අවුරුදු සංගීතවල නොපෙනෙන පැත්ත

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අවුරුදු උත්සව ජයට පැවැත්වීමට ලහියේ සූදානම් වෙන ක්‍රීඩා සමාජ, යෞවන සමාජ වැනි කණ්ඩායම් මේ දිනවල බොහෝ ගම්වල දකින්නට ලැබෙයි. අවුරුද්දේ ගමේ නගරයේ පවත්වන ක්‍රීඩා උත්සවය අවසානයේ සංගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමටද බොහෝ පිරිස් ප්‍රමුඛත්වයක් ලබාදෙති. එලෙස සංගීත ප්‍රසංගයක් සංවිධානය කිරීම සඳහා මාස හය හතකටවත් පෙර සිට සූදානම් විය යුතුය. ඊට හේතුව වන්නේ ප්‍රධාන ධාරාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් සියල්ලම පාහේ ප්‍රසංග සංවිධායකයන් කලින්ම වෙන් කරවාගෙන තිබීමයි.

අප්‍රියෙල් මාසය සඳහා ජනවාරි මාසය වන විටත් දිනයක් වෙන් කරගැනීම ඉතා අපහසු කටයුත්තක් වන බව බොහෝ සංවිධායකවරු දැනසිටිති. සංගීත කණ්ඩායමක් වෙන් කරගැනීමටත් වඩා අපහසුම කාරණය වන්නේ ප්‍රසංග වේදිකාවක් සපයාගැනීමයි. ශබ්ද උපකරණ (සවුන්ඩ්ස්) ඇණවුම් කිරීමද ඊට නොදෙවැනි වෙහෙසකර කටයුත්තකි. දිවයින පුරා බටහිර සංගීත කණ්ඩායම් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ඇති බැවින් එම සංගීත කණ්ඩායම් අප්‍රියෙල් මාසයේ එක ප්‍රසංගයක් හෝ පවත්වන්නට වෙර දරන නිසා එම තදබදය ඇති වීමට හේතුවයි.

මිල ගණන්

වර්තමානයේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් එක් දිනක ප්‍රසංගයක් සදහා ලකෂ තුනේ සිට ලක්ෂ හතක් දක්වා මිලක් අය කරයි. විදුලි ආලෝකය (ලයිට්ස්), ශබ්ද උපකරණ (සවුන්ඩ්ස්), විදුලි ජනන යන්ත්‍ර (ජෙනරේටර්), ආදියද ඊට ඇතුළත්ය. ප්‍රසංග වේදිකාව සඳහාද රුපියල් පනස්දාහේ සිට ලක්ෂ දෙක දක්වා මිල ගණන් අය කරති. අවුරුදු ළංවෙද්දී ඉහත උපකරණවල මිල පවතින මිල මෙන් දෙගුණයක් දක්වා ඉහළ නඟී. මෙය සෑම වසරකම සිදු වන සාමාන්‍ය ක්‍රියාවලියකි.

ගායක ගායිකාවන්ගේ අය කිරීම්ද බොහෝ ඉහළ අගයක් ගනී. එක් ප්‍රසංගයක් සඳහා රුපියල් පනස්දාහකට වැඩි මුදලක් අය කරන නව පරපුරේ ජනප්‍රියම ශිල්පීහු රැසක් සිටිති. ප්‍රසංග වේදිකාවේ අඩුවෙන්ම දකින්නට ලැබෙන ලක්ෂ එකහමාරක්, ලක්ෂ දෙකක් පමණ මුදලක් අය කරන ඉහළ පෙළේ ගායක ගායිකාවන්ද සිටින අතර ප්‍රසංග වේදිකාවේ ගී ගයන්නට රුපියල් හාරලක්ෂ පනස්දාහක මිලක් අය කරන එක් ගායකයෙක් සිටී. රූපවාහිනි නාලිකාවලින් පැවැත්වූ තරු තරගවලින් බිහිවූ ගායක ගායිකාවෝද රුපියල් තිස්දාහේ සිට ඉහළ මිල ගණන්වලට ගී ගයති. ඕනෑම ගායන ශිල්පියෙකු ශිල්පිනියක අය කරන අවම මිල රුපියල් විසිදාහක් පමණ වේ.

ලංකාවේ වැඩිම මිල අය කරන සංගීත කණ්ඩායම ප්‍රසංගයක් සඳහා රුපියල් ලක්ෂ දොළහක මිලක් අය කරයි.

