සුඛා සංඝස්ස සාමග්ගි !

ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ මහා සංඝ සභාව බිහිවීම නිමිත්තෙනි.

දෙවන පෑතිස් රාජ්‍ය සමයේ දී සිදු වූ මහින්දාගමනය වූ කලී ලංකා ශිෂ්ටාචාරය අතිශය ප්‍රශස්ත ලෙස ඉදිරියට ගලා ඒමට අවැසි පන්නරය උකහා දුන් සිදුවීමකි. එමඟින් ලක්දිව වැසියන්ට ලැබුණු නිර්මල බුදු සමය හීනයාන සම්ප්‍රදාය ඔස්සේ මහා විහාරය මුල් කරගෙන ඉදිරියට ගලා ආ අතර මහා විහාරය ආරම්භ වීමෙන් වසර දෙසීය සතළොස් දසමස් දස දිනක් ඉක්මවීමෙන් අභයගිරිය ලෙස ප්‍රධාන කොටස් 02කට ලාංකීය භික්ෂු සංස්ථාව විකණ්ඩනය විය. මහසෙන් රාජ්‍ය සමයේ දී ද ලාංකීය භික්ෂු සංස්ථාව ජේතවන නම් නව නිකායක් ආරම්භ කළ අතර අනුරපුර යුගයේ අවසානය වන විට මහා විහාරය, අභයගිරිය හා ජේතවනාරාමය ලෙස පැවැති මෙරට භික්ෂු සංස්ථාව පොළොන්නරු සමය එළඹෙත්ම ගැටලු රාශියකට මුහුණ දෙමින් චිරස්ථීන බවින් තොරව ධාර්මික බවින් ක්‍රමයෙන් පිරිහෙමින් ඉදිරියට ඇදෙත්ම මහ පැරකුම් රාජ්‍ය සමයේ දී තුන් නිකා වැසි භික්ෂූන් ශාසන ශෝධන කොට නිකාය සාමග්‍රි කරවීමක් ලක් ඉතිහාසයේ දක්නට ඇත.

ඉන් අනතුරුව ලක් ඉතිහාසයේ නිශ්ශංකමල්ල, 03 වන විජයබාහු, 02 වන පරාක්‍රමබාහු ආදී පොළොන්නරු හා දඹදෙණි රාජධානි පාලකයින්ගේ සමයන් හි දීත් කිර්ති ශ්‍රී රාජසිංහ හා රාජාධි රාජසිංහ ආදී මහනුවර රාජධානි පාලක සමවලත් ලාංකීය බෞද්ධ භික්ෂු සංස්ථාවේ ඒකීයත්වය, පාරිශුද්ධත්වය අරබයා නිකාය සාමග්‍රි හා කතිකාවත් සම්පාදනය වූ බව නොරහසකි.

අනතුරුව මහනුවර රාජධානි සමයේ එළැඹෙන කිර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය අවධිය ලංකාවේ බෞද්ධ භික්ෂු සංස්ථාවේ අනාගතය හා මෙරට පිරිසුදු බුදු දහමේ තීරණාත්මක සංධිස්ථානයකි. ඒ වන විට ලෝකෝත්තර සුවයෙන් ඉකුත්ව ලෞකික ආශාවන් පසුපස යන බෞද්ධ භික්ෂූන් ද ක්‍රමවත් උපසම්පදා වැනි බෞද්ධ සංස්කෘතිය පෝෂණයට පාදක වන සංස්කෘතිකාංග ද මෙරටින් කාලානුරූපීව වියැකී ගොස් තිබුණි. ක්‍රි.ව.1505 න් පසුව මෙරටට එල්ල වන පෘතුග්‍රීසි බලපෑම් හා ලන්දේසි බලපැම් මත බුදු දහමේ පරිහානිය හා භික්ෂු සංස්ථාවේ අස්ථාවර බව ද ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබුණි. නමුදු කිර්ති ශ්‍රී රාජසිංහ සමයේ දී අසරණ සරණ වැලිවිට සරණංකර සංඝරාජයාණන් වහන්සේ මෙකී තත්ත්ව මනාව අවබෝධ කොට නිවැරදි බුදු සමය ඉදිරියට පවත්වා ගැනීමට නිසි මාර්ගෝපදේශකත්වයක් කීර්ති ශ්‍රී රාජසිංහ රජු වෙත ලබා දුන් බවට සාක්ෂි සපයන සාහිත්‍ය මූලාශ්‍ර අපමණය.

