නොට්‌රඩෑම් ගින්න සෙවීමට ගිනි නිවන භටයන්ට විනාඩි 23 ක්‌ ගතවුණා

නොට්‌රඩෑම් ගින්න සෙවීමට ගිනි නිවන භටයන්ට විනාඩි 23 ක්‌ ගතවුණා

ලෝක උරුමයක්‌ මෙන්ම ප්‍රංශයේ හදවත යෑයි හඳුන්වන ඓතිහාසික නොට්‌රඩෑම් දෙව් මැඳුරේ ගින්න පිළිබඳව ප්‍රංශ ගිනි නිවන භටයන්ට සොයා ගැනීමට හැකිවී ඇත්තේ විනාඩි 23 කට පසුව බව හෙළිවී ඇත.

එහෙත් පැරීසියේ නඩු අධ්‍යක්‍ෂවරයා පැවැසුවේ දෙව්මැඳුරේ පියස්‌ස ගිනි ගැනීමට පැය 1/2 කට පෙර ගිනි නිවන භටයන් තම දිවි නොතකා එම ස්‌ථානයට ගිය බවය. ඊට හේතුවී ඇත්තේ ගින්නක්‌ ඇතිවී ඇති බවට අනතුරු හඟවන නලා ශබ්දවීමයි. එහෙත් ගින්නක්‌ ගැන සොයා ගැනීමට ගිනි නිවන භටයන්ට නොහැකිවී ඇත.

මෙම දෙව්මැඳුරේ තිබූ ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ කටු ඔටුන්න සහ 18 වැනි සියවසේ නිපදවූ නල 8000 කින් යුත් ඕර්ගනයද බේරාගෙන ඇත.

පසුගිය වසරේදී නොට්‌රඩෑම් දෙව්මැඳුර ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහා ප්‍රංශයේ ලේ බ්‍රෑස්‌ නමැති සුප්‍රසිද්ධ කොන්ත්‍රාත් සමාගම වෙත ලබාදී තිබේ. මේ කොන්ත්‍රාත්තුවේ වටිනාකම යුරෝ මිලියන 5.7 ක්‌ වේ.

මෙම කොන්ත්‍රාත් සමාගමේ හිමිකරුවූ 32 හැවිරිදි ජුලියන් ලේබ්‍රාෂ්a තම සමාගම දෙව් මැඳුර තිබූ ආකාරයට සංරක්‌ෂණය කරන බව පවසයි.

එහෙත් මේ සමාගම සුළු සමාගමක්‌ බව හෙළිවී ඇත. ප්‍රංශ පොලිසිය මෙම සංරක්‌ෂණ කටයුතු සිදු කළ බව කියා එම සමාගමේ තාක්‌ෂණික ශිල්පීන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත. මේ වන විට සිදු කළ විමර්ශනවලින් හෙළිවී ඇත්තේ සංරක්‌ෂණ කටයුතු සඳහා භාවිත කළ විදුලි මෙවලම්වලින් එකී ගින්න ඇතිවී ඇති බවයි.

සංරක්‌ෂණ කටයුතුවල නිරතවූවන් සවස 5.00 ත් 5.30 ත් අතර කාලයේ තම විදුලි මෙවලම් අක්‍රීය කර ඇති බවත් ගින්න හටගෙන ඇත්තේ සවස 6.50 ට බවත් තවදුරටත් සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ගින්නෙන් සිදුවූ විනාශය නිසා මෙම ඓතිහාසික දෙව් මැඳුර යළි ස්‌ථාපිත කිරීමට වසර 10 ක්‌ 20 ක්‌ අතර කලයක්‌ ගතවන බව ප්‍රංශ රූපවාහිනි සේවය කියා සිටියේය. මේ අතර තවත් පුදුමාකාර සිද්ධියක්‌ වාර්තා විය. ඒ ස්‌කොට්‌ලන්තයේ වාසය කරන ලෙස්‌ලේ රෝවන් නමැති කාන්තාව ගිනි ගන්නා නොට්‌රඩෑම් දෙව්මැඳුරේ ඡායාරූප අතර ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ රුව තමා දුටු බව පැවැසීමයි.