ගුටි කෙළි

එක් එක් ප්‍රදේශවල සමාජශීලී තරුණ පිරිස් මාස ගණනාවක් වෙහෙසී තම ගම් පළාතට අවුරුදු අසිරිය කැඳවන සංගීත ප්‍රසංග කඩාකප්පල් වීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ විවිධ පිරිස් අතර හටගන්නා ගැටුම්ය. අතින් පයින් පමණක් නොව උල් පිහි, දැලි පිහි, කඩු කිනිසිවලින් සිදු කරන ගහ මරාගැනීම් අවසන් වන්නේ ප්‍රසංගයද අතරමඟ නතර වීමෙන්ය. මෙවන් ගැටුම් ඇති වීම බොහෝ ප්‍රසංග අතරතුර බහුලව සිදුවන්නකි. දීර්ඝ කාලයක් අවුරුදු සංගීත ප්‍රසංග පවත්වා අත්දැකීම් ලබා ඇති ක්‍රීඩා සමාජයක් නරඹන්නන් ප්‍රසංග භූමියට ඇතුළු කරන්නේ සෝදිසි කිරීමෙන් පසුවය. එලෙස සෝදිසි කිරීමේදී සෑම ප්‍රසංගයකදීම විවිධ ආයුධ විශාල ප්‍රමාණයක් එකතු කළ හැකි බව පවසන්නේ එම ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකි.

පොලිස් සංඛ්‍යා ලේඛනවලට අනුව සංගීත ප්‍රසංග අතරතුර සිදු වී ඇති ගැටුම්වලදී බරපතළ පහරදීම් හා ජීවිත හානි සිදු වන සිදු වීම් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අලුයම එකෙන් පසුවයි. එම දරුණු ගනයේ ගැටුම්වලදී ගිනි අවි පවා භාවිත වී තිබේ.

නර්තන කණ්ඩායම්

ප්‍රසංගයක අලංකාරය වැඩිදියුණු කරගැනීමට නර්තන කණ්ඩායම් යොදාගැනීම බොහෝ ප්‍රසංගවලදී දක්නට ලැබෙයි. මෙවන් නර්තන කණ්ඩායම් ප්‍රසංගයක් වෙනුවෙන් අය කරන මුදල රුපියල් විසිදාහේ සිට අසූදාහක් අතර පවතී. මුල් යුගයේ රූපවාහිනි ප්‍රසංගවල පමණක් දක්නට තිබූ ප්‍රසංග නර්තන කණ්ඩායම් මේ වන විට දිවයින පුරා දෙසීයක් පමණ ඇති බව පවසන්නේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක නායකයෙකි.

නරඹන්නෝ

නාගරික ප්‍රදේශ බොහොමයක අප්‍රියෙල් මාසයේ පැවැත්වෙන සංගීත ප්‍රසංග පිළිබඳ පුවරු දක්නට ලැබෙයි. අවුරුද්දේ පැවැත්වෙන ප්‍රසංග සියල්ලම පාහේ නොමිලේ පැවැත්වෙයි. දිනපතාම ප්‍රසංග නරඹන සංගීතලෝලීහු කොයි ගමකත් සිටිති. ප්‍රසංගය ආරම්භක මොහොතේ සිට අවසානය දක්වා නර්තනයේ යෙදෙන තරුණ පිරිස් ප්‍රසංග නරඹන්නට යන්නේ ඩාන්ස් කිරීම ඔවුන්ගේ විනෝදාංශය නිසාය. ඔවුන්ගේ නර්තන උන්මාදය කොතෙක්ද යත් අවසානයේ ගැයෙන ජාතික ගීයටත් නර්තනයේ යෙදෙති. ප්‍රසංගය පැවැත්වෙන්නේ වැසි දිනයක නම් මහ වැසි මැද මඩ ගොහොරුවක වුවත් ඔවුන්ගේ නර්තනයට බාධාවක් නැත. තව පිරිසක් ප්‍රසංගය නැරඹීමට වේදිකාව අසලටම පැමිණෙති. ඔවුන් කිසිදා පිටුපස සිට ප්‍රසංග නරඹන්නේ නැත.

ශබ්ද විකාශන උපකරණවලට කන තබාගෙන ප්‍රසංග නරඹන පිරිසක්ද සිටිති. කිසිදාක ප්‍රසංග බිමට නොයන ඈත දුරක සිට සංගීත රස පමණක් විඳින පිරිසක්ද සිටිති. සංගීත කණ්ඩායම ජනප්‍රිය නම් සැතපුම් ගණනාවක දුරක සිට පවා නරඹන්නෝ ඇදී එති.

