බලාගාර ඉදිවුණේ නෑ. ඒ සම්බන්ධයෙන් කඹ ඇදීම් විතරයි තිබුණේ. ඒ වගේම ගුවන් තොටුපළ ක්ෂේත්‍රයේ අපට බැරි වුණා. අර දෙවැනි පර්යන්තය ඉදිකරගන්න බැරි වුණා. මේවායින් බරපතළ විදියට අපේ ආර්ථිකයට විළංගු වැටුණා. නමුත් අර පැතිවලින් අපට ඉදිරියට යන්න හැකි වුණා. විදුලි අර්බුදය අද ඊයේ එන එකක් නොවෙයි. කාලාන්තරයක් තිස්සේ මේ ර​ෙට් තියෙන දෙයක්. කොහේ හරි සංවර්ධනයක් කරන්න ගියාම මහජන විරෝධතා එනවා. ජල සම්පාදන මණ්ඩලයෙන් ජලාශයක් හදන්න ගියාම මිනිස්සු ඒකට එරෙහිව නැගී සිටිනවා.


• ප්‍රශ්නය:- පුත්තලමට කුණු ද‌ාන්න ගිහින් ඔබ දැවැන්ත ජනතා විරෝධයකට ලක්වෙලා?


පිළිතුර:- පුත්තලමේ කුණු ගැන කියනවා නම් අරුවක්කාරුව ගැන මම වගකීමක් ගත්තා. කසළ කළමනාකරණය අපේ අමාත්‍යාංශයට අයත් වගකීමක් නොවෙයි. කොළඹ නගර සභාව ඇතුළු නගර සභාවල. එ් නගර සභා පාලනය කරන පළාත් සභා හා එම ආයතන පාලනය කරන පළාතේ සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වගකීමක්. මේ ආයතනවලට දැන් මතක නෑ ඒ වගේම ඔය පුත්තලමේ උද්ඝෝෂකයන්ටත් මතක නෑ මීතොටමුල්ලේ කුණු කන්දක් තිබුනා මීටර 800 ක් උස. එ් කුණු කන්දට යටවෙලා. මිනිස්සු 33 ක් මිය ගියා කියලා. ඒ කුණු කන්ද නාය යන එක පාලනය කළේ කවුද කියලා මතක නෑ. 2017 අප්‍රේල් මාසයේ ඉඳන් ජූලි මාසය දක්වා කොළඹ නගරයේ කුණු ගොඩ ගැහිලා. ඩෙංගු හැදිලා දහස් ගණන් මැරිලා ඉස්පිරිතාලවල එළියෙ කානුවල පවා ලෙඩ්ඩු ලැගලා හිටපු යුගය අද මේ හුඟ දෙනෙකුට අමතකයි. ඒ යුගය කවුද වෙනස් කළේ? ඒක වෙනස් කළේ අපි? කිසිම හමුද‌ාවක් යොදවන්නේ නැතිව අපි ඒක කළා. අපි ඒ අවස්ථාවේ පොරොන්දුවක් දුන්නා අපි අවුරුද්දක් ඇතුළත තාවකාලික ස්ථානයක් හදලා මේ කසල කළමනාකරණය කරනවා. අවුරුද්දක් ඇතුළත අපි ස්ථීර විසඳුමක් දෙනවා කියලා. ඒ අනුව අපි කසළෙන් විදුලිය නිපදවීම සඳහා බලාගාර දෙකකට අපි අවස්ථාව දුන්නා. පළාත් සභාව ඒකෙන් එකක් කළේ නෑ. ඒකත් කළා.


• ප්‍රශ්නය:-  මගේ ප්‍රශ්නය වුණේ පුත්තලමේ කුණු ප්‍රශ්නය ගැනයි?


පිළිතුර:- පුත්තලමේ කසළ කළමනාකරණයක් යෝජනා කරලා තිබුණේ 1995 ඉඳන්. ඔය කියන විදියෙ පරිසර පද්ධතියක් පුත්තලමේ නෑ. එතන තියෙන්නේ 1960 ගණන්වල ඉඳන් හිරිගල් කඩන්න හදපු විශාල වළවල් තුනක්.

• ප්‍රශ්නය:- ඔබ එතැන පරිසර පද්ධතියක් නෑ කිව්වට ඔය කියපු වළවල් තුනෙන් එකක් පුරාවිද්‍යාත්මක ස්ථානයක්?


