එජාපය ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීවයි

පොදුජන පෙරමුණ පවුලේ පක්ෂයක්. ඔවුන්ගේ ජනාධිපතිධූර අපේක්ෂකයා තීරණය කරන්නේ ඔවුන්ගේ පාලක පවුලයි. ඒ අපේක්ෂකයා දින්නොත් ඔවුන්ගේ පවුල රට පාලනය කරනවා. එජාපයේ අපි සෑම විටම අපේ ජනාධිපතිධූර අපේක්ෂකයා සහ පක්ෂ නායකයා තෝරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයටයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පක්ෂය සටන් කළා මෙන්ම අපේ පක්ෂය ඇතුළේත් ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ක්‍රියාත්මක වෙනවා. මම දන්න දෙයක් තමයි පක්ෂයේ ඕනෑම ‍අයකුට මේ දේවල් සම්බන්ධයෙන් නිදහසේ අදහස් ප්‍රකාශ කළ හැකියි කියන එක යැයි ක්‍රමෝපායන සංවර්ධන සහ අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ සන්ඩේ ඔබ්සෝවර් පුවත්පත සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

* පාස්කු ප්‍රහාරය එල්ල වී මාසයකට වැඩි කාලයක් ගත වී තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධ වගකීම භාරගන්නේ කවුද යන්න ගැන මහ ජනතාව ප්‍රශ්න නඟා ඇති අතර නීතිඥ සංගමය ඔබ ඇතුළු ඇමැති මණ්ඩලයට එරෙහිව නීතිමය පියවර ද ගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරය එල්ල වීමට ඉඩ හැරීම සහ එයින් පසු ඇති වූ තත්ත්වයන් ගැන ඇමැතිවරයකු වශයෙන් ඔබටත් වගකීමක් ඇතැයි සිතෙනවාද?

මේ ප්‍රහාර ගැන බොහෝ දේ කිව හැකියි. එහෙත් වැදගත් කාරණය වන්නේ මෙම විපතට පත්වූ අය සහ ඔවුන්ගේ පවුල්වල අය රැකබලා ගැනීමයි. මෙය එක රැයෙන් මේ ආණ්ඩුවෙන් ඉටු වියයුතු වගකීමක් නොවේ. අනාගතයේ පිහිටුවන ආණ්ඩුවලටද මියගිය සහ තුවාල ලැබූ අයගේ ජීවිතවල ඒ වගකීමේ කොටසක් පැවැරෙනවා.

ආණ්ඩුව ඉටුකරන භූමිකාවට අනුකූලව පිපිරීමට පෙර සහ පසුව යන කාල සීමාවන් ඉරකින් බෙදා වෙන් කිරීම වැදගත් වෙනවා. ප්‍රහාරයට ලක්ව ජීවත් වීමට වරම් ලද බොහෝ දෙනාට එසේ වීමට වරම් ලැබුණේ, සිද්ධියෙන් පසු වහාම ප්‍රතිචාර දැක්වූ අයගේ සහ වෛද්‍ය අංශවල වෘත්තිකයන්ගේ ධෛර්යය සහ කාර්යශූරත්වය හේතුකොට ගෙනයි. පොලීසිය සහ හමුදාව වහාම ත්‍රස්ත මර්දන ස්වරූපයකට පරිවර්තනය කෙරුණා. එය එක් රැයකින් සිදු වූවක් නොවෙයි. එය සිදු වීමට ගත වුණේ එක මොහොතයි. අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ හමුදා නිලධාරීන් ශාන්ත අන්තෝනි පල්ලිය අසල තිබී කාර් බෝම්බයක් සුරක්ෂිතව නිශ්ක්‍රීය කරනු ලැබුවා. එසේ නොවූවා නම් ජීවිත සිය ගණනක් විනාශ වීමට ඉඩ තිබුණා.