උපසම්පදාව

බුදු දහම ස්ථාවර කිරීමට නම් බෞද්ධ භික්ෂුව සුසිල්වත් විය යුතු බවත් සුසිල්වත් සුපේක්ෂල ශික්ෂාකාමී භික්ෂුන් බිහි වන්නේ අධි ශීල සංඛ්‍යාත කෝටියක් සංවරශීලයේ පිහිටුවීම නොහොත් උපසම්පදා විනය කර්මයෙන් පමණක්ම බවත් සරණංකර හිමි මනාව අවබෝධ කොට ගෙන සිටි නිසා ම මෙරටින් ඉකුත්ව තිබූ උපසම්පදාව සියමෙන් ලබා ගැනීමට අවස්ථා කිහිපයක්ම උත්සාහ කළහ. ඉන් මුල් අවස්ථා ද්විත්වයම කෙටි කාලීනව සාර්ථක වූ අතර තුන්වන අවස්ථාවේ දී එය සාර්ථක හා ස්ථිරසාර විය. මෙකී සියම් උපසම්පදාව උක්ත සංසිද්ධියට පෙර දෙවතාවක් ද මෙරටට රැගෙන ආ අතර බෞද්ධ භික්ෂූන් ස්වකීය ඥාතී ශිෂ්‍ය ක්‍රමය අනුව විහාර සන්තක ඉඩකඩම් භුක්ති විඳීම ආදී ක්‍රියා නිසා එය දිගුකලක් පවත්වා ගැනීමට නොහැකි විය.

වර්ෂ 1753 මැයි මාසයේ දී උපසම්පදා භික්ෂූන් 21 නමක් හා සාමනේරයින් වහන්සේලා 08 නමක් සමඟ උපාලි හිමි ප්‍රමුඛ සියම් දූත පිරිස් මෙරටට වැඩමවා ලක්දිව ශාසන වංශයේ සියම් නිකාය ස්ථාපනය කර ඇත. කොබ්බෑකඩුව උන්නාන්සේ, වැලිවිට සරණංකර උන්නාන්සේ, හුලංගමුවේ උන්නාන්සේ, බමරකන්දේ උන්නාන්සේ, තිබ්බටුවාවේ උන්නාන්සේ සහ නාවින්නේ උන්නාන්සේ යන සයනම මෙලෙස ලක්දිව ප්‍රථම සියම් උපසම්පදාව ලද භික්ෂූන් වහන්සේලා වූ අතර සමකාලීනව ලක්දිව භික්ෂූ සංස්ථාව ස්ථාවර වෙමින් සංඝරාජ පදවි, මල්වතු අස්ගිරි මහා නායක පදවි ආදී ලෙස මෙරට භීක්ෂූන් වහන්සේ සංවිධිත කරවීමට ද කීර්ති ශ්‍රී රාජසිංහ රජු ක්‍රියා කළේය.

සරණංකර හිමියන් 1753 සියම් නිකාය පිහිටුවීමෙන් පසු ඊට පූර්ව අවධියේ මෙරටට ගෙනා උපසම්පදාව අවිනය, පැවිදි අධ්‍යාපනය නිසි ලෙස නොලැබීම ආදී සාධක පදනම් කර ඉක්මනින් නැසී ගිය හෙයින් කථිකාවතක අවශ්‍යතාව මතුව තිබුණි. එමනිසා කීර්ති ශ්‍රී රාජසිංහ කථිකාවත සම්පාදනය කිරීමට උන්වහන්සේ මුලසුන ගත්තේය. මෙලෙස සම්පාදිත නව කථිකාවතේ දඹදෙණි කථිකාවත සේම ජාති ගෝත්‍ර විචාරා කුල දෝෂ ක්‍රියා දෝෂ නැතැයි ප්‍රතිඥා කර පසුව මහණකම ලබා දීම මෙන්ම මහණකම ලද අය උපසම්පදා කිරීම යන කොන්දේසි ද එක්කර තිබුණි. මෙකී කොන්දේසී ලක් ඉතිහාසයේ ශාසන වංශය දෝළනය කරවීමට භාජනය වේ යැයි සරණංකර සංඝරාජ හිමියන් කිසිදු විටක අපේක්ෂා නොකළ බව අප දැඩිසේ මතක තබා ගත යුතුය.

