අන්තිමට හරිගියේ ලියන රස්සාව

ජැක් ලන්ඩන්

මට තිබ්බ ප්‍රශ්නෙ ලියන්නෙ කොහොමද කියලා උපදෙස් දෙන්න කිසි කෙනෙක් නොහිටපු එකයි. පොතක් ලියපු කෙනෙක් හරි ලියන්න උත්සාහ කරපු කෙනෙක්වවත් මම දැනගෙන හිටියේ නෑ. ඒ වගේම කිසිම මාධ්‍යවේදියෙක්ව ඒ වෙනකොට මම අඳුනන්නෑ. මේ කිසිම දෙයක් නැතුවත් මට ඕන වුණා ලියන්න. හැමදෙයක් ගැනම මම ලියන්න පටන් ගත්තා. කෙටිකතා, බරසාර වාක්‍ය රචනා, සමාජ විද්‍යා සහ විද්‍යාත්මක කරුණු ගැන රචනා, හාස්‍යජනක කාව්‍ය, ලුහුඬු පද්‍ය ආදිය බොහොම දේ මම ලිව්වා. සමහර දවස්වල එක දිගට පැය 15ක් විතර මම ලියනවා. ලිවීමේ ගිලිලා ඉන්නකොට කෑම කන්නවත් නැගිටින්නෑ. කෑම කන්න ලියන මේසෙන් නැගිට්ටොත් මගේ ලිවීමේ ආවේශය නැතිවෙයි කියලා හිතුවා.

ඒ වෙනකොට නොයෙකුත් සඟරාවල මගේ ලිපි පළ වෙනවා. ඒ අතරෙම මගේ පළවෙනි නවකතාවේ සෝදුපත් බලමිනුයි මම උන්නේ.

මම හැදුණෙ-වැඩුණේ සැන් ෆ්‍රැන්සිස්කෝවල. කෑම ටින් කරන තැනක, උදුන්වලට ගල් අගුරු විසිකරන කම්කරුවෙක් විදිහට කොල්ල කාලේ වගේම ළමා කාලෙත් වැඩ කළා. කර්මාන්තශාලාවලත් විවිධ කම්කරු ‍රැකියා කරන්න මට සිද්ධ වුණා. මේ කිසිම ‍රැකියාවක් හරි නොගිය තැන මම ලියන්න පටන් ගත්තා. නවක ලේඛකයන්ට මට කියන්න තියෙන්නේ තමන් ලියන්න යන දේ ගැන පළමුවෙන්ම ස්ථීර තීරණයටක එන්න. ඊට පස්සේ ලියන්න ‍තෝරගත්ත දේ පසුපසම හඹාගෙන යන්න. කිසිම වෙලාවක තමන් ලියන්න ගත්ත තීරණය අත්හරින්නවත්, පාවා දෙන්නවත් හිතන්න එපා. ලිවීමේදී තරමක් මුරණ්ඩු වුණාට කමක් නෑ. තමන්ගෙ අරගලය අත්නොහැරීමයි වැදගත්ම. නිරන්තරයෙන් ලිවීමෙන්ම තමන්ගේ ලේඛනය මුවහත් කරගන්න. තමන්ට පහසු ලිවීමේ දිනචරියාවකට පුරුදු පුහුණු වෙන්න. ඉතාම සාහසික විදිහට ඒ දිනචරියාව අනුගමනය කරන්න. මම ලියන්න ගත්තම කෑම, නින්ද කිසි දෙයක් තකන්නෙ නෑ. දවසට පැය කීපයක් විතරක් නිදාගත්තු අවස්ථා බොහොමයි. නිශ්චිත පැය ගාණක් ලියන්න බැරි වුණොත් එලාම් එකක් තියලා නැගිටලා ලියන එකට මම පුරුදු වෙලා හිටියා. ඇත්තෙන්ම එලාම් ඔරලෝසු හොයාගත්ත කෙනාට හද පත්ලෙන්ම ස්තූති කරන්න ඕනා. ලිවීමේ දිනචරියාවම ‍රැකියාව විදිහට පෙරලගන්න පුළුවන් වුණොත් ආදායම් මාර්ගයකුත් ඉබේම සැකසෙනවා. බොහොම නිර්මාණාත්මක ජීවිතයකුත් ගත කරන්න ඉඩක් ලැබෙනවා.

හාස්‍යජනක දේ ලිවීම තමයි වඩාත්ම අපහසු වෙන්නේ. නමුත් ලියුවට පස්සේ ඉතාම පහසුවෙන් අලෙවි කරගන්න පුළුවන්. ඒ වගේම වැඩිම ප්‍රශංශා ලැබෙන්නෙත් ඔබ ලියූ හාස්‍යජනක රචනාවලටයි. නමුත් මෙවැනි දේ ලිවිය හැකි අය අල්පයි. යම් විදිහකින් හාස්‍යජනකව ලිවීමට ඔබ දක්ෂ නම් දෙවරක් නොහිතා ලියන්න පටන් ගන්න. උදාහරණ වුවමනා නම් මාර්ක් ට්වේන් ගේ ලිවීම් දිහා පොඩ්ඩක් හැරිලා බලන්න.

