බුද්ධි අංශ අඩපණ කර නෑ

බුද්ධි අංශ කිසිසේත්ම අඩපණ කර නොමැති අතර ඒ පිළිබඳ දේශපාලන උවමනා මත ඇතමුන් පතුරවා හරින කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මේ වන විට අත්අඩංගුවේ පසුවන්නේ බුද්ධි අංශ නිලධාරීන් හතර දෙනෙකු පමණක් බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන ඇමැති නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. ඝාතනයට ලක්වූවන්ගේ හත්දවසේ දානය දීමටත් පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා මිනිස් සිරුරු මතින් දේශපාලනය කරමින් ජනාධිපති අපේක්ෂක ලෙස ක්‍රියා කිරීමට තැත් කිරීම තරයේම හෙළා දකින බව ඇමැතිවරයා පැවසීය.

පොලිසිය, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශවල දහසකට වැඩි සංඛ්‍යාවක් සිටින බව පැවසූ ඇමැතිවරයා ඒ අතරින් අත්අඩංගුවේ පසුවන්නේ පැහැර ගැනීමේ කප්පම් ගැනීම් චෝදනා යටතේ ඇප දීමට නොහැකිව සිටින සිව්දෙනෙකු පමණක් බවත් සඳහන් කෙළේය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සහ අතුරුදන් මාධ්‍යවේදී එක්නැලිගොඩ ඇතුළු සිදුවීම් පිළිබඳ අත්අඩංගුවට ගත් බුද්ධි නිලධාරීන් ඇප මත මුදාහැර තිබෙන බවත් ඇමැති නීතිඥ කාරියවසම් මහතා අවධාරණය කළේය.

බුද්ධි අංශ දේශපාලනීයකරණය නොකරන ලෙසටත් බුද්ධි අංශ තොරතුරු පදනම් කරගනිමින් ප්‍රහාර සිදුවී සතියක් ගතවීමට මත්තෙන් සියලුම වගතුග සොයාගෙන ත්‍රස්තවාදීන් හඹාගොස් දක්ෂව ක්‍රියාකරන පොලිසියට, ත්‍රිවිධ හමුදාවට ගෞරවනීය ස්තුතිය පිරිනමන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රධානී ආරක්ෂක නිලධාරියා ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දරද්දී ඔහුගේ ආරක්ෂක ප්‍රධානියකු බව සිහිපත් කළ ඇමැතිවරයා හෝටලයට ආරක්ෂාව සැපයීමට ඔහුට නොහැකි වූ බවත් අවධාරණය කළේය. අතීතයේදී ගෝඨාභය රාජපක්ෂ සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්වරුන්ට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී බුද්ධිඅංශ වාර්තා නොතිබුණේදැයි මෙහිදී ඇමැතිවරයා ප්‍රශ්න කරමින් වැඩිදුරටත් සිහිපත් කළේය.

ලොව හොඳම බුද්ධි අංශයක් ලෙස අපගේ බුද්ධි අංශ හඳුන්වාදීමට හැකි බවත් සඳහන් කළ ඇමැතිවරයා බුද්ධි අංශ වෙත පහර නොදෙන ලෙසත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බුද්ධි අංශ වෙත චෝදනා එල්ල කරමින් අසත්‍ය ප්‍රචාර පතුරවා හැරීම ප්‍රතික්ෂේප කරන බවත් වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති මහාමාර්ග හා මහාමාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් ඇමැති නීතිඥ කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඇමැති නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසීය.

කමනි අල්විස්

(Visited 28 times, 1 visits today)

Related posts

Leave a Comment