කෙසේ වුවත් සියම් උපසම්පදාව ලද මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය ද වැඩි කලක් යාමට පෙර ද්වීපාර්ශ්වීය ලෙස එකිනෙකා පරයා ඉදිරියට ඒමේ තරගයක නිරත විය. එකී තරගය තුළ දෙපාර්ශ්වයම තම තමන් දෝෂාරෝපණය කර ගත් අතර මේ තරගය ශාසනය තුළ භික්ෂුන් භේද භින්න වීමට දැඩිව පාදක විය.

අස්ගිරි මල්වතු සීමා සංකරවාදයක් ඇති වීම හා පැවිද්ද, උපසම්පදාව විෂයෙහි පුද්ගලයා උපන් කුලය තීරණාත්මක සාධකයක් වීම මත ක්‍රමයෙන් අමරපුර මහ නිකාය ලක්දිව ස්ථාපනය වීමේ මුල් පසුබිම උත්පාදනය විය. සියම් නිකාය පැවිදි බව හා උපසම්පදාව ගොවිගම කුලයේ ඒකාධිකාරයක් කර ගැනීම මත කරාව, සලාගම ආදී ලක්දිව පහතරට ප්‍රදේශවල පැවිදි වීමට අපේක්ෂා කළ හා පැවිදිව උපසම්පදාව අපේක්ෂා කළ භික්ෂුන්ට ද දැඩි තර්ජන එල්ල විය. කෙසේ නමුත් සියම් නිකාය අස්ගිරි මල්වතු, උඩරට පහතරට, ගොවිගම හා සෙසු කුල ලෙස ද විවිධ දෘෂ්ටිකෝණ මත ඉදිරියට ඇදෙත්ම සරණංකර හිමිගේ ගෝල රත්නයක් වන් අඹගහපිටියේ ඤාණවිමලතිස්ස හිමියෝ පහත් කුල වැසියන්ට මහණකම හා උපසම්පදාව යන අයිතිවාසිකම් ලබා දීමේ අරමුණින් අමරපුර නම් නව භික්ෂු නිකායක් මෙරට ස්ථාපනය කළහ. මෙලෙස ක්‍රි.ව 1803 දී ලංකාවේ දකුණු පළාත කේන්ද්‍ර කොට අඹගහපිටියේ ඥානවිමලතිස්ස නාහිමියන්ගේ මුලිකත්වයෙන් සියම් නිකායෙන් පරිබාහිර වූ නව භික්ෂූ වංශයක් අමරපුර නිකාය නමින් බිහි විය.

කුල භේදය

අඹගහපිටියේ ඥානවිමලතිස්ස නා හිමියන් සියම් නිකායේ උපසම්පදාවරය අහිමි වූ පහත් කුල වැසි භික්ෂුන්ට සම්පූර්ණ පැවිදි ජීවිතයක් ගතකරන්නන්ට මෙන් විකල්පයක් ගෙන නොආවේ වී නම් මෙරට ශාසනය තුළ ප්‍රබල ව්‍යසනයක් ද වීමට ඉඩ තිබුණි. ඊට හේතුව පහත් කුලවලට උපසම්පදාව නොලැබෙන නිසා කලකිරීමට පත් ඇතැම් බෞද්ධ භික්ෂුන් කතෝලික ආගමේ සරණ ලැබීමේ නැඹුරුවකට ද මේ වන විට ඉඩ හසර ගොනු වී තිබූ නිසාය. අනතුරුව කතළුවේ ගුණරතනතිස්ස හිමි, කපුගම ධම්මක්ඛණ්ධ හිමි, අත්තුඩුවේ ශ්‍රී ධම්මරක්ඛිත හිමි, බෝගහපිටියේ ධම්මජෝති හිමි ආදී තෙරුන් ද මැදිහත්ව ඉතා කෙටි කලක් තුළ අමරපුර නිකායට සබැඳි ලෙස දඩලූ, ‍ කල්‍යාණි වංශ, ධම්මරක්ඛිත, සද්ධම්මයුක්තික, ආදී අමරපුර නිකායට පරිවාර නිකායන් ද ස්ථාපිත කරනු ලැබුවේ අතිශය වූ උනන්දුවෙනි.

