අපරාධකරුවන් රටින් පිට කරන ආගමන විගමන ජාවාරමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු අපරාධකරුවන්ට රැකවරණය දෙමින් ඔවුන් වංචා සහගතව රටින් පිට කිරීමේ සංවිධානාත්මකව සිදුවන ජාවාරමක් ගැන බුද්ධි අංශ විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙය රටේ ජාතික ආරක්ෂාවට පවා දැඩි තර්ජනයක් වන කාර්යයක් බව ද වාර්තා වේ.

එසේ අපරාධකරුවකුට ආගමන විගමන නිලධාරීන්ගේ රැකවරණය ලැබීමක් ගැන තොරතුරු හෙළිවන ආසන්නතම සිදුවීම වන්නේ ජම්බුගස්මුල්ලේදී ඉකුත් 28 වෙනිදා අවන්හල් හිමිකරුවකු වෙඩි තැබීමට සම්බන්ධ මහ මොළකරු බවට හඳුනා ගත් ජම්බුගස්මුල්ලේ බබී නැමැති පාතාල අපරාධකරුව ඩුබායි රටට පැන යෑමට සැලැස්වීමය.

එම පාතාල අපරාධකරු රටින් පලාගොස් ඇත්තේ 28 වැනිදා සිදුවන එම ඝාතනයෙන් පසුව වන නමුත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ඔහු 26 වෙනිදා රටින් පිටව ගොස් ඇති බවත් ඔහු නැවත මෙරටට පැමිණ නැති බවටත් තොරතුරු ස්ථාපිතව ඇති බව සදහන්ය. මේ සම්බන්ධව බුද්ධි අංශ විසින් සොයා බැලීමේදී හෙළිවන්නේ සැබෑ ලෙසම බබී නැමැති එම අපරාධකරු රටින් පලායන්නේ 28 වැනිදා බවය. 26 වැනිදා සිදුවන්නේ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය පමණක් කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් ඔහු විදෙස් ගතවූ බවට විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කිරීමය. එය සිදුකර ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීයාද මේ වන විට බුද්ධි අංශ විසින් හඳුනාගෙන තිබේ.

මෙවැනි සිදුවීම් කිහිපයක්ම පසුගිය කාලයේ සිදුවී ඇති බව මේ වන විට බුද්ධි අංශවලට පෙනී ගොස් ඇත.

පොලිසියට අවශ්‍ය කරන මත්කුඩු ජාවාරමට සම්බන්ධ පාතාල අපරාධකරුවකු මෙන්ම කාන්තාවක්ද මේ ආකාරයටම මෙයට පෙර රටින් පිටව ගොස් ඇති බවද විමර්ශනවලින් පෙනී යන බවත් බුද්ධි අංශ පෙන්වා දෙයි.

මේ ආකාරයට ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ අපරාධකරුවන්ට පවා රට තුළට ඇතුළුවීමටත් රටින් නිදහසේ පිටවීමටත් අවස්ථාව ලැබෙන බැවින් එවැනි ක්‍රියා වළක්වා ගැනීමට බුද්ධි අංශ විසින් මේ වන විට සියලු තොරතුරු රැස්කරමින් සිටී.

ගයාන් කුමාර වීරසිංහ

(Visited 81 times, 1 visits today)

Related posts

Leave a Comment