දෙවියන් පෙන්වා අපායට ගෙනයන ජාවාරමුන් ළඟ අතරමං වුණ කතරගම පුදබිම

පුදබිම අරක්ගත් තැරැව්කරුවන් 150ක්

දිනක ආදායම රුපියල් 25000ට වැඩියි

නඩවලට සියලු පහසුකම් ජාවාරම්කරුවන්ගෙන්

දඩමස්, අරක්කු, ගණිකා පහස ඒ අතර

පුදබිම රැකගන්න කියමින් වෙළෙඳ සංගම් හර්තාල්

කතරගම පුද බිම අනාදිමත් කාලයක සිට සැලකෙන්නේ සර්ව ආගමික පුජා භූමියක් ලෙසය. මේ පුජා භුමිය වන්දනාවට දිනපතා සිංහල ,බෞද්ධ, මුස්ලිම්, දෙමළ, කතෝලික ඇතුළු විවිධ ජනකොටස් දහස් ගණනින් පැමිණෙති. යුග ගණනාවක් පුරා ශ්‍රද්ධාසම්පන්න මනුෂ්‍යයන්ගේ අසීමිත වන්දනාවට ලක් වන පුජා භුමිය දැන් අප හමුවේ දිස්වෙන්නේ විරෝධතාකරුවන්ගේ අරගල බිමක් ලෙසය. තැන තැන එල්ලූ කළු කොඩිය. විරෝධතා පුවරුය. පුදබිමට හුරු උපශාන්ත දැකුම් නොවේ. අපි සීරුවෙන් ඉදිරියට ගමන් කරමින් හිඳිමු.

හර්තාල් මෙහෙයවමින් සිටින්නේ කතරගම සියලු වෙළෙඳ සංගම්ය. ඔවුන් පසුගිය 28 වැනි දා සිට නගරය පුරා කළු කොඩි දමා, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හර්තාල් කරන්නේ කතරගම පුද බිම අරක්ගත් බව කියන ජාවාරම්කරුවන්ට එරෙහිවය. නීතිවිරෝධී ජාවාරම්වල, මැරකම්වල අවසාන සීමාවත් ඉක්ම ගිය විට කතරගම පුද බිම ජාවාරම්කරුවන්ගෙන් රැක දෙන්නැයි ඉල්ලමින් තමන් මහ මඟට පිවිසි බව ඔවුහු කියති.

දැන් හර්තාලයට දින හතක් ගෙවී ගොස් ඇත. මේ ලියන මොහොත වන විටත් කිසිදු වගකිවයුතු පාර්ශ්වයක් ඔවුන්ගේ හඬට සවන් දී නැත. ඒ පිළිබඳ සියලු වෙළෙඳ සංගම් නියෝජිතයන් පසු වන්නේ දැඩි අප්‍රසාදයෙනි.

“තව දුරටත් කතරගම පුජා භුමියේ සිදු වන ජාවාරම් නතර කිරීමට වගකිවයුතු පාර්ශ්ව කටයුතු කරන්නෙ නැති නම් ඉදිරියේදී කතරගම සියලු මංමාවත් අසුරා සියලු වෙළෙඳසල් වසා දමා දැවැන්ත විරෝධතාවයක් පවත්වනවා.” එසේ කියන්නේ ඒකාබද්ධ වෙළෙඳ සංගමයේ සභාපති එම්.කේ.නන්දසේන සහ වෙළද සංගමයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක කේ.පී.බන්දුලය.

“මොනවා ද මේ ජාවාරම් … මොනවා ගැනද ඔයාලා මේ කියන්නෙ…” අපි විමසීමු.

අප සමඟ මුලින්ම කතාබහට එක් වන්නේ කතරගම ඒකාබද්ධ වෙළෙඳ සංගමයේ සභාපති එම්.කේ.නන්දසේනය.

“කතරගම කියන්නේ සියලු ජාතීන්ට අයත් බැතිමතුන්ගේ වන්දනාමානයට ලක් වු පුජා භූමියක්. අද වන විට මේ කතරගම පුජා භූමියේ සිදු වන අපචාර හා අපරාධ වැඩි වෙලා තියෙනවා. කතරගම පුජා භූමිය තුළ මේ වන විට නිල වශයෙන් තැබෑරුමක් හා මස් කඩයක් නැති එක විතරයි අඩුව. ඒ දෙකම නැති වුණාට කතරගමට යන එන පිරිසට දඩ මස් හා විවිධ වර්ගයේ මත්පැන් බොහොම ජයට අලෙවි කිරිම නම් සිදු වෙනවා.”

