සජින් වාස්ට අධි චෝදනා – ඇප මත මුදාහරියි – ඇඟිලි සලකුණු වාර්තාවකුත් කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ නීති විරෝධී ලෙස රුපියල් කෝටි 30කට අධික මුදලක් අත්පත් කර ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍ර කියවා භාරදීමෙන් පසුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (05) නියෝග කර තිබේ.

විත්තිකරු රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසද නියෝග කර ඇත.

විත්තිකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයක් තිබේනම් එය අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා විදේශගත වීමට අවශ්‍ය නම් අධිකරනයෙන් අනුමැතිය ලබාගෙන එය කළ හැකි යැයි ප්‍රකාශ කර තිබේ.

2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදෙන අවස්ථාවේ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතාට “කොස්මෝස්” යන නාමය යටතේ ව්‍යාපාර සමූහයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට ව්‍යාපාර විසි එකක් ඇතුළත්ව තිබූ බවද විමර්ශන වලදී හෙළිවී තිබේ.

විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමෙන් පසුව එම ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්ෂ ධූරවලින් ඉවත් වී එහි කොටස් ඔහුගේ බිරිඳ වෙත පැවරූ බව ප්‍රකාශ කර තිබුණද ඔහු එම ව්‍යාපාර කටයුතු සක්‍රීයව පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද සඳහන් වෙයි.

මෙම ව්‍යාපාර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් රුපියල් තුන්සිය කෝටි හැටදෙලක්ෂ හැටඅටදහස් එකසිය අනූහතරක (රු. 306,268,194)  මුදලක් අයථා ලෙස අත්පත් කරගෙන තිබෙන බවත් ඒ තුළින් ඔහු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධි චෝදනා පත්‍රයේ සඳහන් වෙයි.

එම නඩුව නැවත ඔක්තෝබර් මස 01 වනදා කැඳවීමටද නිතය.

(Visited 30 times, 1 visits today)

Related posts

Leave a Comment