ප්‍රවේශම්වන්න. තැන්පතු පොලිය අඩුවීමෙන් තවත් සක්විතිලා, දඬුවම්ලා බිහිවීමේ අවදානමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ හෙලීමට පසුගිය සතියේ දී පියවර ගනු ලැබීය. මෙහිදී න්‍යායාත්මකව සිදුවන මූලික දේ නම්, ප්‍රතිපත්ති පොලී අනුපාතිකවලට සමපාත වන අයුරින් වෙළෙඳපොළ පොලී අනුපාතිකද පහළ යාමයි. ඒ අනුව බැංකු හා මූල්‍ය ආයතන විසින් භාර ගනු ලබන තැන්පතු සඳහා ගෙවන පොලිය පහළ බසින අතර, ඔවුන් ණය දීමේ දී අය කරනු ලබන පොලිය ද පහළ යාමක් සිදුවිය යුතු වේ.

කෙසේ වෙතත් මෑත කාලීනව ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුවීමේ ප්‍රවණතාවය මත බැංකු තැන්පතු සඳහා ගෙවන පොලියෙහි අඩුවීමක් නිරන්තරයෙන් දැකිය හැකි වුවද, ණය පොලී අනුපාතිකවල පහළ යාමක් ඊට සමගාමීව සිදු නොවීය. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක් දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ, ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකවල ප්‍රවණතා අඛණ්ඩව අධීක්ෂණය කරනු ලබන බවත්, අදාළ කාල රාමුව තුළ අපේක්ෂිත පරිදි ණය පොලී අනුපාතිකවල පහළ යෑමක් සිදු නොවුවහොත්, මූල්‍ය ආයතනවල වෙළෙඳපොළ ණය පොලී අනුපාතික සඳහා සුදුසු සීමා පැනවීමට මුදල් මණ්ඩලය නිර්දේශ කරනු ලබනු බවත්ය. 

කෙසේවෙතත් ණය පොලී සම්බන්ධ තත්ත්වය එසේ වන විට, තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී අනුපාතික පහළ යාමෙන් මුදල් තැන්පතුකරුවන් යම් අසීරුතාවයකට පත්වීම වැළැක්විය හැක්කක් නොවේ. අද වන විට රට තුළ සිය බැංකු තැන්පතු පොලියෙන් ජීවිකාව සරිකරගන්නා කොටසක් ද සිටිනු ලබන බව අවිවාදයෙන් පිළිගැනීමට සිදුවනු ඇත.

පසුගිය දශක දෙක තුනක කාලය දෙස ආපසු හැරී බැලීමේ දී වැඩි පොලී ලබා දෙන බව පවසා මහජනතාවගෙන් මුදල් තැන්පතු රැස් කළ ආයතන හා සිදුවීම් ගණනාවක් සිහපත් වනු ඇත. ඇතැම් ආයතන මහ බැංකුවේ ලියාපදිංචි මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගම් වූ අතර සමහරක් ඒවා කිසිදු ලියාපදිංචියකින් තොරව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් පළකර ගෙන ව්‍යාපාර විය. කෙසේ වෙතත් මෙම ව්‍යාපාර හරහා අවසානයේ බැටකෑමට සිදුවූයේ මෙරට ධන කුවේරයන්ගේ සිට සාමාන්‍ය පොඩි මිනිහා දක්වා මහජනතාවටය. ගෝල්ඩන් කී, සක්විති, දඬුවම් මුදලාලි මෙන්ම HPT, CIFL, ETI, පානදුර ෆිනෑන්ස්, ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි, ද ෆිනෑන්ස්, ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට්, ටච්වුඩ් ආදිය මීට කදිම උදාහරණය.

නමුත් ජනතාව අදටත් තවත් අයෙකුට වූ දෙයකින් උගෙන ගන්නා බවක් පෙනෙන්නට නැත. එය අතීතයේත් වර්තමානයේත් එක සේ දැකිය හැකි සත්‍යයකි.

“People never learn anything by being told, they have to find out for themselves.” 
― Paulo Coelho, Veronika Decides to Die

ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව මහ බැංකුවේ අනුමැතියකින් තොරව කිසිදු ආයතනයකට තැන්පතු භාර ගැනීමක් කළ හැකි නොවේ. නමුත් මෙහි ඇති අනෙක් කරුණ නම්, එවැනි ක්‍රියාවක් සිදුවුවහොත් මහ බැංකුවට ගත හැකි කිසිදු ක්‍රියාමාර්ගයක් ද නොවීමයි. මීට වසර ගණනාවකට පෙර මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ, ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතනවලට එරෙහිව කටයුතු කිරීම මහ බැංකුවට නොව පොලීසියට අයිති රාජකාරියක් බවයි.