මෙලෙස සලාගම, කරාව, ආදී ගොවිගම කුලයෙන් පරිබාහිර සෙසු කුල දරන්නන්ට ද ආගමික නිදහස ලැබෙත්ම ලක්දිව භික්ෂු ශාසනය ද ගුණාත්මකව ඉදිරියට ඇදුණේ අමරපුර නිකාය ඔස්සේමය.

මෙවන් පරිසරයකට සියම් අමරපුර නිකායට පරිබාහිරව ලක් ඉතිහාසයේ 1864 වර්ෂයේ පටන් අඹගහවත්තේ සරණංකර හිමි මූලිකත්වයෙන් ඇරඹි රාමඤ්ඤ නිකාය ද ලක් සඟ පරපුරේ ධර්මධර හා විනයධර බව අඛණ්ඩව අනාගතයට වහනය කරවීමට ගත් සාර්ථක උත්සාහයකි. පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද, වරාපිටියේ සුමිත්ත ආදී සමකාලීන ප්‍රබල භික්ෂූන් කැටුව බුරුම රට පහළ ප්‍රදේශය වූ රාමඤ්ඤ දේශයෙන් මෙරටට පිරිසුදු උපසම්පදාව රැගෙන විත් ඉන්දාසහවරඤාණ සාමි නම් විරුදය ලත් අඹගහවත්තේ සරණංකර හිමියන් ගාල්ලේ මහ මෝදර උදකුක්ඛෙප සීමාවේ දී මෙරට භික්ෂූන්ට ලබා දුන් උපසම්පදාවෙන් ලක්දිව ඇරඹි භික්ෂු පරපුර රාමඤ්ඤ මහ නිකායයි.

සියම් නිකායෙන් පරිබාහිරව අමරපුර නිකාය උද්ධෘත වූවා සේ රාමඤ්ඤ මහ නිකාය ද උද්ධෘත වුයේ සමකාලීනව පැවැති ගැටලු රාශියකට පිළිතුරු වශයෙනි. වගේගොඩ ධම්මකුසල හිමි විරචිත වගේගොඩ සන්දේශය හා මුංකොටුවේ රාළගේ සඟරජවතෙහි සමකාලීන ලාංකේය භික්ෂූත්වය නිසි මඟ නොගිය බවට මනාව සාක්ෂි දරයි. විශේෂයෙන් රාමඤ්ඤ නිකායේ ආරම්භය කෙරෙහි උපසම්පදා සීමා ප්‍රශ්නය මුල් වූ බව සඳහන් කළ යුතුය. මහාවග්ගපාලියේ මහාබන්ධකයේ උපසම්පදාව විෂයෙහි පැවතිය යුතු ගුණාත්මකභාවය මනාව විග්‍රහ කරන අතර මල්වතු විහාරයේ සීමාව, අමරපුර නිකායේ බලපිටියේ උදකුක්ඛෙප සීමාව පිළිබඳ හටගත් ගැටලු තිහම 19 වන සියවසේ මැද භාගයේ සිට අමරපුර සියම් ආදී ඒ ඒ නිකායන් හී පිරිසුදු උපසම්පදාව පවතින්නේ ද යන විචිකිච්ඡාව ආදි සාධක මත රාමඤ්ඤ මහා නිකාය මෙරට ශක්තිමත්ව ස්ථාපනය වීමට අවැසි පරිසරය නිර්මාණය විණි. ගොවිගම කුලයට පමණක් පැවිදි උපසම්පදාව ලබා දීම, භික්ෂූන් පැවිදි දිවියට නොගැළපෙන සේ හැසිරීම, උඩරට සියම් නිකායික භික්ෂූන් පහතරට සියම් නිකායික භික්ෂූන් නොසලකා හැරීම ආදී නෙකවිධ සාධක හේතුවෙන් මෙරට ශක්තිමත්ව ස්ථාපිත වී වර්ධනය වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය එදා පටන් අද දක්වා ම අඛණ්ඩව ශාසන ශෝබන ක්‍රියාවලියක නිරත වේ. වැලිවිට සරණංකර සංඝරාජයාණන් ආරම්භ කළ සිල්වත් සමාගමේ ප්‍රතිපත්ති මුල්කොට ගනිමින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධ භාෂිතයේ හැසිරීම ද රාමඤ්ඤ නිකාය ආරම්භයේ පටන් ශක්තිමත් ව ව්‍යාප්තිය සඳහා හේතු විය.