ත්‍රස්තවාදීන්ගේ සියලුම ආරක්ෂිත නිවාස සති තුනක් තරම් කෙටි කාලයක් ඇතුළත හඳුනා ගැනීමට පොලීසිය සහ ආරක්ෂක අංශය සමත් වුණා. ඔවුන්ගේ සියලුම නායකයන් සහ ප්‍රධානීන්ගේ බලය බිඳ දැමීමටත්, පුපුරණ ද්‍රව්‍ය සියල්ලම සහ ඒවා නිපදවීමට හැකියාව ඇති ස්ථාන අනාවරණය කරගැනීමටත් ආරක්ෂක අංශ සමත් වුණා. ඉන්ටර්පෝල් ඇතුළු විදේශ නියෝජිත ආයතනවල සහායෙන් විදේශවල සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් හැකි වුණා. මහජන කැළඹීම් ඇති වීමට පටන් ගැනීමත් සමඟ ඇඳිරි නීතිය පනවා පැය 48ක් ඇතුළත සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. මෙතෙක් පැවැති කිසිම ආණ්ඩුවකට ත්‍රස්ත ප්‍රහාරයකින් අනතුරුව මෙතරම් සාර්ථකව මෙවැනි කටයුතු රැසක් ඉටු කරගත හැකි වී යැයි කිව නොහැකියි.

ප්‍රහාරයට පෙර වූයේ කුමක්දැයි යන්න වෙනම ප්‍රශ්නයක්. මේ සිද්ධිය ගැන බුද්ධි අංශ මඟින් ඇතැම් අය සහ ආයතන වෙත සත්‍ය තොරතුරු ලබාදී තිබුණා නම් මේ මහා විනාශය සහ ජීවිත අහිමි වීම නතර කරගත හැකි වන බව කිව යුතුයි‍. එසේ නම් ඔවුන් හඳුනාගෙන වගකිව යුත්තන් රඳවා ගත හැකි වෙනවා. ඔබ සඳහන් කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති නඩු ගැන. මේ සිද්ධියට වගකිව යුත්තන් කවුදැයි සෙවීමට සහ කිසියම් පැහැර හැරීමක් සිදු වී ඇත්දැයි සෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකු, හිටපු පොලිස්පතිවරයකු සහ හිටපු නීතිය සහ සාමය ලේකම්වරයකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත්කර තිබෙනවා. මේ සියලු යාන්ත්‍රණයන් නිසි පරිදි සහ නීත්‍යානුකූල පරිදි සකසා ඇති අතර ඒ සියල්ලම ඇත්තේ මහජනතාවට සත්‍ය දැන ගැනීමට ඉඩ සැලසීමට සහ වරදකරුවන්ව වගවීමට යොමු කිරීමට වන අතර මෙම යාන්ත්‍රණය වඩාත් වැදගත් වන්නේ එවැනි සිද්ධියක් නැවත ඇති වීම වැළැක්වීම සඳහාය.

* බොහෝදෙනා සිතන්නේ තවමත් රට සුරක්ෂිත නැත කියායි. ඒවගේම හිටපු ආරක්ෂක ලේකම් සහ ජනාධිපති ධුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වැනි කෙනෙක් පාලනය කරන තෙක් රට සුරක්ෂිත නොවනු ඇතැයි ඇතැම් අය කියනවා. එජාප මැතිවරණ ක්‍රමෝපායන්වලට මෙය බලපාන්නේ කෙසේද?

260කට අධික බාල, තරුණ, මහලු මිනිසුන්ගේ මරණ උඩින් තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවා පාලන බලය ලබා ගැනීමට උත්සාහ දරණ පුද්ගලයකු යටතේ නම් ලොව කිසිම රටක් සුරක්ෂිතභාවය ලබන්නේ නැහැ. ශ්‍රී ලංකාව බාහිර ලෝකයත් සමඟ සම්බන්ධ වීමත් එක්සත් වීමත් ඉතාම වැදගත් කාරණයක්. දේශපාලන වාසි තකා මේ රටේ දේශපාලනයට තවදුරටත් ප්‍රචණ්ඩත්වය සහ ඒකාධිපතිත්වය වෙතට තල්ලු කළයුතු නැහැ.