අවසරය

මෑත කාලයේ සිට ප්‍රසංග පැවත්වීම සඳහා ලබාදෙන උපරිම කාලය රාත්‍රී දොළහ දක්වා සීමා කර තිබේ. ඒ පිළිබඳ ගායක ගායිකාවන් ඇතුළු බොහෝ පිරිස් විසින් කරන ලද ඉල්ලීම් හේතුවෙන් සෙනසුරාදා සහ ඉරිදා දිනවල අලුයම එක දක්වා කාලය ලබා දෙන බවට නීති සම්පාදනය කළද බොහෝ පොලිස් වසම් තුළ අවසර ලබා දෙන්නේ රාත්‍රී දොළහ දක්වා පමණි. සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා නරඹන්නන් එක්රොක් වන්නේ රාත්‍රී නවයට පමණ පසුවය. මේ හේතුව නිසා ප්‍රසංගයක් පැවැත්වීමට ලැබෙන කාලය පැය දෙකකට දෙකහමාරකට සීමා කිරීමට සිදු වී තිබේ.

ඒ ගැටලුව නිසා පාර්ශ්ව ගණනාවක් අපහසුවට පත්වෙති. ඉන් ප්‍රධානම පිරිස වන්නේ නරඹන්නෝය. විනෝද වීමට කලාත්මක රසයක් වින්දනයක් විඳීමට තිබෙන මානව අයිතිවාසිකම ඔවුන්ට අහිමි කර ඇත. මාස ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සි වී ලක්ෂ ගණනක මුදලක් වියදම් කර ඒ මුදලින් හා මහන්සියෙන් නිසි ප්‍රයෝජනයක් ලබාගත නොහැකි වීමයි. ලංකාවේ ගායක ගායිකාවෝ බොහෝ විට වෙනත් රැකියාවන් කරන පිරිසක් නොවෙති. ගීත ගායනයෙන් පමණක් ජීවත්වන ගායක ගායිකාවන් බොහෝ පිරිසකට ආපසු යන්නට සිදුවූ අවස්ථා විශාල වශයෙන් දක්නට ලැබේ.

එළඹෙන සිංහල අලුත් අවුරුද්දේ සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන තරුණ පිරිසක් ඒ පිළබඳ උපදෙස් ලබාගැනීමට ගියේ වසර ගණනාවක් ප්‍රසංග සංවිධානය කර අත්දැකීම් රාශියක් ලබා ඇති ප්‍රසංග සංවිධායකවරයෙකු වෙතටයි. ප්‍රසංගයක් වැඩි වේලාවක් පවත්වාගෙන යෑම සඳහා එම තරුණ පිරිසට ඔහුගෙන් ලැබුණේ අපූරු උපදේශයකි.

බේබදු අල්ලසක්

“මල්ලි ජීප් එකට දාන්ඩ බෝතල් දෙකක්. සිගරැට් පැකට් එකකුයි බයිට් එකකුයිත් දාන්ඩ. ආයෙත් පැයකින් විතර බෝතලයක් දෙන්ඩ. දොළහ කිට්ටු වෙලා දාන්ඩ තව බෝතල් දෙකක්. ඔයාල එයාලට සලකන විදිහට ඕන තරං වේලාවක් ෂෝ එක ඇදගෙන යන්ඩ පුළුවන් ”

ගායක ගායිකාවන්ගේ මිල නොගෙවා සංවිධායකවරුන් හොරා පොලිස් සෙල්ලම් කරද්දී ඒ නඩුව අසා සිටින්නට සිදුවන්නේද නිවේදන ශිලපියායි. ප්‍රසංගය අවසන් කරන තුරු වැඩිම වැඩ කොටසක් ඉටු කරන්නේ ද ඔහුය. ප්‍රසංගය අවසානයේ මුදල් හිඟවීම, සංවිධායකයන් වෙරි වීම, නැති නම් අතුරුදහන් වීම, නිසා බොහෝවිට සිදු වන්නේ රැයක් පුරා කෑගසා වෙහෙසුණු නිවේදකයාට සත පහක් වත් නැතිව පාන්දර අඳුරේ ආපසු යන්නටය.

ඡායාරූප – එන්. එම්. අර්ෂාද්

සුදත් සමරදිවාකර

(Visited 23 times, 1 visits today)

Related posts

Leave a Comment