“ විශේෂයෙන්ම කියන්න ඕනේ කතරගම වන්දනාවට පැමිණෙන පිරිසට මිට පෙර වාහන පුජා භූමියට ඇතුළු කරන්න අවස්ථාව ලැබුණේ නෑ. මැණික් ගඟ හරහා පුජා භූමිට ඇතුළු වීමට ඇති සියලු පාලම් මීට පෙර පැවතියේ ඉතා කුඩා ඒවා ලෙස. නමුත් අද වන විට පාලම් පහක් තියෙනවා. මේ හැම එකකින්ම වන්දනාකරුවන්ට පුජා නගරයට ඇතුළු වීමේ හැකියාව තියෙනවා. මේ නිසා පුජා භූමියට ඇතුළු වන වාහන ප්‍රමාණය අධික වෙලා තියෙනවා. එය පූජා භූමියට ඉතාම අහිතකරයි.

එච්චර වාහන තොගයක් පූජාභූමියට ඇතුළුවෙන්න කොහෙත්ම ඉඩක් නෑ. මොකද පුජා භූමියට වාහන ඇතුළු කිරිමට පාස් නිකුත් කෙරෙන්නේ ස්ථාන හතරකින් විතරයි. ඒ කිරිවෙහෙර රජමහා විහායෙන්, අභිනවාරාම විහාරයෙන්, මහ දේවාල කාර්යාලයෙන් හා කතරගම පොලීසියෙන් පමණයි. මේ ස්ථානවලින් පාස් නිකුත් කෙරෙන්නේ විවිධ දානමය පින්කම් සඳහා පැමිණෙන බැතිමතුන්ට හා අබාධ සහිත පුද්ගලයන්ට පමණයි. නමුත් අද වන විට පාස් ඇතිව හෝ නැතිව පුජා භිමියට විශාල පිරිසක් පැමිණෙනවා. මේ එන බොහෝ පිරිසක් පුදබිමට අතුළු කරන්නේ ජාවාරම් කාරයෝ. ඒ වෙනුවෙන් වන්දනාකරුවන් මේ තැරැව්කාරයන්ට විශාල ලෙස සන්තෝෂම් ලබා දෙනවා.

ඒ විතරක් නෙමෙයි. අපි කතරගම නගරයෙ නීත්‍යනුකූලව වෙළෙඳාම් කරන මිනිස්සු. අද වන විට කතරගම කඩ සාප්පු මුළුමනින්ම වගේ වැසී යෑමේ තර්ජනයක් ඇවිත්. ඒකට ප්‍රධාන හේතුව බවට පත් වෙලා තියෙන්නෙත් බැතිමතුන් කෙළින්ම වාහන වලින් පුජා භූමියට ඇතුළු වීම හා පූජා භූමිය තුළ අනවසරයෙන් වෙළඳාම් කිරීම. අපි වගකිවයුතු පාර්ශ්වලින් ඉල්ලා සිටින්නේ පුජා භූමියේ සිදු වන අනවසර වෙළෙඳසල් ඉවත් කර පුජා භූමියට ඇතුළු කරන වාහන වහාම නතර කර පුජා භූමියේ ආරක්ෂාව තහවුරු කර දෙන ලෙසයි”

අපි ඔවුන් පසු කර නගරයේ ඇවිද යමින් සිටිමු. ඉදිරියෙන් හමුවන්නේ පදික වෙළෙඳාමෙන් ජීවිතය ගැට ගසාගන්නා තරුණයෙකි. ඔහු කියන කතාව මෙසේය.