පිළිතුර:- ඔව්. එක වළක් තවම කැණගෙන යනවා. අනික් වළවල් දෙක අතහැරල තියෙන්නේ. එයින් එක වළක් 2014 දී තෝරා ගත්තා. තෝරාගෙන පරිසර අධ්‍යයන වාර්තාවක් කළා. එයින් පෙනී ගියා එතැන ඔය ඔබ කියපු විදියට මෙසෝතිලක යුගයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් වගේම ජීව විද්‍යාත්මක වටිනාකමක් තියෙනවා කියලා. ඒ වගේම විල්පත්තුව වනෝද්‍යානයට බලපෑමක් වෙනවා කියලා. ඒ නිසා 2016 පෙබරවාරි මාසයේදී මේ ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කළා වනජීවි දෙපාර්තමේන්තුව. ඒ ව්‍යාපෘතිය වැටුණා. ඒ වැටිලා තිබුණ ව්‍යාපෘතිය තමයි අපි කළේ. අපි වෙනම ස්ථානයක් තෝරාගෙන පරිසරවේදීන්ගෙන් එකඟතාවය ඇතිව රටේ ඉන්න ඉහළම ඝණයේ පරිසරවේදීන් 16 දෙනෙක් ගිහිල්ලා තමයි ඔය ස්ථානය තෝරා ගත්තේ. අපි විධිමත් පරිසර අධ්‍යයන දෙකක් කළා. දැනුම්වත් කිරීම් 17 ක් කළා.


• ප්‍රශ්නය:- එහෙම නම් මේ උද්ඝෝෂණ?


පිළිතුර:- මේ උද්ඝෝෂකයෝ කවුද? වනාතවිල්ලුවේ ජනතාව ද? නෑ. ඊට කිලෝ මීටර 40 ක් දුරින් ඉන්න පුත්තලමේ ජනතාව. මම බොහොම පැහැදිලිව කියනවා. දේශපාලන පක්ෂවල කීමකට තමන්ගේ ඇමැතිකම තවත් වැඩිකර ගන්න දුෂ්ඨ දේශපාලනයක් මෙතැන ගෙනියන්නේ. පරිසර ප්‍රශ්නයක් මෙතැන නෑ. ඔය නගන ඔක්කොම ප්‍රශ්නවලට උත්තර දීලා තියෙනවා. මේකේ පළමුවැනි පියවර ඉවර කරලා තියෙනවා. දැන් මේ රටේ ඕනෑම කෙනෙකුට කුණු බාර දෙන්න තැනක් තියෙනවා. ‘ක්ලීන් පුත්තලම’ කිව්වට පුත්තලමේ තියෙන ප්‍රාදේශීය සභා 13 ටම කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් නෑ. හැම තැනම කුණු ගොඩවල් ගහගෙන ඉන්නේ. තමන්ගේ එකවත් පිරිසිදු කරගන්නේ නැතිව තමයි මේ කෑගහන්නේ.

ඔය කියන පරිසර පද්ධතියක් පුත්තලමේ නෑ. එතන තියෙන්නේ 1960 ගණන්වල ඉඳලා හිරිගල් කඩාපු විශාල වළවල් තුනක්

• ප්‍රශ්නය:- ඔය උද්ඝෝෂණ තුළ ආණ්ඩුවේ පාර්ශ්වත් ඉන්නවා?


පිළිතුර:- ඔව්. හැබැයි ඕවට යට වුණොත් මේ රට ඉවරයි. 1996 දී කරු ජයසූරිය මහත්තයා හදන්න පටන් ගන්නකොටම මීපෙදි කොළඹ කුණු අපට එපා කියලා පටන් ගත්තා දේශපාලනය. බ්ලුමැන්ඩල් කුණු කන්ද හැදුණේ එතැනින්. මහා පරිසර විනාශයක් වුණේ. වග ප්‍රදේශයේ එකක් හදන්න ගියා. ඒකටත් මහා විරෝධයක් ආවා. දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා එක රැයෙන් නාගරික සංවර්ධන අධිකාරියට ඒ ප්‍රදේශය ගැසට් කරලා ඒක නතර කරලා දැම්මා. අපිට සිද්ධ වුණා දොම්පෙට යන්න. අද ඔය විවේචකයන්ට අපි කියන්නේ දොම්පේ හදලා තියෙනවා කසළ රඳවනයක්. ඒකේ විද්‍යාත්මකව කසල තැන්පත් කරනවා. මොනවද වෙලා තියෙන පරිසර විනාශය? ඒකටත් වැඩිය විද්‍යාත්මක එකක් තමයි පුත්තලමේ හදලා තියෙන්නේ. මේකට අපි යෝජනා කළා මුලින්ම පුත්තලමේ කුණු බාර දෙන්න. එතකොට බලමු ඔය කියන විනාශය වෙනවද කියලා. ඒ නිසා ‘ක්ලීන් පුත්තලම’ ගැන කතා කරන අයට ඊට කිලෝ මීටර ගානකට උඩින් මහ වනයේ හෙක්ටර්යාර දහස් ගානක් කැලෑ හෙළිකරන කොට ඔය දේශපාලනඥයෝ කතා කළේ නෑ. හදිසියේ මේක මතක් වෙලා තියෙන්නේ.


