වැල්ලම්පිටිය පොලිසියේ පූර්ණ ප්‍රතිසංවිධානයක්

ගයාන් කුමාර වීරසිංහ

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් 09 දෙනකුට ඇප නියම වූයේ පොලිසියේ වරදින් දැයි සොයා බැලීමට පත් කළ විශේෂ විමර්ශන ඒකකයේ අතුරු වාර්තාවට අනුව වැල්ලම්පිටිය පොලිසියේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

ඒ අනුව වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලැබීමට නියමිතව ඇත.

‘විශේෂ විමර්ශන ඒකකයේ අතුරු වාර්තාවෙන් පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කිහිප දෙනකුගේ වැඩ තහනම් කරන ලෙස නිර්දේශ කර තිබෙනව. සම්පූර්ණ වාර්තාව ලැබෙන තුරු එම නිලධාරීන්ගේ වැඩ තහනම් නොකර වැල්ලම්පිටිය පොලිස් ස්ථානයෙන් මාරු කර යවන්නට පොලිස්පතිගේ අවධානය යොමුව තිබෙනවා’ යැයි පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ ස්ථානමාරුවීම සම්බන්ධයෙන් සහ ඒ වෙනුවට පත් කරන නිලධාරියා සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම මේ වන විටත් දැනුවත් කර ඇති බවත් ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ඊට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිවනු ඇති බවත් එම නිලධාරියා කීය.

තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් අත්අඩංගුවට ගැනීමේ සිට ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීම දක්වා පොලිසියෙන් සිදුව ඇති අඩුපාඩු සහ නොසැලකිලිමත්වීම් රැසක් ගැන විශේෂ විමර්ශන ඒකකය සිය අතුරු වාර්තාවේ කරුණු දක්වා ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් පැවැසීය.

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා මරු කර යවන්නැයි ඉල්ලමින් ඉකුත් සතියේ දී ගම්වැසියන් පිරිසක් උද්ඝෝෂණයක ද නිරත විය.

(Visited 153 times, 1 visits today)

Related posts

Leave a Comment