වසන්තිගේ කතාව

වසන්ති ඇත්තෙන්ම හැඩකාර එකියකි. ඇය කැරෝකේ සමාජ ශාලාවේ රස්සාවට ආවේ සැමියාගෙන් බේරෙන්නට බැරිම තැනය. සැමියා තදින් මත්කුඩුවලට ඇබ්බැහි වීම ඊට හේතුවයි.

කුඩු ගහන්න සල්ලි ඉල්ලමින් සැමියා ඇය සමඟ නිතර අඬදබර කරගනී. “කුඩු” බොන්න නැතිවුණදාට ඔහු අතපය පවා කපා ගනී. මුදල් ඉල්ලමින් ඇයට පහර දෙයි. ඇයගේ ඇඳුම් පවා රැගෙන ගොස් විකුණා ඒ මුදලින් “කුඩු” ගහයි.

සැමියාගේ මේ ක්‍රියාව ඇයට ගෙන දුන්නේ බරපතළ හිසරදයකි. සැමියාගෙන් බේරෙන්නට බැරිම තැන ඇය පොලිසියට ගිය වාර අනන්තය. ඒ සැමියාට එරෙහිව පැමිණිලි කරන්නටය. ආර්ථික අතින් පිරිහී තිබුණ ද වසන්තිගේ හැඩරුවෙහි නම් කිසිදු අඩුවක් පෙනෙන්නට නොතිබිණි.

දිනක් එලෙස ගිය ගමනක වසන්තිගේ දුක් ගැනවිල්ල විසඳීම වෙනුවට පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා කළේ වසන්තිට ඔහුගේ අවනඩුව කීමය.

“මම ඕකට බෝමිබයක් දාලා ඇතුළට දාන්නම්. එතකොට අවුරුදු දෙක තුනක්ම ඔයාට කරදරයක් නැතුව ඉන්න පුළුවන්. හැබැයි ඉතිං… අපි උදව් කරනවා වගේ අපිටත් උදව්වක් කරන්න ඕන.”

ඕ.අයි.සී මහතා වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නේ කුමක් දැයි වසන්තිට වැටහිණි. සැමියාගෙන් බේරෙන්නට තිබූ එකම මඟ ඕ.අයි.සීගේ කීමට අවනත වීම පමණි. වසන්ති පොලිසියේ ලොකු මහත්තයාගේ තවත් හොර අඹුවක් වූයේ එළෙසිනි.

ඕ.අයි.සී මහත්තයා ළඟින් ඇසුරු කිරීම ගැන ඇය සිටියේ මහත් ආඩම්බරයකිනි. සමහරක් ගැහැනු පොලිසියෙන් උදව්වක් ගන්නටද වසන්ති සොයා එන්නට වූහ. වසන්ති ඒ හැම දෙයක්ම ලොකු මහත්තයාට කියා කර දුන්නේ මහත් උජාරුවකිනි.

එහෙත් වැඩිකල් නොගොස් වසන්ති මහ කරදරයක් බව ඕ.අයි.සීට වැටහිණි. ඒ වනවිටත් එවන් තරුණ කාන්තාවන් හත් අටදෙනකු සමඟ ඇසුරක් පැවැත්වූ ඕ.අයි.සී හීන් සීරුවේ වසන්තිව මඟ හැරියේය. ඒ ඔහුගේ හැටිය.

ඒ වන විට වසන්තිගේ සැමියා සිටියේ රිමාන්ඩ් ගතවය. ඒ නොකළ වරදකටය. ඕ.අයි.සී. විසින් වසන්තිගේ කීමට පටලැවු බොරු නඩුවක් නිසාය. අත් බෝම්බයක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ ඔහු ඇතුළට ගියේය. බෝම්බයක් කිසිදා නොදුටු ඔහු සිය බිරිය හා ඕ.අයි.සී. එක්ව කළ ක්‍රියාව නිසා තද කෝපයකට පත්ව සිටියේය. ඕ.අයි.සී සමඟ හැප්පීය නොහැකි බව දත් ඔහු වෛර බැන්දේ බිරිය සමඟය.