• ප්‍රශ්නය:- ආණ්ඩුව ඇතුළේ ඔබට තියෙන විරෝධය නේද මේ විදියට එළියට එන්නේ?


පිළිතුර:- එහෙම විරෝධයක් කෝ කොහේද තියෙන්නේ? අපි දැන් මේක නිර්මාණය කරලා ඉවරයි. මාර්තු 16 ඉඳන් ඕනෑම කෙනෙකුට කසළ බාර දෙන්න පුළුවන්. දැන් මේ රටේ ජනාධිපති අගමැති ඇතුළු දේශපාලන අධිකාරිය තීරණය කළ යුතුයි. මේක මේ මගේවත් පුත්තලමේ ජනතාවගේත්, රිෂාද් බදියුදින්ගේ ප්‍රශ්නයක් නොවෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. ජනපති, අගමැති හා විපක්ෂනායක දැන් මේක තීරණය කළ යුතුයි මට ප්‍රශ්නයක් නෑ. විද්‍යානුකූලව කසළ රඳවනයක් හදලා තියෙනවා. අපි ඒකට අපි සියයට 200 ක් වග කියනවා. අශිෂ්ට දුෂ්ට දේශපාලනයට යටවෙන්න එපා. ඒ වගේම කොළඹ නගර සභාවට අපි කියනවා කොළඹ නගර සභාව ඇතුළු අනෙකුත් අය තීරණය කරන්න ඕන තමන්ගේ කසළ වලට මොකක්ද කරන්නේ කියලා. අපි ලෑස්ති නෑ තවදුරටත් අනුන්ගේ කුණු අපේ කරගන්න. ඒ ගොල්ලෝ බුදි. ඔය උද්ඝෝෂකයන්ට යටින් උදව් කරනවා. කොළඹ තිබුණ පුත්තලමේ උද්ඝෝෂණයට කොළඹ මාලිගාවත්තේ මිනිස්සු ගෙන්නුවා.


• ප්‍රශ්නය:- කවුද එහෙම ගෙන්නුවේ?


පිළිතුර:- මම මේක පිටිපස්සේ තියෙන දේශපාලනය කියන්නේ නෑ. පළමුවැනි දේ තමයි ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලනඥයෙක් මම. කිසිම විදියකින් මම අවිද්‍යාත්මක දේශපාලන උද්ඝෝෂණවලට යටත් වෙන්නේ නෑ. ඒක මම බොහොම පැහැදිලිව කියනවා. මම වැඩ කරන්නේ ඊළඟ පරම්පරාවට මිසක් ඊළඟ ජන්දෙට නොවෙයි. ඒක මම දොම්පේ දිත් ඔප්පු කළා. මම ඒක දීඝවාපියේදිත් ඔප්පු කළා. දීඝවාපිය රැකුණේ මම නිසා. දොම්පේ උද්ඝෝෂණය ආපු වෙලවේ බැසිල් රාජපක්ෂ පවා මට කිව්වා ඕක අතහරින්න කියලා. නමුත් මම අනුර යාපාට ස්තූති වෙනවා. මගෙන් පස්සේ ඒක බාර අරගෙන ඉවරයක් කිරීම ගැන. තව ඔය වගේ දහයක්වත් හදන්න ඕනෑ. මට කියන්න තියෙන්නේ ජනාධිපතියි අගමැතියි විපක්ෂනායකයි එකතුවෙලා තීරණය කළ යුතුයි මේකට ​ෙමාකද කරන්නේ කියලා. ලබන දෙසැම්බර් මාසයේ ඉඳලා දුම්රියක් ලෑස්තියි. කසළ ගෙනියන්න. ඒක ක්‍රියාත්මක කරනව ද නැද්ද කියන එක අයගෙ වගකීමක්. මගේ වගකීම මම ඉටු කළා. මම යටවෙන්නේ නෑ අන්තවාදී දේශපාලන තර්ජනවලට ඊළඟ පරම්පරාවට ඕන විදියට වැඩ කරනවා මිසක් මේම දුෂ්ඨ කැලෑ පාළුවන්ට ඕනෑ විදියට මාව නටවන්න බෑ.