“කතරගම පුජනීය නගරයේ ගෞරවයට හානි කිරීම කොහොමවත් අනුමත කරන්න බෑ. මේ වෙන කොට නගරයේ වෙළෙඳ සංගම්වල නියෝජිතයන් එක්ව පුජා භූමිය රැකගන්න කියලා හර්තාල් ආරම්භ කර තියෙනවා. ඇත්තටම කියන්න ඕනේ මේ වෙළෙඳ සංගම්වල අය ආරම්භ කරලා තියෙන හර්තාලය පුජා භූමිය ආරක්ෂා කරගැනීමේ අරමුනෙන් පටන් ගත් එකක් නම් නෙමෙයි කියන එක. කතරගම වන්දනාවේ එන අය විවිධ තැරැව්කරුවන් මාර්ගයෙන් ඔවුන්ට කීයක් හරි දීලා තමන් එන වාහනය කෙළින්ම පුජා භූමියට අරගෙන යනවා. ඒ හේතුව නිසා නගරයේ කඩ සාප්පුවලට එන පිරිස අඩු වෙලා තියෙනවා. පුජා භූමිය තුළටම වාහන එන නිසා කිරි වෙහෙර පාර දෙපැත්තේ පදික වේදිකාවේ වෙනත් පිරිසක් වෙළදාමේ නිරත වෙනවා. ඉතින් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වන්දනාමාන කිරීමෙන් පසු මේ පදික වේදිකාව දෙපැත්තේ ඉන්න වෙළෙඳුන්ගෙන් මොනවා හරි ටිකක් අරගෙන කතරගම නගරයේ වෙළදසල්වලට නොගොස් යන්න යනවා. මේ හේතුව නිසා නගරයේ ඉන්න වෙළෙඳන්ගේ ආදායම පහළ ගිහින් තියෙනවා. මෙන්න මේ හේතුව නිසා තමයි කතරගම වෙළඳ සංගම් හර්තාල් කරන්නේ.”

“ මොනවා නැතත් කතරගම පුජා භූමියට ඇතුළු කරන වාහන නම් වහාම සීමා කළ යුතුයි. එහෙම නැති වුණොත් කිරිවෙහෙර සෑ රදුන්ටත් අෂ්ඨඵල බෝධින් වහන්සේටත් හානි විය හැකියි.” ඔහුගේ කතාව අවංකය. නොබෝ දුරකින් සිටින වියපත් තවත් පදික වෙළෙන්දෙකු හා අපි සංවාදයට එක්වුණෙමු.

“මාත් බිස්නස් කරන්නෙ පෙව්මන්ට් එකේ තමයි. ඒත් පුජා භූමිය ඇතුළේ සිදු කරන වෙළෙඳාම නම් නතර කරන්න ඕන. මිනිස්සු කතරගමට එන්නේ එය ශුද්ධ භූමියක් හින්දා. පුජා භූමියක් නම් පුජා භුමියක ස්වරූපයෙන්ම තිබිය යුතුයි. අද වන්දනාවට එන පිරිස් කතරගමට එන්නෙම කවුරුන් හෝ තැරැව්කරුවෙක් අල්ලාගෙනමයි. ඒ එන පිරිස පුජා වට්ටිය ගන්නේ තැරැව්කරු නම් කරන කඩෙන්. පුජා වට්ටිය දේවාලය දක්වා රැගෙන යන්නේ තැරැව්කරු යටතේ වැඩ කරන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, පෝලිමේ ඉන්නේ නැතිව කෙළින්ම ඉස්සරහට යැවීමත් මේ තැරැව්කරුවන්ට සිම්පල් දෙයක්. මේ සියල්ල සඳහා ඔවුන් වටා එකතු වු පිරිසක්ද සිටිනවා. පැරෂුට්කාරයො වගේ කෙළින්ම ඇවිත් වැඳලා යන පිරිස් අද කතරගම ඕනෑ තරම් ඉන්නවා.

තැරැව්කරුම තමයි එන වන්දනා නඩේට හෝටලය සොයා දෙන්නෙත්. මේ සියල්ල වෙනුවෙන් තැරැවුකරුට ඒ ඒ ස්ථානවලින් වෙන වෙනම කොමිස් ලැබෙනවා. මිට අමතරව වන්දනාකරුවන්ද ඒ අයට සන්තෝෂම් ලබා දෙනවා. අද මේ කතරගම විතරක් රැකියාවක් ලෙස තැරැවුකරු සේවය කරන පිරිස 150ක් විතර ඉන්නවා. මේ අය දිනකට රුපියල් 25000ක් අවම වශයෙන් සොයනවා. මේ අයගේ ගෙවල් හරියට මැති ඇමතිවරුන්ගේ ගෙවල් වගෙයි.