මේ යෝජිත ජනාධිපතිවරණය ගැන සිතුවොත් එයට ඉදිරිපත් වන කිසිම දේශපාලන පක්ෂයක් තමන්ගේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තෝරාගෙන ඇති බවක් මා දන්නේ නෑ. තමන්ට අපේක්ෂකත්වය ලබාගැනීමට තමන්ගේම පක්ෂයට, පවුලට මෙතරම් බියක්, තැතිගැන්මක්, බලපෑමක් සිදු කරන ඔහු බලයට පත් වුවහොත් සාමාන්‍ය රට වැසියාට කෙතරම් පීඩනයක් ඇති කරනු ඇත්දැයි මට හිතාගන්න බැහැ.

* කෙසේ වෙතත් මේ වසරේ දෙසැම්බර් 8 වැනිදාට පෙර මේ රටේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. ඒ කියන්නේ මාසයක් දෙකක් ඇතුළත ජනාධිපති ධූරාපේක්ෂකයන් නම් කළ යුතුයි කියන එකයි. එජාපයේ ජනාධිපති ධූරාපේක්ෂකයා තෝරාගන්නා ක්‍රමවේදය කුමක්ද? පක්ෂය තමන්ගේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද? නැතිනම් වෙනත් පොදු අපේක්ෂකයකුට සහාය දෙනවාද?

පළමුවෙන්ම තේරුම්ගත යුතු කාරණාව තමයි එජාපය මේ රටේ අනිත් දේශපාලන පක්ෂවලට වඩා වෙනස් කියන එක. පොදුජන පෙරමුණ කියන්නේ පවුලේ පක්ෂයක්. ඔවුන්ගේ අපේක්ෂකයා තීරණය කරන්නේ පාලක පවුලේ අය විසින්. ඒ අපේක්ෂකයා දිනුවොත් ඔවුන්ගේ පවුල රට පාලනය කරනවා. එජාපයේ පක්ෂ නායකයා සහ ජනාධිපති ධූරාපේක්ෂකයා තේරීමට අප නිතරම භාවිතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමයයි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන පක්ෂයක් වශයෙන් අපේ පක්ෂය ඇතුළේත් ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට අප නිතරම කටයුතු යොදනවා. මම හිතනවා මේ සම්බන්ධයෙන් තම තමන්ගේ මතය ගැන නිදහසේ සාකච්ඡා කරන්න පක්ෂයේ ඕනෑම කෙනකුට අවස්ථාව තියෙනවා කියලා. නියම කාලය පැමිණි විට ජයගැනීමට පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ අදහස් වෙනුවෙන් කැපවෙන මහන්සි වී වැඩ කරන, අවංක නායකයකු එජාපය වෙනුවෙන් අප ඉදිරිපත් කරනවා.

* ආණ්ඩුවේ ඇමැතිවරයකු වශයෙන් ඔබ ධූරයට පත්වී මෙතෙක් කාලය අතරතුර ඔබ හෝ ඔබගේ අමාත්‍යාංශය ඉටු කළ කාර්ය භාරය කුමක්ද. එසේම එළැඹෙන මැතිවරණය තෙක් ඔබට ඉටු කිරීමට නොහැකි වූ කටයුත්ත කුමක්ද?

2015 දී ක්‍රමෝපාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය ස්ථාපිත කොට එය මට භාර දුන්නා. පසුගිය වසර කිහිපය අතරතුර අප ව්‍යාපෘති කිහිපයක්ම යථාවත් කළා. ඒ අතරින් මම වඩාත්ම ආඩම්බරයට පත් වන ව්‍යාපෘති දෙකක් තමයි හම්බන්තොට වරාය ව්‍යාපෘතිය මුදවා ගැනීම සහ සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම.

