“මම දැකපු තරමට, මම හිතුව තරමට, මට පෙන්වූ හීන ලෝකය සුන්දර වුණේ නැහැ” – විවාහයෙන් වෙන්වූ උදාරි කියපු කතාව

උදාරි කෞෂල්‍යා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක් වගේම කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිණියක්. මේ ඇය සතිඅන්ත පුවත්පතක් සමග කළ කතාබහක්

උදාරි කෞෂල්‍යා කියන්නේ රඟපාන්න හිටපු කෙනෙක් නෙවෙයි නේද?
ඇත්තෙන්ම ඔව්. මම ගියේ කොලඹ මියුසියස් විද්‍යාලයට. උසස් පෙළ සමත් වුණේ දිවයිනේ ඉහළම ලකුණු ලාභීන් අතරට එක් වෙමින්. ඉන් පසු ව්‍යාපාර අධ්‍යන අංශයෙන් ජයවර්ධනපුර සරසවියට තේරුණා. ඒත් පසුව තාත්තා කියපු නිසා කොළඹ සරසවියට මාරු වුණා. සරසවියේ අධ්‍යාපන කටයුතු කරන අතරවාරයේදී රඟපෑමේ අවස්ථාව උදා කරගත්තා. නොසිතූ වෙලාවක ආව ඒ ආරාධනය නිසා ගමන වෙනස් වුණා. ඒත් එදා තාත්තා නම් රඟපෑමට යන්න අවසර දුන්නේම නැහැ.

ඒ වන විට මොනවගේ අංශයක නිරත වෙන්නද හිතුවේ?
මාගේ එකම අරමුණ වුණේ හොඳින් ඉගෙන ගෙන පෞද්ගලික අංශයේ ආයතනයක හොඳ තනතුරක් දැරීමයි. එක්කෝ මගේම ව්‍යාපාරයක් පටන් ගැනීමයි. කොහොම වුණත් දැන් මම සිටින තැන ගැන සතුටු වෙනවා. අද මගේ ගෙදර අයත් මේ නිර්මාණ ගොඩාක් ආසාවෙන් නරඹනවා.

එතකොට උපාධියට මොකද වුණේ?
පසුගිය අවුරුදු දෙකක කාලයේදී මම ලංකාවේ හිටියේ නැහැ. ඇමරිකාවට ගිහින් මට මෙහිදී අතපසු වූ උපාධිය සම්පූර්ණ කළා.

උදාරිගේ ගෙවුණු ජීවිතය දිහා ආපස්සට හැරී බැලුවොත්?
මට හිතෙන්නේ මම දැකපු තරමට, මම හිතුව තරමට, මට පෙන්වූ හීන ලෝකය සුන්දර වුණේ නැහැ. අපි හිතන තරමට මිනිස්සු සුන්දරත් නැහැ. මම මේ හිනා වෙලා හිටියට ඒ හිනාව යට තියෙන්නේ ලොකු කඳුලක්. ඒ කඳුළු කතාව අතරින් හිනාවෙලා ඉදිරියට ගමනක් යන කෙනෙක්. පාඩම් ඉගෙනගෙන ගමනක් යන කෙනෙක්.

දැන් ජීවිතය මොන වගේද?
දැන් නම් හරිම සැහැල්ලුවෙන් සන්තෝසයෙන් ගමනක් යන බව කියන්න පුලුවනි. වැඩි බලාපොරොත්තු නැහැ, පොළවේ පය ගහලා ඉන්න චරිතයක්. කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ජීවත් වෙනවා.

ජීවිතේ මේ තාක් ගත්ත තීරණ ගැන පසු තැවෙනවාද?
මම හිතන විදියට ජීවිතේ මම කැප කිරීමක් කළා. මගේ සතුට ගැන නොසිතා අනුන්ගේ සතුට ගැන හිතලා කළේ ප‍රිත්‍යාගයක්. ඒ නිසා මම මගේ හිත හදාගත්තේ බොහෝම අමාරුවෙන්. හැබැයි සෑම ක්‍රියාවක් හමුවේම ප්‍රතික්‍රියාවක් තිබෙන බව මම දන්නවා. මම කාටවත් හීනෙකින්වත් වරදක් කරන කෙනෙක් නෙවෙයි. මම හිතන විදියට ජීවිතේ සියල්ල සිද්ධ වුණේ මගේ හොඳටයි. ඒ නිසා පසුතැවීමක් නැහැ.

ප්‍රේමය, ආදරය, විවාහය ගැන හිතන්නේ කොහොමද?
ප්‍රේමයේදී පළමු ආරම්භය සුන්දරයි. නමුත් අපි හිතන තරමට එය සුන්දර නැහැ. විවාහ වන්නේ මැරෙන තාක් කල් අත්වැල් බැඳගෙන ගමනක් යන්නයි.ඒත් වත්මන් සමාජයේ විවාහ වන ඒ පිරිස අතරින් නියම අරුත වටහාගෙන ගමනක් යන්නේ සුළු පිරිසක් විතරයි. ආසාවක් සහ වෙන වෙන දේවල් බලාපොරොත්තුව විවාහ වුණොත් ඒ බැඳීම ඔවුනට නොදැනීම ගිලිහෙන්න පුළුවනි.දෙදෙනාගේ අදහස්වලට අනුව තමයි බැඳීම තීරණය වෙන්නේ. මම මේ විදියට කියන්නේ ඉදිරියේදී තනිකඩව ඉන්නවා කියන එක නෙවෙයි.මේ ලෝකේ මේ වගේ දෙයකට මුහුණ දුන්න පළමු කෙනාත් අවසන් කෙනාත් මම නෙවෙයිනේ. දැන් මම ජීවත් වන බව දැනෙනවා.දැන් මම මටම ආදරය කරන්න පටන්ගෙන. විවාහයට පසුව ජීවිතයේ මම මං ගැන වැඩිය හිතුවේ නැහැ. දැන් මම මටම ආදරය කරමින් මගේ ජීවිතය හඳුනාගෙන ඉදිරියට යමින් සිටිනවා.

ලංකාදීප

(Visited 299 times, 1 visits today)

Related posts

Leave a Comment