වන්දනාවේ පැමිණෙන පිරිස වන්දනාමාන ඉවර කර හෝටලයට ගිය පසු ඒ අය වෙනුවෙන් දඩ මස් කෑල්ලක රස බැලීමට මෙන්ම වෛශ්‍යාවන්ගේ සේවය සලසා දීමටද මේ තැරැව්කරුවන් කටයුතු කරනවා. ඒ නිසා පළමුවෙන්ම මේ කතරගම පුජා භූමියේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. පුජා භූමියට වාහන ඇතුළු කිරීම සම්පුර්ණයෙන්ම නතර කළ යුතුයි. ජාවාරම්කරුවන්ගේ හා තැරැව් කරුවන්ගේ බලපුළුවන්කාරකම් නතර කළ යුතුයි. පුජා භූමියේ වෙළෙඳාම සම්පුර්ණයෙන්ම නතර කළ යුතුයි. එහෙම වුණොත් මේ පුජා පූජාභූමියේ වැඩ ඉන්න කතරගම දෙයි හාමුදුරුවන්ගේ ගෞරවයත් රැකෙයි. පුද බිමත් රැකෙයි…” මේ වයෝවෘද්ධ මිනිසා කියන කතාව යළි යළිත් විමසනු වටී.

ඉන් ඔබ්බෙහි කියැවෙන කතාව තවත් අපුල දනවන සුලුය. කිරිවෙහෙර පුජා භූමියට වාහන ඇතුළු කිරීම් පරික්ෂා කිරීමේ රාජකාරියට යොදවා ඇති ඇතැම් පොලිස් නිලධාරීන්ද ජාවාරම් කරුවන්ගේ ඉත්තෝය. හවසට ගෙදර යන විට අවට කඩකාරයන්ගෙන් පඩි රැගෙන යන එම පොලිස් නිලධාරීන් ගැන මිනිසුන් කතා කරන්නේත් නොපහන් හැඟීමෙනි.

වාහන පාස් නිකුත් කරන පිළිගත් ස්ථාන හතරට අමතරව සමහර පලතුරු කඩකාරයෝත් වාහන ඇතුළු කිරීමට පාස් නිකුත් කරති. ඒ ගැන තොරතුරු කියන ගැමියා කතා කරන්නේ පහත් ස්වරයෙනි.

“පුදුම වෙන්න දෙයක් නෑ මහත්තයෝ… පලතුරු කඩවල ඉන්න ඇතැම් අය හොරාට පාස් මුද්‍රණය කරගෙන තියාගෙන ඉන්නවා. ලොකුවට පුජා වට්ටියක් ගන්නවා නම් පාස් එකක් ඒ අයට දෙනවා. පොලිසියේ රාලහාමිලත් එන වාහනවලින් කෝ පාස් එක කියලා ඇහුවම මේ හොර පාස් එක පෙන්වනවා. ඉතින් යන්න දෙනවා. මේක තනිකරම ජාවාරම් ගුහාවක්. අපිත් මලක් පහනක් විකුණගෙන ජිවත් වෙන්නේ මේ පුජා භූමිය නිසා තමයි. හැබැයි එහෙමයි කියලා මේ පුජා භූමියට හානි වෙන විදියට වැඩ කරන්න දෙන්න බෑ.” අපි ඔහුගේ බොර පැහැති ඇස්වල ඇති වේදනාව හඳුනා ගතිමු.

කතරගම අතරමං පුදබිමක් බවට පත් කළ බවට චෝදනා ලබන්නේ එහි පරිපාලනය අතට ගත් ජාවාරම්කරුවන් හා ඔවුන්ගේ තැරැව් කරුවෝය. එවැනි එක් තැරැව්කරුවෙකු සමඟ කුලුපග වීමට හැකි විය. මේ ඔහු අපට කියන කතාවය.

