මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදු වූ සිදුවිම් ගැන බලන්න විග්නේශ්වරන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලන්න සූදානම්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදු වූ සිදුවිම් පිළිබදව කරුණු සොයා බැලීමට තමන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා සිටින බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය හා දෙමළ ජනතා සන්ධාන පක්ෂයේ නායක සී.වී.විග්නේස්වරන් මහතා යාපනයේදී පැවසීය.

ඔහු මේ බව පැවසුවේ දෙමළ ජනතා සන්ධාන පක්ෂයේ ක්‍රියාකාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.

මුස්ලිම් ජනතාව යනු මේ රටේම ජන කොටසක් වූවත් කිසිදු හේතුවක් නොමැතිව ඔවුන්ට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා රටේ පවත්නා වලංගු නීතියට පටහැනිව බොහෝ අසාධාරණකම් සිදු වූ නිසා තමන් ඊට ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ තම පක්ෂය හරහා බවද විග්නේස්වරන් මහතා කියා සිටියේය.

රට තුළ සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියාවක් පදනම් කරගෙන ජාතිවාදය කරපින්නා ගත් පිරිසක් මුස්ලිම් ජනයාගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වශයෙන් සියලු දෙනාම දැකිය යුතු බවද විග්නේස්වරන් මහතා මෙහිදී සදහන් කළේය.

මුස්ලිම් ජනතාව දෙමළ ජනතාවගේ සහෝදර ජන කොට්ඨාශයක් වශයෙන් සලකා තමන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය ඇතුළු ලෝකයේ රටවල් හා සංවිධාන කීපයකට ලිපියක් යැවීමට සැලසුම් කොට ඇති බවත් ඒ මගින් මේ ජාත්‍යන්තර පරීක්ෂණය ඉල්ලා සිටින බවත් ඔහු සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට හා දේශපාලනඥයින්ට ඉතා කුරීරු හා ජනතාව කුපිත වන අන්දමට සැලකීම තම පක්ෂය අනුමත නොකරණ බවත් මුස්ලිම් දේශපාලනඥයින්ට සිදු වූ අසාධාරණයට රජය වගකිව යුතු බවත් විග්නේස්වරන් මහතා ප්‍රකාශ කරයි.

මුස්ලිම් දේශපාලනඥයින්ට එරෙහිව චෝදනා රැසක් ඇති බවට ප්‍රචාරයන් ගෙන ගියත් රජයට හා ආරක්ෂක අංශ වලට ඒවා මෙතෙක් පැහැදිලිව ඔප්පු කරගැනීමට නොහැකි වූ බවද විග්නේස්වරන් මහතා පෙන්වා දෙයි.

එක් පිරිසක් මේ මුස්ලිම් දේශපාලනඥයින්ට චෝදනා ඇති බව ප්‍රකාශ කරමින් ඔවුන්ව දේශපාලන භූමියෙන් ඉවත් කිරීමට සූදානම් වෙද්දී තවත් දේශපාලාන්ඥයින් පිරිසක් ඒ මුස්ලිම් දේශපාලනඥයින්ව ඔවුන් ලගට කැදවා ගෙන දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කරණ බව ටී.එම්.කේ පක්ෂයේ නායක විග්නේස්වරන් මහතා මෙහිදී උදාහරණ සහිතව පෙන්වා දුන්නේය.

මුස්ලිම් දේශපාලනඥයින්ට චෝදනා ඇත්නම් ඒ චෝදනා රටේ සියළුම දේශපාලන පක්ෂ වලට චෝදනා විය යුතු නමුත් දකුණේ සිංහල බෞද්ධ දේශපාලන පක්ෂ වලට සහය දක්වන්නේ නම් ඒ චෝදනා චෝදනා වශයෙන් ඔවුන් නොදකින බවද විග්නේස්වරන් මහතා පැවසීය.

බලයේ සිටින හා මෙතෙක් බලයේ සිටි දකුණේ සිංහල බෞද්ධ දේශපාලන පක්ෂවල නායකයින් ඔවුන්ට හිතවත්කම් පෑ විවිධ චෝදනා වලට ලක් වී සිටි විවිධ පුද්ගලයින්ව අධිකරණ වලින් පවා නිදහස් කළ බව ඔහු මෙහිදී වැඩි දුරටත් සදහන් කළේය.

(දිනසේන රතුගමගේ)

(Visited 235 times, 1 visits today)

Related posts

Leave a Comment