ප්‍රතිපත්ති පොලී අනුපාතික පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ සඳහන් විස්තරාත්මක සටහනක් මෙම ලිපිය අවසානයේ දැක්වේ.

අද වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය පවතින්නේ 7% මට්ටමේය. ඒ අනුව වෙළෙඳපොළ තැන්පතු පොලී අනුපාතික ද ඊට සමගාමීව ගැළපීම වැළැක්විය හැකි කාරණයක් නොවේ. මේ අනුව වර්තමානයේ දී රජයේ බැංකු මෙන්ම වාණිජ බැංකු හා ලියාපදිංචි මූල්‍ය ආයතන විසින් ඉතිරි කිරීමේ ගිණුමක් සඳහා ගෙවනු ලබන වාර්ෂික පොලිය 4% කට වඩා අඩු වී තිබේ. එසේම ස්ථාවර තැන්පතුවක් සඳහා ගෙවනු ලබන පොලිය එහි කාලසීමාව අනුව තීරණය කෙරෙනු ලබන අතර 10%ක් ඉක්මවූ පොලී ආදායමක් ලබා ගැනීමට නම් අවම වශයෙන් මාස 60ක කාලපරිච්ඡේදයකටවත් එම තැන්පතුව නොසෙල්වා තැබිය යුතුවේ.

2015 අතුරු අයවැයෙන් වූ පොරොන්දු ප්‍රකාරව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 15% ක පොලියක් සිය ස්ථාවර තැන්පතු සඳහා ලැබිය හැකි වුවද එය ක්‍රියාත්මක වන්නේ ද යම් යම් කොන්දේසි මධ්‍යයේය.

රටක උද්ධමනය පහළ බසින විට, ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුවන විට, වෙළෙඳපොළ පොලී අනුපාතිකවල පහළ යාමක් සිදුවීම සාධාරණ බවට වටහා ගැනීමට තරම් ශ්‍රී ලාංකීය ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය දියුණු යැයි සිතීම නිවැරදි චින්තනයක් නොවේ. මෙවැනි පරිසරයක දී වැඩි පොලියක් දෙන තැන්පතුකරුවන් වෙත හුදී ජනයා ඇදී යාම සාමාන්‍ය තත්ත්වයකි.

මේ පිළිබඳව අද දෙරණ අප, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් විමසීමක් කළෙමු. මේ ඒ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා දැක්වූ ප්‍රතිචාරයයි.

අද දෙරණ – ප්‍රතිපත්ති පොලී අනුපාතික පහළ යාමට සමගාමීව වෙළෙඳපොළේ තැන්පතු සඳහා ගෙවනු ලබන පොලිය ද පහළ යාමක් සිදුවෙනවා. මේ වාතාවරණයේ දී ජනතාව වැඩි පොලී දෙන, නීත්‍යානුකූල නොවන මූල්‍ය ආයතන වෙත යොමුවන ප්‍රවණතාවයක් දකින්න ලැබෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කටුයුතු කරන්නේ කෙසේද?