2015 දී අපේ රජය බලයට පත්වීමට පෙර රාජපක්ෂ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ජනතාවට මුදල් කළ නොහැකි අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක චෙක් එකක් අස්සන් කරලා තිබ්බා. වරාය පර්යන්තය පාලනය කිරීම චීන සමාගමකට පවරා මේ අගරු චෙක් එකෙන් ජනතාව නිදහස් කිරීමේ වගකීම පැවැරිලා තිබුණේ මගේ අමාත්‍යාංශයටයි. අප ඉටු කළා. දශක ගණනාවක් අයහපත් කළමනාකරණය නිසා ඇති වී තිබූ ණය බර හේතුවෙන් විදේශ සංචිත සිඳී කඩාවැටෙන්න ගිය අපේ රටේ ආර්ථිකය ගොඩගන්න මේ ගනුදෙනුව නිසා හැකි වුණා.

ඉතා අසීරු කාලසීමාවක අස්සන් කළත් කවදා හෝ අනාගතයේ රට සුඛිත මුදිත වූ කාලයක මේ වරාය ආපසු අප වෙත මිලදී ගැනීමේ කොන්දේසිය මේ ගිවිසුමට එකතු කිරීමට අපට හැකි වීම එක් අතකින් ජයග්‍රහණයක්. එය එක් අතකට ශ්‍රී ලංකාවට අවශ්‍ය වරායක් නොවූ අතර අනිත් අතට එය නඩත්තු කිරීමට හැකියාවක් පැවැතියේ ද නැහැ. සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ශ්‍රී ලංකාව අස්සන් කළ මුල්ම අංගසම්පූර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමයි. එහි සැබෑ නියමුවා වූයේ ‍ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ගොඩනඟා ගැනීම ගැන අපට සිටි දැවැන්තම පරමාදර්ශයක් වූ ආචාර්ය සමන් කැලේගමයි. අවාසනාවකට මෙන් මේ කටයුත්ත යථාර්ථයක් වන විට ඔහු ජීවිතයට සමු දී තිබුණා. අපගේ අමාත්‍යාංශය මේ ගිවිසුම අස්සන් කළා. මේ නිසා සිංගප්පූරුව සහ කලාපයේ අනිකුත් රටවල් රැසකින් ආයෝජන ආකර්ශණය වූ නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සාර්ථකත්වය කරා ගමන් කරන බවට විශ්වාසයක් ඇති කරගත හැකියි.

දැන් එය වසරකට වඩා ක්‍රියාත්මකයි. ඇතැම් වෙනස්කම් සිදු කිරීම ගැන සිංගප්පූරුව සමඟ සාකච්ඡා කිරීමට කාලය පැමිණ තිබෙනවා. පසුගිය වසරේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය වැනි විවිධ කණ්ඩායම් විලාසිතාවට මෙන් වෙනස්කම් සිදුකරන ලෙස කළ ඉල්ලීම්වලට වඩා යථාර්ථවාදී යෝජනා ඉදිරිපත් කරන්න අප අවස්ථාව ලබාදී තිබෙනවා. කෙසේ වෙතත් අවසාන ගිවිසුම කෙටුම්පත් කරන්නේ ඉදිරියේ දීයි. නිදහස් වෙළෙඳ ගිවිසුම් යනු දීර්ඝ කාලීන ආයෝජනයි. අපේ අමාත්‍යාංශය කටයුතු කරන්නේ ක්‍රමෝපායන් සංවර්ධනය කිරීම වෙනුවෙන් විනා එළැඹෙන මැතිවරණය ඉලක්ක කරගෙන නෙවෙයි. ඉන්දියාව සමඟ ඒ ආකාරයේම පුළුල් නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කරගැනීමට අපි සාකච්ඡා කරමින් ඉන්නවා. එය දැනට ක්‍රියාත්මකව පවතින්නේ භාණ්ඩ සඳහා පමණයි. සේවා සහ ආයෝජන සම්බන්ධයෙන් එයට කරුණු ඇතුළත් වෙලා නැහැ. සිංගප්පූරු ගිවිසුම ආසියාන් (ASEAN) රටක් සමඟ අප ඇති කරගත් ප්‍රථම අංගසම්පූර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමයි. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම පිළිබඳ ඇති ගැටලු සංවර්ධන ක්‍රමෝපායන් සහ අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ අමාත්‍යාංශය හඳුනාගෙන තිබෙනවා. කාර්මික භූමියේ ආරක්ෂාව රැකගැනීමේ අපහසුතාවය ඒ අතරින් ප්‍රධානයි. බොහෝ පහසුකම් ඇතිව බිංගිරියේ කර්මාන්ත පුරවරය ඉදි කිරීම සිදු වෙනවා. තවත් රැසක් ඉදිරියේ දී පැමිණේවි.

