ඇමරිකන් පුරවැසියා රකින කුමන්ත්‍රණයක් තියෙනවා

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය
පාඨලී චම්පික රණවක

2020 ජනාධිපති ධුර අපේක්ෂකත්වය පිළිබඳ පවතින විවිධ මත, ඉදිරි ජනාධිපතිවරණය සහ ඊළඟ ජනාධිපතිවරයාට පැවරෙන වගකීම, අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණදීමට රටේ සිදුවිය යුතු නායකත්ව, දේශපාලන සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් ආදිය පිළිබඳ අදහස් දක්වමින් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සාකච්ඡාවට එක්වේ.

* අතගහපු කිසිම සටනක් පැරදුණේ නැහැ කියල ඔබ කියා තිබුණා. මෙවර සටන ප්‍රමාද ඇයි?

අපේ වරදක් නෙවෙයි, එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ගැටුම නිසා සටන ප්‍රමාදයි. ගෝඨාභය රාජපක්ෂ පරාජය කරන්න පුළුල් පෙරමුණක් අවශ්‍යයි. රටේ ණය බර විසඳන්න රටට ස්ථාවර වැඩ පිළිවෙළක් අවශ්‍යයි. වැඩකරන්න පුළුවන් කාටද, හොරු කවුද, අවංක කවුද කියල අවුරුදු ගණනාවක් වැඩ කරපු විදියෙන් මිනිස්සු දන්නවා. ඒ හින්ද දැන් මිනිස්සු ඉල්ලන්නෙ වැඩපිළිවෙළක් එක්ක නායකත්ව කණ්ඩායමක්. සන්ධානයක් ගොඩනැඟීම, ව්‍යවස්ථාව අනෙකුත් කාරණා සියල්ල හරි. වැඩපිළිවෙළ, එකතුවෙන කණ්ඩායම, අපේක්ෂකය ගැන අදහසක් නැහැ.

පක්ෂ අභ්‍යන්තර ගැටුම් සමහර අවස්ථාවලදී පක්ෂවල ජයග්‍රහණයට හේතුවෙනවා. තවත් වෙලාවකදී ඒ ගැටුම් පක්ෂය සදාකාලික පරාජයකට ගෙනයනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එක්සත් ජාතික පක්ෂයටත් ඒ ගැන අත්දැකීම් තියෙනවා. මේ ගැටුම ප්‍රජාතන්ත්‍රවාදීව විසඳගෙන ජයගන්නවද නැත්නම් පක්ෂය අභාවයට පත්කරනවද කියල එක්සත් ජාතික පාක්ෂිකයන් හිතන්න ඕන.

* මේ අතරතුර අලුතෙන් ගොඩනැ‍ඟෙන වෙනත් සංවිධානයක් ගැන කතා වෙනවා. ඒ එතන පාඨලී චම්පික, ජ.වි.පෙ., චන්ද්‍රිකා, මෛත්‍රී, සජිත් ඉන්න බවත් කියනවා?

පුළුල්ම ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අපි හදන්න අවශ්‍යයි. මහින්ද රාජපක්ෂ යුගයේ ගෝඨාභය ඉහළට ආවෙ රණවිරුවෙක් ලෙස. ඒ රණවිරුව ඇතුළෙ මිලිටරි ජුන්ටාවක් හිටියා. මහින්ද රාජපක්ෂ මහා දේශප්‍රේමියෙක් කිව්වා. ඔහු ළඟ පවුල් ජුන්ටාවක් හිටියා. දේශප්‍රේමී සළුපිළි ඇඳගෙන, ආරක්ෂක ප්‍රශ්න ඉදිරියට දාගෙන මේ පවුල් ජුන්ටාවයි, මිලිටරි ජුන්ටාවයි නැවත බලයට එන්න හදන්නෙ. මේ අය දේශප්‍රේමී අය නෙවෙයි, පවුල් පරම්පරාවම, විදේශ රටවල ඉන්නෙ. පුරවැසිකමවත් ලංකාවෙ නැහැ. පුළුල් පෙරමුණක් හැදුණොත් කිසිම අපහසුවකින් තොරව මේ පවුල් ජුන්ටාව පරාජය කරන්න පුළුවන්.

* රටේ ආරක්ෂාව ගැන සැලකුවෙ නැහැ කියන චෝදනාව පාස්කු ප්‍රහාරය එක්ක ආණ්ඩුවට එල්ල වුණා. ගෝඨාභය රාජපක්ෂව ජනතාව ඉල්ලන්නෙ ඒ හිඩැස පියවන්න කියල මම කිව්වොත්?