“කවදාහරි මම එළියට එනවනේ…. එදාට මම ඕකිගේ …”

එළියේ ඉන්දැද්දී “කුඩු” නැතිව සිටි ඔහු ඇතුළෙදී හොඳහැටි “කුඩු” ගැසුවේය. ඇතුළේ “කුඩු” විකුණන පාතාලයේ එකකුගේ අතපය මිරිකීම පැවරී තිබුණේ වසන්තිගේ සැමියාටය. ඔහු ඒ ආවතේව වැඩේ හරියටම කළේය. ඒ නිසා ඔහුට ඇතුළෙදී නිකම්ම “කුඩු” ලැබිණි. ඔහු මෙන් තව කිහිපදෙනකුම ඒ පාතාලයාට බැලමෙහෙවර කළහ.

“මගේ ගෑනිත් එක්ක එකතුවෙලා තමයි ඕ.අයි.සී. මට ගේම දුන්නේ.”

තමාට ඇතුළට එන්නට සිදු වූ ආකාරය ඔහු පාතාල කෙරුමාට කීවේ තදින් “කුඩු” වැදී තිබු මොහොතකදීය.

“උඹේ ගෑනි ලස්සනද?”

පාතාලයා ඇසීය.

“අපරාදේ කියන්න බැහැ බොසා. ඒකී “ජම්බුම” තමයි… ඕන එකෙක් දැක්කොත් ඉතිං….”

“හරි අපි ඒකිට වැඩක් දෙමු.”

ඔහු ඊට හිස සොලවා ‘හා’ කීවේද “කුඩු” මත නිසාය. ඒත් බොසාගේ යටි සිත තිබුණේ ඇය දැකගැනීමටය.

වසන්තිට හිරදෙරින් පණිවිඩයක් ලැබෙන්නේ ඔය අතරය.

“මිනිහට හොඳටම අමාරුයි. ඉක්මනට ඇවිත් හම්බවෙන්න.”

“මේකා ඇතුළෙත් කුඩු ගහලා මැරෙන්න යනවා වත්ද?” වසන්ති දස අතේ සිතුවාය. සැමියා දැක බලා ගන්නට යෑමට ඇයට කිසියම් බියක් ද තිබිණි. ඒත් ඇය තීරණයකට එළැඹුණාය.

වැලිකඩ ගිය ඇය “විසිට්” එකක් දැම්මාය. ඒත් සැමියා වෙනුවට ඇය මුණගැහෙන්නට ආවේ “කුඩු” බොසාය.

“උඹද අපේ කොල්ලගේ ගෑනි.”

බොසාගේ කතාවෙන් වසන්ති අන්දුන් කුන්දුන් විය.

“උඹ ඕ.අයි.සී ත් එක්ක එකතුවෙලා උඹේ මිනිහට ගේම දුන්නා නේද…”

පාතාලයා කියාගෙන ගියේය. වසන්ති සියල්ල අසා සිටියාය.

“මම උඹව මරනවා… මරනවාමයි.”

“ඇයි ඒ මොකද? මම ඔහේට වරදක් කළේ නැහැනේ.”

“උඹේ මිනිහා ඉන්නේ මගේ ළඟ. එකා මට සේරම විස්තර කිව්වා. උඹ මහ ජරා ගෑනියෙක්. උඹ ජීවත් වුණා ඇති. මම මේ උඹ කවුද කියලා බලන්නයි එන්න කිව්වේ. ගිිහින් පරිස්සමින් ඉඳපන්… දැන් පලයන්.”

වසන්ති හිරගෙදරින් පිටව ආවේ කරකවා අතහැරිය එකියක ලෙසය. ඇය දස අතේ කල්පනා කළාය. ඒත් කළ යුතු දෙයක් නැත. එන හැටියට මුහුණ දිය යුතු බවට ඇය තීරණයක් ගත්තාය.

“උඹේ ගෑනි ඉටි රූපයක්නේ.”

“ඒකනේ බොසා මම කිව්වේ. ඇයි බොසා දැක්කද?”

“නැහැ බං මට එකෙක් කිව්වා.”

බොසා කතාව මඟ හැරියේය. බොසාගේ යටි සිතේ වසන්ති කෙරෙහි කෑදරකමක් ඇතිවිය.

සති දෙකතුනක් යද්දී බොසා ඇපමත එළියට ආවේය. ඒ බව ඇතුළේ ගෝලබාලයන් හැරෙන්නට පිටත සිටි හුඟදෙනෙකු දැන සිටියේ නැත. දවසක් දෙකකට පසු බොසා වසන්ති සොයාගෙන ඇය පදිංචි නිවෙසට ගියේය.

“උඹට මාව හඳුන්නනට පුළුවන්ද?”

