පස්සා දොරෙන් අගමැතිකම ගන්න තරම් මම දේශපාලන අවජාතකයෙක් නෙවෙයි-සජිත්

තමා අපේක්ෂක සටන අත්නොහරින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද පස්වරුවේ කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති උත්සවයකදීයි.
 
එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කළ අපේක්ෂකයින්ගේ නියෝජිත හමුවක් එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3ට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණි.

එම හමුවට කැබිනට් අමාත්‍යවරුන් අතරින් රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, හරීන් ප්‍රනාන්දු සහ චන්ද්‍රානි බණ්ඩාර යන අය පමණක් සහභාගි වී සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“දැන් එක එක කටකතා යනවා අද අගමැති වෙනවා හෙට අගමැති වෙනවා කියලා…

පස්සා දොරෙන් අගමැතිකම ගන්න තරම් මම දේශපාලන අවජාතකයෙක් නෙවෙයි.

මම යන්න ඕනෙ තැනට යන්නේ ජනතාවගේ කර පිටින්. හැබැයි ඉහළම තැනට ගියාම ඔබලාට මාව නුවර රජගෙදරදි හමුවෙන්න බෑ.

නුවර එළියේ, කොළඹ ජනාධිපති මන්දිරයේ දී මාව හමුවෙන්න බෑ.

මම ඉන්නේ මහපාරේ ඔබලාත් සමඟ. මා කැටුව එන්නේ එජාපයේ අගමැතිවරයෙක්.

අගමැතිකම බන්දේසියක තබා දෙන විටත් මම ප්‍රතික්ශේප කළා.

ඒ නායකයාට, පක්ෂයට තියෙන ගරුත්වය නිසා.

කොච්චර තැටමුවත්, මේ තීන්දු තීරණ ගන්න එක කොච්චර පස්සට දැම්මත් සජිත් ප්‍රේමදාස අඩියක් නෙවේ මිලි මීටරයක්වත් පස්සට යන්නේ නෑ.”

මෙහිදි සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙසට නම් කළ යුතු බවට වූ යෝජනාවක් ද එම පක්ෂයේ පළාත් පාලන මැතිවරණයට තරග කළ අපේක්ෂකයින් සහ මන්ත්‍රීවරුන් විසින් සම්මත කරගනු ලැබුවේය.

(Visited 8 times, 1 visits today)

Related posts

Leave a Comment