වියත්මග හදාගෙන ගෝඨාභයව කරළියට ගෙනාවෙ පාස්කු ප්‍රහාරයට කලින්. ගෝඨාභයට සම්බන්ධ ජඩ මාධ්‍යවලින් රටේ ආරක්ෂාව නැහැ කියමින් ප්‍රචාර ගෙන ගියා. ඇමරිකන් පුරවැසියව රකින ගමන්, ඇමරිකන් කුමන්ත්‍රණයක් ලංකාවෙ අද තියෙනවා කියල පට්ටපල් බොරුවක් මවල තියෙනවා. රට බෙදනවා, එල්. ටී. ටී. ඊ. නැඟිටිනවා කියල කුමන්ත්‍රණ මැව්වා. ඒ අතර සහරාන්ගෙ ක්‍රියාවලිය වුණා.

සහරාන්ල කියන තවුහිද් ජමාත්ලගෙ පියවරු ගෝඨාභය රාජපක්ෂල. ඔහු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කාලෙ තමයි හමුදා බුද්ධි අංශ යටතෙ සහරාන්ල හැදුණෙ වැඩුණෙ. මේ අය බුද්ධි අංශයෙ අය. මධ්‍යස්ථ මුස්ලිම් සංවිධානවලට පහරදෙන්න ගෝඨාභයල හදපු මිලිටරි ජුන්ටාවෙ අංකුර තමයි සහරාන්, තවුහිද් ජමාද් කියන්නෙ. ගෝඨාභය තමයි මේ ගැටුමෙ වගඋත්තරකාරය.

මේ සහරාන් ඇතුළු ත්‍රස්තවාදය පැරණි ගෝඨාභයලට පරාජය කරන්න බැහැ. පැරණි හමුදාවෙ කාටවත් ඒක පරද්දන්න බැහැ. කාලතුවක්කු, හෙලිකොප්ටර්වලින් මේ යුද්ධය නවත්තන්න බැහැ. මේ යුද්ධය සුහුරු යුද්ධයක්. අන්තර්ජාලය, මූල්‍ය විශුද්ධිකරණය වැනි පැතිවලින් මේක පරාජය කරන්න ඕන. වයසට ගිය ජනරාල්ලට මේ යුද්ධෙ කරන්න බැහැ. ඒකට නවීන තාක්ෂණය සහිත තරුණ සුහුරු හමුදාවක් ගොඩනඟන්න ඕන. ඒ නිසා මේකට ගෝඨාභය විසඳුම නෙවෙයි.

* ඔබ කියන සුහුරු යුද්ධය කරන්නත්, රටේ ආරක්ෂාව වෙනුවෙනුත් රටට හොඳ නායකත්වයක් අවශ්‍යයි නේද?

අද රටට අවශ්‍ය තනි නායකයෙක් නෙවෙයි, නායකත්ව කණ්ඩායමක්. රට පවුලකට භාරදෙන්න බැහැ. රාජපක්ෂ පවුල කියන්නෙ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තියෙන දක්ෂ පවුලක් නෙවෙයි, මේ අය වටා ගොඩනැඟිල තියෙන්නෙ ජාවාරම්කාර සමාජතන්ත්‍රයක්. වෘත්තීය හා සමාජ ක්‍රියාකාරකම් සහිත විදේශ පුරවැසිකම් නැති උගත් පිරිසක් අද රටට අවශ්‍යයි. රාජපක්ෂලට ඒක නැහැ.

* තනි නායකයෙක් වටා බලය ගොනුවෙන එක නවත්වන්න තමයි විධායක ජනාධිපති ධුරය අහෝසිකරන්න මේ ආණ්ඩුව ගෙනාවෙ. ඒක එහෙම වුණේ නැහැ?

අහෝසිකරනව කියල ආණ්ඩුව කිව්වෙ නැහැ. අත්තනෝමතික බලතල අයින්කරනව කියලයි මෛත්‍රීපාල සිරිසේන මහත්තය කිව්වෙ. ඒක කළා.

* අත්තනෝමතික බලතල ඉවත්කළේ 19 වැනි සංශෝධනයෙන්. ජනාධිපතිවරය දැන් කියන්නෙ 19 ගෙනාපු එක, මේ ආණ්ඩුව කළ බරපතළම වැරැද්ද කියලයි?