මහ බැංකු අධිපති – එහෙම වෙන්න පුළුවන්. මහජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දීමට අපි කටයුතු කරන්නේ ඒ නිසයි. මහජනතාව දැනුවත් කිරීම සඳහා දැන්වීම් පළ කිරීම ඇතුළු පියවර ගණනාවක් අපි අරගෙන තිබෙනවා. ජනතාව ඔවුන්ගේ මුදල්, නීත්‍යානුකූල ආයතනවල තැන්පත් කළ යුතුයි. එම ආයතන නියාමනය වීමක් සිදුවෙනවා. මාධ්‍ය ලෙස ඔබට අපට සහාය වෙන්න පුළුවන්, ජනතාව දැනුවත් කිරීම සඳහා. ජනතාවගේ මුදල් ප්‍රවේශවෙමන් ආයෝජනය කරන්න කියා ඔවුන්ට අවවාද කරන්න පුළුවන්. එය විය හැකි දෙයක්. ආර්ථික වර්ධනය, සේවා නියුක්තිය, ආදායම යනාදී සංරචක ඔස්සේ සමස්ත ආර්ථිකය දෙස අවධානය යොමු කළහොත් අපිට සියලු මට්ටමේ පොලී අනුපාතික පහළට ගෙනඒමට සිදුවෙනවා. උද්ධමනය තිබෙන්නේ පහළ අඩියක. අපි ඉන්නේ අලුත්ම තත්ත්වයක. අංක දෙකකින් යුක්ත උද්ධමනයක් තිබෙනවා නම්, පොලී අනුපාතික තිබෙන්නේ වෙනස්ම තත්ත්වයක. නමුත් දැන් සෑහීමකට පත්විය හැකි තිරසාර මට්ටමක තනි අගයකට උද්ධමනය පැමිණ තිබෙනවා.  උද්ධමනය පහළ බසින විට භාණ්ඩ හා සේවා ලබාගැනීමට ඉහළ මට්ටමේ පොලියක් අවශ්‍ය නොවන බව මහජනතාව තේරුම් ගත යුතුයි. මහන්සියෙන් උපයා ගත් ඔවුන්ගේ මුදල් ප්‍රවේශම් සහගතව තැන්පත්කරන්න ඔවුන් පියවර ගත් යුතුයි.

මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජඨ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ කියා සිටියේය.

“බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවලට, තැන්පත්කරුවන්ට දෙන්න පුළුවන් පොලී අනුපාතික ගැන අපි සීමාවක් තීරණය කර තිබෙනවා. කවුරුන් හෝ කියනවා නම් අපිට සියයට 20 ක් දෙන්න පුළුවන් කියලා, එහිදී තේරුම් ගත යුතු කරුණ තමයි, සියයට 20 ක් පොලිය ගෙවීමට, එයා කරන ව්‍යාපාරයෙන් අඩුම ගණනේ සියයට 25ක ලාභයක් ගන්න ඕනේ. එතනදීත් අර කලින් ප්‍රශ්නයම එනවා. උද්ධමනය සියයට 5ක මට්ටමක තිබෙන විට, සියයට 25ක් ලාභ ගන්න පුළුවන් ව්‍යාපාරය මොකක්ද? ඒකෙන්ම පේනවා මෙය අව්‍යාජ ව්‍යාපාරයක් නොවයි. කුමන හෝ වංචාවක් එතැන තිබෙනවා. ඒ ප්‍රශ්නය තැන්පත්කරුවාම අහන්න ඕනේ. ඒ ප්‍රශ්නය අහන්න ජනතාව දැනුවත් විය යුතුයි.“

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අවසාන වශයෙන් මෙසේ පැවසීය.

“මේ පණිවුඩය ලබා දීමට අපි ඔබ සැමගේ සහාය අපේක්ෂා කරනවා. තැන්පතු සඳහා කිසියම් ආයතනයක් ඉහළ පොළියක් ලබා දෙනවා නම්, ඔබ ඉතා පරිස්සම් විය යුතුයි. වෙළෙඳපොළ පොලියට වඩා ඉහළ පොලියක් ඔවුන් ගෙවනවා නම් එය අනතරුදායකයි.“

මේ අනුව මහජනතාව විසින් සිහියට ගත යුතු වැදගත් කරුණක් ඇත. එනම් යමක් සිදුවූවාට පසු ඊට වගකිව යුත්තන් සොයා වෙහෙසෙනවාට වඩා, කලින්ම ඒ පිළිබඳව දැනුවත් වී සුදුසු ආකාරයෙන් කටයුතු කළ යුතු බවයි. එනම් තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම සලසා ගත යුතු බවයි.

අනෙක් අතට මහ බැංකුවේ නියාමන රාමුව තුළ සිටි පමණින්ම ඒවා සුරක්ෂිත ආයතන ලෙසින් නිර්වචනය කිරීම නිවැරදි නොවේ. CIFL, ETI, ස්වර්ණමහල් ෆිනෑන්ස් පමණක් නොව ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම වූ ද ෆිනෑන්ස් සහ රජයේ බැංකුවක් වූ ප්‍රමුඛ බැංකුවද කඩා වැටුණේ මෙකී නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වූ පසුබිමක් තුළදී වන බැවිනි.

