ස්කයිප් හරහා සැකකරු හඳුනා ගැනීමට කැමතියි – කීත් නොයාර්

ද නේෂන් පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධව නවවැනි සැකකරු සම්බන්ධව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වුවහොත් ස්කයිප් තාක්ෂණය හරහා සම්බන්ධ වෙමින් සැකකරු හඳුනා ගැනීමට කැමති බව දන්වමින් වින්දිත මාධ්‍යවේදී කීත් නොයාර් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊමේල් පණිවිඩයක් හරහා දැනුම් දී ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය ඊයේ (01) ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සී. එච්. ජී. ලියනගේ මහතා හට දැනුම් දෙනු ලැබීය.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුව ඊයේ (01) යළි කැඳ වූ අවස්ථාවේ නවවැනි සැකකරු ලෙස නම් කර සිටින හමුදා බුද්ධි අංශ කෝප්‍රල් ලලිත් රාජපක්ෂ යන අය සම්බන්ධව හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වීම පිළිබඳ අවසන් නියෝගය අගෝස්තු (06) දින ලබා දීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සී. එච්. ජී. ලියනගේ මහතා ඊයේ (01) නියම කළේය.

ඒ අනුව වැඩි දුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නීතිපතිවරයාගේ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාගේ හා අධිකරණ ඇමැතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව නව වීඩියෝ තාක්ෂණය භාවිත කරමින් වින්දිත මාධ්‍යවේදී කීත් නොයාර් මහතා ස්කයිප් තාක්ෂණය හරහා සම්බන්ධ කර ගනිමින් හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී සැකකරු හඳුනා ගැනීම සඳහා කටයුතු සම්පාදනය කිරීමේ හැකියාව පවතින බව හා මේ සම්බන්ධව නීතිපති අවදානය මේ වන විට යොමු කර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරිය වැඩි දුරටත් අධිකරණයට දැන්වූවාය.

ඒ අනුව වින්දිත මාධ්‍යවේදී කීත් නොයාර් මහතා වීඩියෝ තාක්ෂණය හරහා සම්බන්ධ වෙමින් හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී තමා හට සැකකරු හඳුනා ගැනීමට හැකි බව පවසමින් ඊමේල් පණිවිඩයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති හෙයින් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට ප්‍රථම ඔහු ලබා දී ඇති ප්‍රකාශ හරහා ඔහුව පැහැර ගත් අවස්ථාවේ සිටි පුද්ගලයන් දෙදෙනකු හඳුනා ගැනීමට හැකියාව ඇති බව පවසා ඇති නිසා මේ හඳුනා ගැනීමේ පෙරට්ටුව තැබීම අත්‍යවශ්‍ය බව රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරිය අධිකරණයට දැන්වීය.

එහි දී සැකකරු වෙනුවෙන් පෙනී සිටිමින් නීතිඥ රවී මතුගම මහතා පවසා සිටියේ වින්දිතයා වීඩියෝ තාක්ෂණය හරහා හඳුනා ගැනීමේ පෙරට්ටුවට සහභාගී වන බව දන්වා ඇති බව ඊමේල් පණිවිඩයක් එවා ඇති බව පැමිණිල්ල විසින් මීට පෙර අධිකරණයට කරුණු අවධාරණයක් සිදු කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් නොමැති බවත්ය.

තව ද පෙරට්ටුව සඳහා ඉදිරිපත් කිරීමට නියමිත සැකකරු ඊයේ (01) දින අධිකරණ භූමිය තුළට කිසිදු හිස් ආවරණයක් නොමැතිව රැගෙන විත් ඇති හෙයින් පෙරට්ටුවක් තැබීමේ නිෂ්ඵල බව ද අධිකරණයට පවසා සිටියේය.

එහි දී මේ සැකකරු උපාලි තෙන්නකෝන් මාධ්‍යවේදියා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගූවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතවී සිටින සැකකරු බවත් නමුත් ගම්පහ අධිකරණයේ විභාග වන එම නඩු කටයුත්තේ හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා ද සැකකරු හිස් ආවරණ නොමැතිව අධිකරණයට ඉදිරිපත් කිරීමට මහර බන්ධනාගාර අධිකාරිවරයා කටයුතු කර ඇති බව තමා කරුණු දැනුවත් බව රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරිය අධිකරණයට කරුණු අවධාරණය කළාය.