එතුමා ජනාධිපති වුණේ මොකක් කියලද? ඒ වටා තමයි මේ රටේ සමාජ බලවේග ගොඩනැ‍ඟුණේ. ජයග්‍රහණය කළේ මෛත්‍රීපාල කියන චරිතය‍ හෝ පුද්ගලය නෙවෙයි. එදා විධායකයෙ අත්තනෝමතික බලතල කප්පාදුකරනව කියපු පොරොන්දුව. 19 අඩුපාඩු තියෙනවා. නමුත් 19 සංශෝධනය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයෙ විශාල ජයග්‍රහණයක්.

* නිදහසෙන් පස්සෙ මේ රට ගමන්ගත් ආර්ථික දිශානතිය වැරදි බවට චෝදනාවක් තියෙනවා නේද?

සමාජවාදය, කොමියුනිස්ට්වාදය ඔළුවෙ තියාගෙන ඉන්න අය මේක ධනවාදයෙ ප්‍රශ්නයක් කියල හිතනවා. ධනවාදය ලිබරල්වාදය ඔළුවෙ තියාගෙන ඉන්න අය හිතන්නෙ රට ඕනවට වඩා වාමාශික වුණ ප්‍රශ්නෙ ඒක තමයි කියල. ලංකාවෙ ප්‍රශ්නෙට මුල දේශපාලකයො ප්‍රායෝගික නොවීම. ලංකාවෙ විද්‍යානුකූල ආණ්ඩුකරණයකට උත්සාහයක් නැහැ. කරන්නෙ බාල මට්ටමේ දේශපාලනයක්. මෙච්චරකල් මේ අය කළේ කන්න දෙනව කියල ජනකාන්තවාදී දේශපාලනයක්. අදත් තියෙන්නෙ එවැනි තත්ත්වයක්. රටේ හැකියාවන් තේරුම් ගත්තු පාලනයක් අවශ්‍යයි. අපට තියෙන්නෙ හැකියාවන් දෙකයි.

එකක් අපේ විශිෂ්ට භූගෝලීය පිහිටීම. අනෙක අපේ දැන උගත් ජනතාව. මේ අයව හතරවැනි කාර්මික විප්ලවයෙ කොටස්කාරයො කරල නවෝත්පාදන ආර්ථිකයට ගෙන යන්න ඕන. යල්පැනගිය සිතුවිලිවල එල්බගෙන මේ රට හදන්න බැහැ. අලුත් විදියට හිතන තීරණ ගන්න නායකයන් අවශ්‍යයි. සෑම අංශයකම විප්ලවීය වෙනසක් අවශ්‍යයි. සමාජ විප්ලවයේ පරිවර්තනයක් වුණොත්, හොඳ අනාගතයක් ලැබෙයි.

* ඔබ ඉදිරිපත් කරන ජාතියේ ඉදිරිමග සඳහා වූ විමසුම හා පිවිසුම අර්බුදයට විසඳුම යන කෘතියේ අදහස්වලට මේ දූෂිත යාන්ත්‍රණය තුළ ඉඩක් ලැබෙයිද?

රටේ ඉන්න ඉහළම ඉංජිනේරුවන්, කළමනාකරුවන්, වෛද්‍යවරුන්, ගණකාධිකාරීන්, සැලසුම් ශිල්පීන්, පරිපාලකයන් තිස්දහසකට වඩා එකතුවකින් අපි සංවාදයක් ගොඩනැඟුවා. ඒ වගේම ධීවර, ගොවි වගේ සෑම අංශයකම සමාජ ක්‍රියාකාරීන් එක්කත් කතා කළා. අපේ අමාත්‍යංශය අද අංක එකේ අමාත්‍යංශය. ඒ අත්දැකීමත් ගත්තා. මූල්‍ය විනය පැත්තෙන් රටටම ආදර්ශයක් දුන්නා. අපේ ආයතන සියල්ල ලාභයි. එක සේවකයෙක් වැඩියෙන් බඳවාගෙන නැහැ. අපි විශාල ව්‍යාපෘති කළා. අපිට චෝදනා නැහැ. රටට මොකක්ද කරන්න පුළුවන් කියන වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ ඒකයි. ඒක මේ රටේ අනාගත වැඩපිළිවෙළ වෙන්න ඕන.

* ඔබ මේ ආණ්ඩුවෙ වගකිවයුතු ඇමතිවරයෙක්. පහුගිය අවුරුදු කීපයෙ මේ වැඩපිළිවෙළ කරගන්න බැරිවුණේ ඇයි?