————————————————————————-

මුදල් ප්‍රතිපත්ති උපකරණ සහ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගත හැකි උපකරණ ගණනාවක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතී. වර්තමානයේ දී මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වැඩි වශයෙන් වෙළඳපොළ පදනම් කරගත් ප්‍රතිපත්තිමය උපකරණ උපයෝගී කර ගනිමින් සිදු වේ. ඒ අනුව, වර්තමානයේ දී ප්‍රධාන වශයෙන් භාවිතයට ගනු ලබන මුදල් ප්‍රතිපත්ති උපකරණ ලෙස: ප්‍රතිපත්ති පොලී අනුපාතික හා ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝව, විවට වෙළඳපොළ කටයුතු සහ වාණිජ බැංකු වෙතැති තැන්පතු වගකීම් මත පනවනු ලබන  ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව දැක්විය හැකිය.  මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර වනුයේ ද්‍රවශීලතාව පුරෝකථනය කිරීමයි (වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න).

ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ විවෘත වෙළඳපොළ කටයුතු

වර්තමානයේ දී,  ශ්‍රී ලංකා මහ බැංකුව සක්‍රීය විවෘත වෙළඳපොළ කටයුතු ක්‍රමය (Active Open Market Operations) යටතේ සිය මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි. මෙම ක්‍රමයේ ප්‍රධාන අංග වනුයේ: (i) නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යන ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික මගින් සැකසුණු පොලී අනුපාතික කොරිඩෝව සහ (ii) විවට වෙළඳපොළ කටයුතු වේ.

(i)    උද්ධමනය අපේක්ෂිත මට්ටමක පවත්වා ගැනීම සඳහා යොදා ගනු ලබන ප්‍රධාන උපකරණ වනුයේ, මුදල් වෙළඳපොළ තුළ එක් දින පොලී අනුපාතිකවල ඉහළ සහ පහළ සීමා නිර්ණය කරනු ලබන මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (පෙර ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයයි (පෙර ප්‍රතිවිකුණුම් අනුපාතිකය). මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබඳව සංඥා නිකුත් කරනු ලබන  යාන්ත්‍රණය වන මෙම අනුපාතික විධිමත් පදනමක් මත, එනම් සාමාන්‍යයෙන් වසරකට අට වරක් මහ බැංකුව විසින් සමාලෝචනය කරනු ලබන අතර, අවශ්‍ය වන්නේ නම් එම අනුපාතික සංශෝධනය කරනු ලැබේ. 
(ii)    දෛනික වෙන්දේසියේ දී සිය ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වූ ආයතන සඳහා නිත්‍ය පහසුකම් සපයනු ලැබේ. එනම්, දෛනික වෙන්දේසියට පසුව ද කිසියම් සහභාගිවන්නෙකු සතුව අතිරික්ත මුදල් ඇති විටෙක නිත්‍ය තැන්පතු පහසුකම යටතේ එම අතිරික්ත මුදල් තැන්පත් කළ හැකිය. එසේම, යම් සහභාගිවන්නෙකුට අරමුදල් හිඟයක් පියවා ගැනීමට ද්‍රවශීලතාව අවශ්‍ය විටෙක,  නිත්‍ය ණය පහසුකම යටතේ ප්‍රතිවිකුණුම් පදනම මත මුදල් ණයට  ලබා ගත හැකිය. ඒ අනුව, මෙම පහසුකම් පොලී අනුපාතිකවල විශාල විචලනයන් වළක්වා ගැනීම සඳහා උපකාරී වේ.
(iii)    වෙළඳපොළ අතිරික්ත ද්‍රවශීලතාවක් පවතින විට අතිරික්ත ද්‍රවශීලතාව අවශෝෂණය කර ගැනීමට හෝ ද්‍රවශීලතා හිඟයක් පවතින විට ද්‍රවශීලතාව සැපයීම සඳහා සහ එමගින් එක්දින පොලී අනුපාතික ස්ථාවරව පවත්වා ගෙන යෑම සඳහා විවෘත වෙළඳපොළ කටයුතු පවත්වනු ලැබේ.  විවෘත වෙළඳපොළ කටයුතු රජයේ සුරැකුම්පත් ස්ථාවර හෝ තාවකාලික පදනම යටතේ මිලදී ගැනීමේ/විකිණීමේ වෙන්දේසි හරහා සිදු කරනු ලැබේ. (විවෘත වෙළඳපොළ කටයුතු පිළිබඳ වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.) මෙම වෙන්දේසි බහු ලංසු සහ බහු මිල ක්‍රමයක් යටතේ පැවැත්වේ. මුදල් වෙළඳපොළ සහභාගිවන්නන් සඳහා එක් කෙටිකාලීන වෙන්දේසියක් සඳහා ලංසු තුනක් දක්වා ද, එක් දිගුකාලීන වෙන්දේසියක් සඳහා ලංසු හයක් දක්වා ද ඉදිරිපත් කළ හැකි අතර, සාර්ථක වන ලංසු තබන්නන්ට ඔවුන් විසින් ඉදිරිපත් කළ ලංසුවේ සඳහන් අනුපාතික යටතේ ඔවුන්ගේ ඉල්ලීම ලැබෙනු ඇත.