තව ද මේ සම්බන්ධයෙන් ගම්පහ අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා විසින් මහර බන්ධනාගාර අධිකාරිවරයාගෙන් විශේෂ විමසීමක් සිදු කර ඇති බවට ද කරුණු දැනුවත් බව රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරිය අධිකරණයට පැවැසුවාය.

ඒ අනුව ඊයේ (01) සැකකරු අධිකරණයේ නඩුවෙහි පෙරට්ටුව සඳහා ද අධිකරණයට හිස් ආවරණයන් නොමැතිව රැගෙන විත් විනාඩි දහසයක පමණ කාලයක් සැකකරු අධිකරණ භූමිය තුළ හිස් ආවරණ නොමැතිව රඳවා තබාගෙන ඇති ආකාරය සීසීටීවී දර්ශන අධ්‍යනය කිරීම හරහා පැහැදිලිව නිරීක්ෂණය වන බව ද රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරිය කරුණු අවධාරණය කළාය.

නමුත් විනාඩි දහසයක පමණ කෙටි කාලයක් තුළ මේ සැකකරු පිළිබඳ විශේෂ අවධානයක් අධිකරණ භූමිය තුළ සිටි පිරිස් යොමු කර ඇති බවක් හෝ සැකකරු ඡායාරූපගත කිරීමක් හෝ යම් ආකාරයක පෙරට්ටුව නොපැවත්විය හැකි කරුණක් සිදු වී නොමැති බව සීසීටීවී දර්ශන අධ්‍යයනය හරහා පැහැදිලි වූ බව ද රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරිය අධිකරණය දැන්වූවාය.

මෙවැනි අවස්ථාවක මේ නඩු කටයුත්ත සම්බන්ධව පෙරට්ටුව සඳහා ඊයේ (01) දින මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ඉදිරිපත් කිරීමේ දී මහර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයා අයුතු නොසැලකිල්ලකින් හෝ අපරාධමය චේතනාවකින් මේ ආකාරයෙන් කටයුතු කිරීමට නියත වශයෙන් හේතු විමසිය යුතු බව ද රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට දැන්වීය.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධව නවවැනි සැකකරු මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

අධිකරණයේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටිමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරිය මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙනවිත් රඳවා තබා ගත් බදුඅත්ත ආරක්ෂක රැඳවුම් නිවාසයේ සිටි හමුදා සෙබළකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දෙමින් සැකකාර හමුදා බුද්ධි අංශ කෝප්‍රල් ලලිත් රාජපක්ෂ යන අය විසින් කීත් නොයාර් මහතා බදුඅත්ත ආරක්ෂක රැඳවුම් නිවාසයට රැගෙනවිත් ඔහුගේ අත් පා බැද දමන අයුරු තමා ඇසින් දුටු බවට සාක්ෂි ලබා දී ඇති බව පැවැසීය.

ඒ අනුව එය ඇසින් දුටු සාක්ෂියක් වන බැවින් නීතිපතිවරයා විසින් හමුදා බුද්ධි අංශ කෝප්‍රල් ලලිත් රාජපක්ෂ යන අය මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර ඇති බව පැවැසීය.

එහි දී කරුණු තව දුරටත් කරුණු අවධාරණය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරිය පවසා සිටියේ පෙරට්ටුවේදී සැකකරු හඳුනා ගැනීම සඳහා මාධ්‍යවේදී කීත් නොයාර් මහතා අධිකරණය හමුවට පැමිණීම අවශ්‍ය වුව ද අධිකරණයට පැමිණීම ඔහු විසින් ගනු ලබන පුද්ගලික තීරණයක් බවයි.

නමුත් මේ වන විට වින්දිත මාධ්‍යවේදී කීත් නොයාර් මහතා ස්කයිප් තාක්ෂණය හරහා සම්බන්ධ වෙමින් නවවැනි සැකකරු සම්බන්ධව හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී සැකකරු හඳුනා ගැනීමට කැමති බව දන්වා ඇති හෙයින් පෙරට්ටුව පැවැත්වීමට බාධාවක් නොමැති බව අධිකරණය දැනුවත් කරනු ලැබීය.

ඒ අනුව නඩුව අගෝස්තු මස (06) යළි කැඳවීමට නියමිතය.

අමෝදා ජයමහ

(Visited 9 times, 1 visits today)

Related posts

Leave a Comment