ලියන්න මාතෘකා හෝ අදහස් හෝ පහළ වෙනකන් කාලෙ නාස්ති කරන්නෙපා. ඔබේ ලිවීම් හොඳයි; අනර්ඝයි කියලා කවුරු හෝ කියනකන් බලාගෙන ඉන්නත් එපා. වැදගත්ම දේ තමන්වම විශ්වාස කිරීමයි. තමන් ගැන ඇති විශ්වාසයෙන් දිගින් දිගටම ලියන්න. ලිවීමට අදහස් තමන්ගේ ඇතුළෙන්ම හාරලා අරගන්න සූක්ෂම වෙන්න. ප්‍රබන්ධ වෙනුවෙන් අධික ගෙවීම් කරන බවත් මතක තියාගන්න. ඒ වගේම අනවශ්‍ය තරමට ලිවීමෙන් වලකින්න. උදේ කෑමට කලින් වචන 6000 ක කෙටිකතාවක් ලියලා ඉවර කරන්න උත්සාහ කරන්නෙපා. නවකතාවල වේවා කෙටිකතාවල වේවා අසතු‍ටුදායක අවසානවලින් හැකි තරම් දුරට වැළකෙන්න. බොහොම රළු, සාහසික, දුක්බර අවසානවලටම ආශක්ත වෙන්න උත්සාහ කරන්නෙපා. හැකි සෑම මොහොතකම සතු‍ටුදායක අවසාන, සිනාමුසු දේ ලිවීමට උත්සාහ කරන්න. ඔබ වෘත්තිමය ලේඛකයෙක් වෙන්න අදහස් කරන්නේ නම් කරුණාකර තමන් සන්තකයේ කුඩා සටහන් පොතක් තබාගන්න. ගමන් යන විට, ආහාර ගන්නා විට වගේම නින්දට යන විටත් ඒ සටහන් පොත තමාගේ අසලින්ම තබාගන්න මතක තියාගන්න. ඔබේ මනසට නැ‍ඟෙන සෑම සියලු අදහසක්ම සටහන් පොතේ ලියාගන්න. උනන්දු සහගත දෙබස්, සිදුවීම්, චරිත ආදිය ගැන කුඩා හෝ සටහනක් තබාගන්නත් මතක තියාගන්න. යම් දවසක ඒ දෙබස හෝ චරිතය ඔබට වුවමනා වෙන්න පුළුවන්.

මම ලිවීම පටන් ගත්තේ සඟරාවලින්. නොනැවතීම විවිධ සඟරාවලට කෙටිකතා තැපැල් කිරීම ඒ කාලෙ මගේ පුරුද්දක්. පුදුමයක වගේ බහුතරයක් පළ වුණා. සමහර කර්තෘවරු මට යම් මුදලක් ගෙවන්නත් එකඟ වුණා. The Call of the Wild ලිව්වෙත් Saturday Evening Post සඟරාවට. කොටස් වශයෙන් ලියපු නවකතාව පහුකාලීනව සම්පූර්ණ කරලා නවකතාවක් විදිහට මුද්‍රණය කළා. මම හිතන්නෙ මම ලියපු නවකතාවලින් වැඩිපුරම ජනප්‍රිය වුණෙත් ඒ නවකතාව කියලයි.

ඒ වගේම ලිවීමේදී අත්දැකීම් හරිම වැදගත්. මම ලියපු බොහෝ නවකතාවල මගේ අත්දැකීම් තියෙනවා. අත්දැකීම් හිතන්න පොලඹවන කුඩා ගිනි පුපුරු වගෙයි. ඒවා නිසි විදිහකට අවුළුවා ගැනීමයි ලේඛකයෙක් කරන්න ඕනා කරන්නේ. කර්මාන්තශාලාවල කම්කරුවෙක් විදිහට වැඩ කිරීම, රන් ආකාරයක වැඩ කිරීම, සීල් මසුන් දඩයමේ යාම, දුම්රිය මාර්ග දිගේ අමෙරිකාව වටේ ගමන් කිරීම ආදිය මගේ ලිවීම හැඩගැන්වීමටත්, දැල්වීමටත් දායක වුණා. දවසකට වචන දාහකට නො අඩු ප්‍රමාණයක් ලියන්න මම මගෙන්ම පොරොන්දුවක් අරගෙන තිබ්බා. මම ඒ පොරොන්දුව කඩ නොකර දිගටම ‍රැක්කා. මම ලියන දේ හොඳද, නරක ද කියලා පූර්ව තීරණයකට නෑවිත් දිගින් දිගටම ලියන එක කරගෙන යන්න පුහුණු කරපු මනසක් මට තිබුණා.

යුද පුවත් වාර්තාකරුවෙක් විදිහටත් මම කාලයක් වැඩ කළා. ලෝකයේ බොහෝ නරක සහ හොඳ මගේ ජීවිත කාලය ඇතුළත දැකගන්නත් පුළුවන් වුණා කියලා මම හිතනවා. ඇත්තම කිව්වොත් මම දැක්කෙ හොඳට වඩා නරකයි. මේ හැම දෙයක්ම මගේ ලිවීමේ ජීවිතය සකස් කරන්න උදව් වුණා. ස්ථාන ගැන වගේම පුද්ගල චරිත විස්තර කිරීමේ යම් ශක්‍යතාවක් මට ලැබුණා නම් ඒ හැමදේම මම ලබපු අත්දැකීම් හරහා රේඛීයව නොවුණත් අනියමින් ලැබුණ ඒවා වෙන්න ඇති. වඩාත් ත්‍රාසාත්මක සිදුවීම් විස්තර කරන්නත් මේ දේ උදව් වුණා. ලිවීමේදී යමක් මැවීමේ ශක්තිය වැදගත් තරමටම සත්‍ය සිදුවීමුත් වැදගත් වෙන්න පුළුවන්.

කාංචනා අමිලානි

ආශ්‍රිත කියැවීම්:

https://adobe.ly/2keZRx0

http://bit.ly/2lQLG1j

http://bit.ly/2k17U0e

http://bit.ly/2lwxt9J

(Visited 8 times, 1 visits today)

Related posts

Leave a Comment