* දේශීය කර්මාන්තවලට විදේශීය වෙළෙඳපළවල තරග කිරීමට අවකාශ සලසා දීම ඔබගේ අමාත්‍යාංශයේ කාර්ය භාරයක් නොවේද? ඇයි එයට ප්‍රමුඛත්වයක් නොදෙන්නේ?

දේශීය කර්මාන්තවලට ආධාර දීමට අප මුල්තැන දෙන්නේ නැතියි කීම වැරැදියි. මෙම ක්ෂේත්‍රයේ තරගකාරීත්වය වර්ධනය කරමින් සහ මෙම කර්මාන්තවලට සහයෝගී ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායන් හඳුන්වා දීම, මූල්‍ය ආධාර ලබාදීම, තාක්ෂණික සහාය, යටිතල පහසුකම් සැපයීම වැනි දේ අප සිදු කරනවා. මේවා මීට දශක ගණනාවකට කළින් ඒවා අවශ්‍ය වූ විට සිදු විය යුතුව තිබූ දේවල්. අනිත් අතට මේවා මැතිවරණයට කළින් සතියකින් නැත්නම් මාසයකින් ප්‍රතිඵල ලැබෙන එක රැයෙන් සැලසුම් කළ කාරණා නෙවෙයි. නැවතත් කියන්න ඕනෙ කර්මාන්තවල ස්ථිර පැවැත්ම වෙනුවෙන් ගොඩනඟන මේ ක්‍රමෝපායන්වල ප්‍රතිඵල ලැබෙන්නෙ අනාගතයේ දවසකයි කියලා. 2018 වසරේ දී අප ගොඩනැඟූ ජාතික අපනයන ප්‍රතිපත්තියට ප්‍රධාන ක්ෂේත්‍ර හයක් සහ වෙළෙඳ සංවර්ධනයට දායක වන ක්‍රියාකාරකම් තුනක් ඇතුළත් වෙනවා. 21 වැනි සියවසට උචිත ආර්ථිකයේ හොඳින්ම ස්ථාපිත වූ කර්මාන්ත, අනාගතයේ මතු වෙමින් පවතින ව්‍යාපාරික අවස්ථා මේවාට අයත් වෙනවා.

එසේම ග්‍රාමීය නිෂ්පාදකයාට තම නිෂ්පාදනවල ගුණාත්මකභාවය නංවාලමින්, වෙළෙඳපළ ක්‍රමෝපායන් වර්ධනය කරගනිමින් සහ තාක්ෂණික සම්පත් ලබාදෙමින් අන්තර්ජාතික වෙළෙඳපළට පිවිසීමට අවස්ථාව සලසන වැඩසටහන් රැසක්ම අප සංවිධානය කර තිබෙනවා. පුද්ගලික අංශයේ දේශීය වෙළෙඳ ප්‍රජාවට වඩාත් නිදහස් ලෙස වෙළෙඳ කටයුතුවල නිරත වීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අපි වැඩපිළිවෙළක් හඳුන්වා දුන්නා. මේ මඟින් අඩු මිලට සිදුකරන ආනයනික වෙළෙඳ සැපයුම්වලින් දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට අවශ්‍ය සුරක්ෂණයන් කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා.