“මම කතරගම නගරයේමයි ඉන්නේ. මම දන්න කාලේ ඉඳලා කළේ කතරගම වෙළඳාම් කිරිමයි. පස්සේ ටික ටික වෙළෙඳාම් කිරීම නතර කරලා මේ තැරැව්කාර වැඩේ පටන් ගත්තා. ඇත්තටම බිස්නස් කරනවාට වඩා මේකෙන් ලොකු ගානක් හොයා ගන්න පුළුවන්. අනෙක මේකෙදි අපට ලැබෙන හැම රුපියලක්ම ලාබ විදයටයි තියෙන්නේ. මොකද අපිට තියෙන්නේ වන්දනාවේ එන කෙනෙක් අල්ලගෙන එයත් එක්ක කතා කරලා එයාට අවශ්‍ය පහසුකම් සලසා දීම විතරයි. දැන් මේ වෙන කොට මටම කියා වන්දනාවේ එන පිරිස හත් අටසියක් විතර ඉන්නවා. මේ අය කතරගම එනවා නම් අනිවාර්යෙන්ම මට කෝල් කරනවා. මං තමයි ඒ අයට ඕන පහසුකම් සලසා දෙන්නේ. මේ එන අය අතරේ ඇත්තටම වන්දනාවේ එනවා කියලා භක්තියෙන් නිසි පරිදි පුද පුජා පවත්වලා යන්නේ ඉතාම පොඩි පිරිසක් විතරයි. අනෙක් සියලුම දෙනා කරන්නේ ආතල් ගන්න එක විතරයි. වන්දනා කරලා රෑට හෝටලයට එක්කගෙන ගියාම අපෙන් අහනවා මොකුත් නැද්ද වෙනසකටත් එක්ක කියලා. ඉතින් ඒ අයට බෝතල් දෙක තුනක් අරගෙනම එනවා. ඒකට ඕන දඩමස් ටිකක් ඉල්ලුවම අපි ඒක හොයලා දෙනවා. ඒකෙන් අපිටත් පොඩි කොමිෂන් එකක් තියෙනවා.

සමහර අය නම් අහනවා විනෝද වෙන්න කෙල්ලෙක් හොයලා දෙන්න බැරිද කියල. ඉතින් ඒ අයට ඒ පහසුකමත් අපි ලබා දෙනවා. ඇත්තටම කතරගම පුජා භූමියේම ගංජා විකුණන අය , කුඩු විකුණන අය වෙනම ඉන්නවා. ඒ අයට කිව්ව ගමන් කියන ඕනිම තැනකට බඩු ගෙනත් දෙනවා. ඔව්. අපිත් දන්නවා මේවා ඒ තරම් හොඳ දේවල් නෙමෙයි කියලා. නමුත් ඉතින් අපි අපේ කස්ටමස්ලා රැකගන්න ඕනේ. අපි ලබා දෙන්නෙ ඒ අය ඉල්ලන පහසුකම් විතරයි. ඒ වෙනුවෙන් අපිට මුදලක් ලැබෙනවා.” යැයි ඔහු පවසයි.

හිස කරකැවෙනු සේය. මේ අහවල් කුණුහරපයක් දැයි මේ මොහොතේත් කල්පනා කරමින් සිටිමි. අපායට යන්නට අවශ්‍ය උන් දෙවියන් අබියසට පැමිණෙන්නේ කුමණ අභිප්‍රායකින්දැයි වැටහෙන්නේ නැත. කසිප්පු අඩියක් ගැසීමට, ගංජා උගුරක් ඇදීමට, දඩමස් කෑල්ලක් කෑමට වෙසඟනකගේ පහස ලැබීමට මේ පවුකාරයන් හික්කඩුව උනවටුන පසු කර මේ තරම් දුරක් ගෙවා කතරගම එන්නේ කුමකටදැයි වෙනම විමසිය යුතුය. මේ කියන්නේ සමාජ අධ්‍යාත්මයේ හරාත්මක ගැඹුර කෙලෙසී ඇති ප්‍රමාණය ය.

මේ ප්‍රතිමාණ බිඳී ගිය සමාජය නුදුරේදීම කුඩුපට්ටම් වීමට නියමිතව ඇති බව පමණක් වැටහෙයි. කතරගම දෙවොලේ කපුවන්ගේ ආරවුල එසේම තිබියදී, දෙවියන්ගේ හිමිකම් සම්බන්ධ අවනඩු උසාවියේ ඇසෙමින් තිබියදී බැතිමතුන්ගේ හදවත් තුළ වැඩ සිටි දෙවියෝ ඉන් ද පලාගොස් ඇති සෙයකි.

කතරගම දෙවිහාමුදුරවන්ගේ නාමයෙන් ඒ අපරාධය සිදු විය යුතු නැත.

සටහන හා ඡායාරූප – සුරියවැව විශේෂ නුවන් ජයසේකර

(Visited 26 times, 1 visits today)

Related posts

Leave a Comment