• ප්‍රශ්නය:-  ඔබ කැලෑ පාළුවන් ගැන කතා කළාම ඔබත් හෝමාගම පරිසර පද්ධතිය විනාශ කරනවා කියලා බරපතළ චෝදනාවක් තියෙනවා?


පිළිතුර:- ඒ ​ගොල්ලන්ට මම කියන්නේ හෝමාගම මේ කාටත් පේන තැනක්නේ. එතැන වනයක් නැහැනේ. ගල්කොරිකාරයන් කිහිප දෙනෙකුගේ උද්ඝෝෂණයක් එතැන තියෙන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයට ගොඩනැගිලි දියව්. කියලා පෙළපාලි යන ගමන්ම ඒ ගොඩනැගිලි හදන කොට ගස් කපනවෝ කියලා පෙළපාලි යනවා. මේ වගේ දුෂ්ඨ බලවේග නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ද ඉන්නේ? නැත්නම් පටු දේශපාලනය අරමුණවලින් ද ඉන්නේ. කියලා පැහැදිලියි. මම එතැනට ගියාම කාන්තාවක් කිව්වා පොල්ගෙඩි හාර දහසක් කඩන බිමේ මොකක්ද මේ කරපු විනාශය’ කියලා. ඇත්ත, ඕනෑම අලුත් ගොඩනැගිල්ලක් හදන්න ගියාම ගස් කපන්න වෙනවා තමයි. පොල් ගෙඩි ද ලොකු. මොළ ගෙඩිද ලොකු කියලා අඳුරගන්න බැරි දේශපාලනයක් මේ රටේ තියෙනකම් මේ ටෙ හදන්න බැහැ. මම මෙතැනදිත් කියන්නේ විරෝධතාවටල මම බය නෑ. මම ඉන්නේ මතු පරපුරේ තාක්ෂණික දියුණුව වෙනුවෙන්. එහෙම නැතිව පෙරටුගාමි පක්ෂයේ කාලකන්නි දූෂ්ඨ දේශපාලනය වෙනුවෙන් නොවෙයි.


• ප්‍රශ්නය:- පොහොට්ටුවෙන් එන්නේ ගෝඨාභය නම් ඒකට එජාප කඳවුරේ ඉන්න ජාතිකවාදී රූපය මම කියලා ඔබ හිතනවා?


පිළිතුර:- මෙහෙමනේ පොහොට්ටු කඳවුරට විරුද්ධ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර නිසි අවස්ථාවේදී නිසි අපේක්ෂකයා ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයා තෝරනවා. ඒ වගේම මේ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන්නේ පොහොට්ටු කඳවුර නොවෙයි ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරයි.

අරුවක්කාරු විරෝධතාවේ තියෙන්නේ දේශපාලනයක්. තමන්ගේ ඇමැතිකම තවත් වැඩි කරගන්න දුෂ්ඨ දේශපාලනයක් මෙතන තියෙන්නේ


• ප්‍රශ්නය:- ම​ෙග් ප්‍රශ්නය වුණේ ඔබේ සූද‌ානම ගැනයි?


පිළිතුර:- මගේ සූද‌ානම තියෙන්නේ පුද්ගලයකු ජනාධිපති කරවන්නටවත් මම ජනාධිපති වෙන්නවත් නොවෙයි. ම​ෙග් අරමුණ තියෙන්නේ මේ රටේ නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයේ සිට දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලය දක්වා පහේ ශිෂ්‍යත්වය සමතුන්ට උගත් මධ්‍ය මහා විද්‍යාල දරුවන්ට රටේ නායකත්වය ලබා ගැනිමට හැකි වැඩපිළිවෙල සකසන්නයි. මම මෙතැනට ඇවිත් තියෙන්නේ පවුලේ හයියෙන් නොවෙයි. මුදල් බලයෙන් නොවෙයි. දේශපාලනය හරහා හරි හම්බ කරගෙන නොවෙයි. මම මෙතැනට ඇවිත් ඉන්නේ මගේ කකුල් දෙකේ හයියෙන්. මගේ බුද්ධියේ හයියෙන්. මම වගේ පරපුරක් මේ රටේ ඉන්නවා. ඒ පරපුරට රටේ අයිතිය දිනා දෙන්න තමයි මම ඇවිත් තියෙන්නේ. ඒක මම කරනවා.

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

(Visited 27 times, 1 visits today)

Related posts

Leave a Comment