* දීර්ඝ කාලයක් තිස්සේ දේශීය වෙළෙඳපළට අඩුමිලට එකතු වූ විදේශ භාණ්ඩ පැවැතියා. ඇයි ඒගැන තීරණයක් ගන්න ආණ්ඩුවේ කාලය අවසාන වනතෙක් හිටියේ?

මේවා අමතරව ගත් පියවරයි. කසල ප්‍රතිසාධනය කිරීමේ පනත සහ ආරක්ෂණ පියවර පනත අප පසුගිය වසරේ දී පාර්ලිමේන්තුවේ සම්මත කළා. මේ ඓතිහාසික පනත් කාලයක් තිස්සේ මේ රටේ සිදු කළ යුතුව තිබුණත් පැවැති ආණ්ඩු මඟින් නොසලකා හැර තිබූ ඉතා වැදගත් කාරණායි. මේ පනත් නිසා විදේශ රටවල්වලින් අපේ රටේ වෙළෙඳපළට සිදු කෙරෙන කසල භාණ්ඩ වෙළෙඳාම් හමුවේ සහ අසාධාරණ වෙළෙඳ කොන්දේසි හමුවේ නීතිමය ආවරණයක් දේශීය ව්‍යාපාරිකයන්ට ලබාගත හැකියි. වගකීමක් ඇති ආණ්ඩුවක් දේශීය ව්‍යාපාරවලට නිදහස ලබාදෙන ගමන් ඒවා රැකගැනීමට අවශ්‍ය පියවර ගතයුත්තේ මේ ආකාරයටයි. ව්‍යාපාරික කටයුතු පහසු කිරීමට මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට බැරි වූයේ ඇයි දැයි පසුගිය ආණ්ඩුවලින් විමසිය යුතුයි. මේ ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග රැසක් නිසා 2019 වසරේ ව්‍යාපාර සිදු කිරීමට සුදුසු ස්ථාන දැක්වෙන දර්ශකයේ 11 වැනි ස්ථානය අපට හිමි වුණා.

* ජනාධිපතිවරණ මැතිවරණයට සූදානම් වීමට එජාපය ඉදිරිපත් කරන අනිත් වැඩපිළිවෙළ මොනවාද?

මම පැහැදිලිවම කියන්නම් මේ කිසිම කාරණයක් මැතිවරණයට සූදානම් වීම ඉලක්ක කරගෙන සිදු කළ දේවල් නොවෙයි. ගෙවුණු පාලන කාලය තුළ මෙතෙක් අප සිදු කළේ පාලකයන්ගේ වගකීම් ඉටු කිරීමයි. රටේ ආරක්ෂාව සහ ජනතාවගේ දීර්ඝ කාලීන අවශ්‍යතා ඉටු කිරීමටයි අප කටයුතු කළේ. මම කියන්නම් අප නොකළ දේ මොනවාද කියලා. ඒ නිසා ඔබට මෙය පසුගිය මැතිවරණයට සාපේක්ෂව සසඳා බැලිය හැකියි. විපක්ෂ ඡන්දදායකයන් වෙත බලපෑම් කිරීමට අපි හමුදාව යොදාගත්තේ නැහැ. ජනමාධ්‍යවේදීන්ගේ නිවාස ඉදිරිපිට අපි සුදු වෑන් නතර කොට තිබේ නැහැ. භාණ්ඩාගාරයෙන් මුදල් අරගෙන අපේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සිල්රෙදි ගත්තේ නැහැ. දේශපාලන විරැද්ධවාදීන් ගැන තොරතුරු සෙවීමට රාජ්‍ය ඔත්තු සේවාවන් යොදාගත්තේ නැහැ. තමන් කැමැති දේශපාලන නායකයා ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාගැනීමට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත් වීමට අවශ්‍ය කටයුතු අප සංවිධානය කරනවා.

පරිවර්තනය
බුද්ධි කරුණාරත්න

(Visited 154 times, 1 visits today)

Related posts

Leave a Comment