බැංකු අනුපාතිකය

බැංකු අනුපාතිකය යනුවෙන් තවත් ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක් මහ බැංකුව සතුව ඇති (මුදල් නීති පනතේ 87 කොටස යටතේ) අතර, එය මහ බැංකුව වාණිජ බැංකුවලට ණය ලබා දෙන අනුපාතිකයකි. මෙම ණය නිකුත් කෙරෙනුයේ මුදල් මණ්ඩලය විසින් පිළිගනු ලබන ඕනෑම වත්කමක් ඇපකර වශයෙන් රඳවා ගෙන ය. සාමාන්‍යයෙන් බැංකු අනුපාතිකය දණ්ඩන පොලී අනුපාතිකයක් වන අතර, එය අනෙකුත් වෙළඳපොළ අනුපාතිකවලට වඩා ඉහළ අගයක් ගනී. ඒ අනුව, බැංකු අනුපාතිකය මහ බැංකුව විසින් අවසාන ණය දෙන්නා ලෙස (Lender of Last Resort) වාණිජ බැංකු සඳහා අවදානම් තත්ත්වයකදී ණය ලබා දෙන අනුපාතිකයකි.

ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (Statutory Reserve Ratio/SSR) යනු වාණිජ බැංකු විසින් සිය තැන්පතු වගකීම්වලින් කිසියම් ප්‍රතිශතයක් මුදල් තැන්පතුවක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙහි පවත්වාගෙන යා යුතු ප්‍රමාණයයි. මුදල් නීති පනත අනුව වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිශ්චය කරනු ලබන ප්‍රමාණයක සංචිතයක් මහ බැංකුවෙහි පවත්වාගෙන යා යුතු වේ. වර්තමානයේ දී ශ්‍රී ලංකා රුපියල්වලින් වාණිජ බැංකුවල පවත්වා ගනු ලබන ඉල්ලුම්, කාලීන හා ඉතුරුම් තැන්පතු ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවට යටත් වේ.
මුදල් සැපයුම කෙරෙහි බලපෑම් කිරීම සඳහා අතීතයේ දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය  බහුල වශයෙන් යොදා ගන්නා ලදී. කෙසේ වෙතත්, වෙළඳපොළ පදනම් කරගත් මුදල් ප්‍රතිපත්තියට වැඩි වශයෙන් නැඹුරු වීමත් සමඟ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා කෙරෙහි යොමු වීම ක්‍රමානුකූලව අඩු වී ඇති අතර, එම නිසා ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා පැනවීම හේතුවෙන් වාණිජ බැංකු විසින් දැරිය යුතු වක්‍රාකාර පිරිවැය ද අඩු වේ. ඒ අනුව, වෙළඳපොළ තුළ අඛණ්ඩව පවත්නා ද්‍රවශීලතා ගැටලු විසඳීම සඳහා පමණක් වර්තමානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය භාවිතා කරයි. (ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න.)

වෙනත් මුදල් ප්‍රතිපත්ති උපකරණ

මෙම උපකරණවලට අමතරව, ආර්ථිකයේ අවශ්‍යතා සහ ස්වභාවය මත පදනම්ව මුදල්  ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ විනිමය මෙහෙයුම්, ණය මත ප්‍රමාණාත්මක සීමාකිරීම්, පොලී අනුපාතික මත ඉහළ සීමා පැනවීම්, ප්‍රතිමූල්‍ය පහසුකම්, ශිෂ්ට ප්‍රයෝග මෙන්ම, ආන්තික අවශ්‍යතා සහ ණය මත වටිනාකම් අනුපාත පැනවීම වැනි සාර්ව විචක්ෂණ ක්‍රියාමාර්ග ද භාවිතා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව ඇත.

(Visited 73 times, 1 visits today)

Related posts

Leave a Comment