ආගමික උන්නතිය

වර්තමානය වන විට විටක ශ්‍රී ලංකා අමරපුර මහ නිකාය එහි සියලූ‍ පාර්ශ්ව ඒකරාශී කොට ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාව ලෙස සමාජයේ සක්‍රීයව කටයුතු කරන අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය ද මෙරට ආගමික උන්නතිය උදෙසා මනාව සක්‍රීයව කටයුතු කරයි. මෙලෙස ශ්‍රී ලංකා අමරපුර නිකාය බිහි විමෙන් වසර 217 කට ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය පිහිටුවිමෙන් වසර 155කට ද පසුව මෙම ලක් සඟ පරපුරේ ප්‍රධාන භික්ෂු බලවේග ද්විත්වය එක් පාර්ශ්වයක් ලෙස අද දින පටන් ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ මහ සංඝ සභාව නමින් ඉදිරි ගමනකට මුල පිරීම වෙසෙසින්ම අගය කළ යුතුය.

ද්වී පාර්ශ්වීය වශයෙන් අමරපුර හා රාමඤ්ඤ නිකායන්හි ඒකමතික සාමග්‍රිය ගොඩනඟා ගනිමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බලපාන ශාසනික හා සාමාජයීය ගැටලු සහ අභියෝගවලට විසඳුම් සැපයීම සහ බුදු දහම බෞද්ධ ශිෂ්ටාචාරය සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා සාමූහිකව කටයුතු කිරීම මෙම ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ මහා සංඟ සභාව පිහිටු විමේ මූලිකාභිලාසයයි. ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාවේ නියෝජිත සංඝ සභාවට අයත් ස්වාමීන් වහන්සේලා 225 නමකට ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ පාලක සංඝ සභාවට අයත් ස්වාමීන් වහන්සේලා 225 නමකට ද ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ මහ සංඝ සභාව තුළ ඡන්ද බලය හිමි වන අතර මෙම දෙනිකායේ සියලූ‍ම භික්ෂූන් වහන්සේ අභිනව සංඝ සභාවේ සාමාජිකත්වය දැරීම මතම මේ ක්‍රියාවලියේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී භාවය මනාව ඉස්මතු වේ.

මෙලෙස 19 වන සියවසේ පටන් ලක් සඟ පරපුර වර්තමානය දක්වා සුපෝෂණය කළ ශ්‍රී ලංකා අමරපුර මහ නිකායත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායත් අද පටන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ මහා සංඝ සභාව නමින් අනාගතය වෙත ඒකීයව පියමැනීමට අත්වැල් බැඳ ගැනීම ලක් ඉතිහාසයේ ස්වර්ණමය සිදු විමක් වනු නො අනුමානය. අඹගහවත්තේ සරණංකර නා හිමියන් සේම අඹගහපිටියේ ඥානවිමලතිස්ස නා හිමියන්ගේ ද මඟ ගිය සුපේක්ෂල ශික්ෂාකාමී සමෘද්ධිමත් ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ වත්මන් නියමුවාණන් වහන්සේලා ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ වත්මන් නියමුවාණන් වහන්සේලා ද මෙම ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ මහා සංඝ සභාව පිහිටුවා ජාතික ශාසනික උන්නතිය උදෙසා සිදු කරන කැපවීම අසනිය මංසලක පුදසුනේ තැබිය යුතුය.

කේ.ඒ චාමර සඳුන් ජයසූරිය 
ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යනාංශය 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

(Visited 21 times, 1 visits today)

Related posts

Leave a Comment