ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 හා 19 සංශෝධන අහෝසි විය යුතුයි

නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇතිකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

18 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රමයේ තිබූ රාජාණ්ඩු හා ඒකාධිපති ස්වරූපය හේතුවෙන් නව ආණ්ඩුවක් පිහිටුවා 19 වන සංශෝධනය ගෙන ආව ද එම සංශෝධනය හරහා එක දේශපාලන නායකත්වයක් යටතේ ගමන් කිරීමට නොහැකිවීමෙන් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වූ බවත් ඒ තුළ යහපාලන රජයේ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40ක් සපිරීම වෙනුවෙන් (23) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සැමරුම් උත්සවය අමතමින් ජනපතිවරයා මේ බව අවධාරණය කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ අද රටට අවශ්‍ය ඇත්තේ ජනතා සිතුම් පැතුමි හඳුනන ජන හිතකාමී පාලනයක් බවත් ඒ සඳහා රටට ආදරය කරන සහ අවංක දේශපාලන නායකයින් සිටිය යුතු බවත් ය.

එමෙන්ම රටේ සංවර්ධනයේ ශක්තිමත්ම බලඇණිය වන ලක්ෂ 16ක රාජ්‍ය සේවකයින් වංචාවෙන් දූෂණයෙන් තොරව තම වගකීම් නිසිලෙස ඉටුකරන්නේ නම් මහජන අවශ්‍යතා කඩිනමින් ඉටුකර දිය හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු අමාත්‍යවරියක වන ෆේරියල් අෂ්රොෆ් මහත්මිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

(Visited 11 times, 1 visits today)

Related posts

Leave a Comment