වසන්ති අන්දුන් කුන්දුන් විය. ඇය හිස සෙලවූවාය. කොහේදෝ තිබු පිහියක් අතට ගත් බොසා එය ඇගේ බෙල්ලට තබා තද කළේය.

“අයියේ මාව මරන්න එපා”

වසන්ති බැගෑපත් වූවාය. එතැනම තිබු ඇඳ මත වසන්ති පතිත විය. එදා පටන් වසන්ති ඔහුගේ ද හොර අඹුවක් වුවාය. තමන්ට උවමනා මොහොතක ඇය සොයා එන බොසා ඇගේ පහස ලබා පිටව යන්නේ ඇය අත රුපියල් දාහේ නෝට්ටු කිහිපයක් ද තබාය.

“මේකෙන් හොඳ ඇඳුමක් ගනින් ලස්සනට ඇඳපන්.”

“හා” කියනු හැරෙන්නට එපා කියන්නට ඇයට නොහැකි විය. වසන්තිට ද තදින් මුදල් අවශ්‍යතාවයක් තිබිණි. තම බිරිය බොසාගේ හොර ගෑනි බවට පත්ව ඇති බව. වැඩිකල් නොගොස් ඇතුළේ සිටි ඇගේ සැමියාට දැනගන්න ලැබිණි.

බොසාට එරෙහිව වචනයක් කතා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව දැනගත් වසන්තිගේ සැමියා සිය බිරියට හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි තීරණය කරමින් ඇතුළේ සිට පණිවිඩ පිට පණිවිඩ වසන්තිට එව්වේය.

“එළියට ආව ගමන් මම උඹව මරනවාමයි.”

මේ නිසා බියට පත් වසන්ති උන් හිටි තැන්ද අහිමි කර ගත්තාය. අතට හසු වූ ගවුම් දෙක තුනක් ද රැගෙන ඇය හිස හැරුණු අතේ ගියාය. වසන්තිට රෝසි අක්කා මුණගැහුණේ ඔය අතරය.

රෝසි කොළඹ ගල්කිස්සේ පිහිටි සුපිරි කැරෝකේ සමාජ ශාලාවක නළඟනක් විය. රෝසි ඇගේ ඇත්ත නම නොවුණත් නම කී පමණින් ඇය නොහඳුනන කෙනෙක් නැත. රෝසි වසර ගණනාවක් කැරෝකේ සමාජ ශාලාවල නළගනක් විදිහට සේවය කරන්නීය. ඇය හිත හොඳ ගැහැනියක ලෙස ද අනෙක් කෙල්ලන් අතර ප්‍රකටය.

“උඹ බයවෙන්න එපා නංගී..කියන තරම් යකා කළු නැහැ. ඔය කුඩ්ඩා කොහොමද උඹව මරන්නේ…. වරෙන් අපි ලොක්කා ගාවට යමු. ඇත්තම ස්ටෝරිය කියමු. අපේ ලොක්කා ඌට වැඩක් දෙයි.”

රෝසි ඇයව කැඳවාගෙන ආවේ ගල්කිස්සටය. එහිදී වසන්තිට රෝසිගේ ලොක්කා මුණගැසිණි. මුළු කතාවම අසා සිටි “ලොක්කා” ඒ කිසිවක් සතේකටවත් ගණන් ගත්තේ නැත.

“උඹ බයවෙන්න එපා. මගේ ළඟ වැඩ කරපන්. ඉතිරි සේරම මම බලාගන්නම්.”

ලොක්කා ඇය අත දාහේ නෝට්ටු දෙක තුනක් තැබුවේය. ඒ අලුත් විලාසිතාවන් සහිත ඇඳුම් කිහිපයක් මිල දී ගන්නටය. කැරෝකේ රස්සාවට ගිය ඇය අද සුරංගනාවියක් බඳු ලස්සන හැඩකාර එකියකි. ඇය මට හමුවුණේ එහිදීය. ඇය තමාට වූ සියලු අකරතැබ්බයන් මෙසේ මා සමඟ හෙළි කළාය. සැමියා කවදා හෝ පැමිණ ඇයට කිසියම් කරදරයක් කරනු ඇතැයි ඇගේ යටි සිත කීවද ඇය අද කා බී සතුටින් ජීවිතය ගෙවයි. ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීමට ඇගේ සිත සවිමත්ය.

“දැන් මම ඕන දේකට ඔට්ටුයි.”

(Visited 94 times, 1 visits today)

Related posts

Leave a Comment