ඇය තවදුරටත් පැවැසුවේ ගිනිදැල් අතරින් ක්‍රිස්‌තුස්‌වහන්සේගේ රුව පැහැදිලිවම දැකගැනීමට හැකිවූ බවය. මේ රුව දිස්‌වන ඡායාරූපය දැනටමත් අන්තර්ජාලය වෙත යොමුවී ඇත.

මෙම නොට්‌රඩෑම් දෙව් මැඳුරේ තිබූ වටිනාකම කිව නොහැකි ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌වහන්සේගේ කටු ඔටුන්න බේරාගෙන ඇත්තේ ජීන් මාර්ක්‌ පුවර්නියර් පියතුමාය. ඇප්ගනිස්‌ථානයේ දී හා පැරිසියේ බැට්‌ක්‌ලෑන්a ත්‍රස්‌ත ප්‍රහාරවලදී දිවි ගලවා ගැනීමට එම පියනම සමත් විය.

මේ හැර දෙව් මැඳුරේ රන් ආලේපිත කුරුසියටද කිසිදු හානියක්‌ සිදු වී නැත. එම කුරුසිය අවට සියලු දේ විනාශ වී ඇතත් කුරුසියට කිසිදු උපද්‍රවයක්‌ නොවීම හාස්‌කමකි.

1238 වසරේදී කොන්ස්‌තන්තිනෝපල් අධිරාජයා විසින් එය ප්‍රංශයේ ලුවී රජුට පරිත්‍යාග කර තිබේ.

වසර 850 ක්‌ පැරණි මේ දෙව්මැඳුර මුළුමනින්ම ගොතික්‌ සම්ප්‍රදායට අයත් වූවකි.

ප්‍රංශ බලධාරීන් තවදුරටත් පැවැසුවේ දෙව්මැඳුරේ පිහිටි ඉතා විචිත්‍ර වූ රෝස කවුළු තුන ගින්නෙන් බේරී ඇති බවයි. 13 වැනි සියවසට අයත් මේ රෝස කවුළු වර්ෂ 1221 දී නිමවූවකි. මේ රෝස කවුළු කැටයම් සහිත වීදුරු 84 කින් සමන්විත වේ.

නොට්‌රඩෑම් දෙව් මැඳුරේ ඇති කුළුණු දෙක ඉතාමත් දැකුම්කලු ලෙස නිමවී තිබුණි. මේ කුළුණුවල පඩි 387 ක්‌ ඇත. පඩි ඔස්‌සේ මුදුනට ගියවිට මුළු පැරිස්‌ පුරවරයම දැකගත හැකිය. මේ ඓතිහාසික දෙව්මැඳුරේ ඝන්ඨාර 10 ක්‌ ඇති අතර විශාලතම ඝන්ඨාරයේ බර ටොන් 23 කි.

පසුගිය සඳුදා හටගත් මෙම ගින්නෙන් දෙව්මැඳුරේ කොත ගිනිගෙන කඩා වැටුණි. ප්‍රංශ විප්ලවය සමයේ මේ කොත ගලවා දැමූවත් 1860 දී යළි ඉදිවිය.

මේ අතර කන්‍ය මරියතුමියගේ ප්‍රතිමා 37 ක්‌ද ටොන් 13 ක්‌ බර සීනුවක්‌ද පැරණි සිතුවම් රැසක්‌ද බේරාගෙන ඇතැයි ප්‍රංශ රජය ඊයේ සවස නිවේදනය කර ඇත.

Image may contain: sky and outdoor
Image may contain: cloud, sky and outdoor
Image may contain: 1 person

(Visited 36 times, 1 visits today)

Related posts

Leave a Comment