ජනවසමේ වතුයායක පර්චස් දහයේ ඉඩම් කැබලි 67ක් සේවකයෝ බෙදාගෙන

ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන මොනරාගල කුමාරවත්ත වතුයායට අයත් මොනරාගල නගරයේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මොනරාගල – බිබිල මාර්ගයට මුහුණලා පිහිටි ඉඩමක් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලයේ හා ප‍්‍රාදේශීය කාර්යාලවල සේවය කරන නිලධාරීන් පිරිසක විසින් පර්චස් දහය බැගින් ඉඩම් කැබලි හැටහතක් එක් පර්චසයක් රුපියල් 1000 බැගින් බෙදාගෙන තිබේ.

2019/06/17 වැනි දිනැතිව ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ ඔප්පු අංක 54 සිට 121 යටතේ එම ඉඩම් කැබිලි ලියාපදිංචි කර ඇත.

ඉඩම් ලැබී ඇති ජනවසම සේවකයින්ගෙන් 75%ක්ම මොනරාගල ප‍්‍රදේශයෙන් පිට හෝමාගම, ජාඇල, හදපාන්ගොඩ, මිල්ලෑව, මාතර, පොකුණවිට, ගාල්ල, කරදන, තලගල, නුවර ආදී ප‍්‍රදේශවල පදිංචිකරුවෝ බවත් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ කුමාරවත්ත වතුයායේ සේවය කරන පිරිසටකටද ඉඩම් කැබලි ලැබී තිබෙන අතර ඔවුන් මේවන විටත් වතුයායේ ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන නිවාස ඉදිකරගෙන සිටින අය බව කම්කරුවෝ පවසති.

ජනවසම යටතේ පාලනය වන කුමාරවත්ත වතුයායේ ඉඩම්වල අයිතිය ඇත්තේ තම ආයතනයට බවත් ජනවසමට මෙලෙස ඉඩම් විකිණීමට නොහැකි බවත් ඉඩම් ප‍්‍රතිසංස්කරණ බල මණ්ඩලයේ මොනරාගල දිස්ත‍්‍රික් කාර්යාලය සඳහන් කරයි.

මෙම ප‍්‍රදේශයේ ඉඩම්වල පර්චසයක වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 03 සිට 5 දක්වා වන නමුත් මෙහි එක් පර්චසයක් රුපියල් දහසක් (රු. 1000) තරම් වීම විශ්මයට කරුණකි.

බෙදාගෙන ඇති මෙම ඉඩම් කොටස කිරි ලබා ගන්නා අවුරුදු තිහකට වඩා පැරණි රබර් වගාවකින් සහ කොකෝවා යටි වගාවකින් සමන්විතය.

මොනරාගල කුමාරවත්ත වතුයායේ වසර ගණනාවක් සේවය කරමින් කම්කරු පවුල් සිය ගණනක් බිම් අඟලක අයිතියක් නොමැතිව මේ වනවිටත් පේළි නිවාසවල ජීවත් වෙන අතර පේලි නිවාස අසළ ඉඩම් කැබැල්ලක වගාවක් කළොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ජනවසම පාලකයින් විසින් මෙසේ ඉඩම් බෙදා ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළකරන බව වතු කම්කරුවෝ සඳහන් කරති.

(Visited 8 times, 1 visits today)

Related posts

Leave a Comment