ආණ්ඩුකරණ කල්ලි හැම ආණ්ඩුවකම ඉන්නවා. මේ ආණ්ඩුවෙත් එහෙම වුණා. ප්‍රජාතන්ත්‍රවාදී තීරණ ගත්තෙ නැහැ. ඉදිරි ආණ්ඩුවලට එහෙම යන්න බැහැ. පවුලක කෑම මේසයෙ, මිතුරන්ගෙ රාත්‍රී කොක්ටේල් එකේ රටේ තීරණ ගන්න බැහැ. විද්‍යානුකූල ක්‍රමයකට රට ගෙනියන්න අවශ්‍යයි.

* අලුත් ක්‍රමයකට රට ගෙනියන්න නම් අලුත් මිනිස්සු අවශ්‍යයි…?

අනිවාර්යයෙන්ම.

* රටේ ජනතාව මේ ගැන දැන් කතා කරනවා?

ජනතාව එහෙම කිව්වට මේ ප්‍රචාරක ව්‍යාපාරවලින් වශීකෘතවෙලා. විහිළුකාරයො, නළුවො, මෝස්තරකාරයො, පට්ටපල්හොරු, වංචනිකයන්, මත්කුඩු ජාවාරම්කාර‍යන්, විදේශවල තමන්ගෙ දේපළ තියාගෙන මෙහෙ බොරු දේශප්‍රේමය ගැන කියන බොරුකාරයන් පත්කරනවා. දුරදිග හිතන, අනාගතය ගැන හිතන 20%ක විතර ජනතාවක් ඕනම රටක ඉන්නවා. ලංකාවෙ ඒ කණ්ඩායම අකර්මන්‍යවෙලා. ඔවුන් රට දාල යනවා. ඒ අය නතර කරගන්න තමයි ඉන්න හිතෙන රටක් තේමාව ගෙනාවෙ.

* ඔබ ඊළඟට නියෝජනය කරන කඳවුර නැත්නම් ආණ්ඩුව හරහා මේ කටයුත්ත කරගන්න පුළුවන්ද?

ඒක මේ රටේ ජනතාව තීරණය කරන්න ඕන. පළමුව මේ පවුල් හා මිලිටරි ජුන්ටාව මැතිවරණයෙන් පරාජය කරන්න ඕන. අලුතෙන් හිතන, නවෝත්පාදන ආර්ථිකයට ගෙනියන්න පුළුවන් කණ්ඩායමකට රට විවෘත්ත කරන්න ඕන. තරුණ වෘත්තීයවේදීන්ට රට භාරදෙන්න ඕන. ඒ වෙනුවෙන් මගේ උපරිම කැපවීම ලබාදෙනවා.

* ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව කියන විදියට මේ රට ගොඩනඟන්න බැහැ. දේශීය ආර්ථිකයකට යායුතු බව ගෝඨාභය රාජපක්ෂ කියනවා?

මහින්ද රාජපක්ෂ 2009 හිටියෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතෙ නෙමෙයි ද? වැඩකළේ IMF එකට අනුව නෙවෙයිද, ගෝඨාභය කොළඹ ලස්සන කළා කිව්වෙ ලෝක බැංකු සල්ලිවලින්; ඒක එයාගෙ සංකල්පයක් නෙවෙයි; ලෝක බැංකු සංකල්පයක්. විහාරමහාදේවී උද්‍යානය, ගාලු පාර, ඩුප්ලිකේෂන් පාර හැදුවෙ ලෝක බැංකු සංකල්පයට අනුව. දැන් ඒකට ගරහනවා. ලෝක බැංකුවෙ පැරණි චින්තනය වුණේ ලිබරල් දැන් අමෙරිකාව, යුරෝපයෙ ජයග්‍රහණය කරල තියෙන්නෙ ලිබරල් චින්තනය නෙවෙයි, ආරක්ෂණවාදය දේශප්‍රේමීත්වය. ඒ නිසා ඒ ප්‍රතිපත්ති වෙනස්. ඔය සටන්පාඨ කවුරු කිව්වත්, කාගෙවත් උදවු අවශ්‍ය නැත්තෙ, අපිට තනියම හිටගන්න පුළුවන් ආර්ථිකයක් හදාගත්තොත් විතරයි.

* රට ගොඩනඟන නිවැරදි ආර්ථික දර්ශනය ක්‍රියාත්මක කළේ තමන්ගෙ කාලෙදි බවයි මහින්ද රාජපක්ෂ කියන්නෙ. ඒ නවතපු තැනින් නැවත පටන්ගන්න ඉන්න හොඳම නායකය ගෝඨාභය බවයි කියන්නෙ?

බැලූ බැල්මට ඒ අය සංවර්ධනය කළා කියල පේනවා. ඒව කළේ අධික පොලියට වාණිජ ණය අරගෙන. මහින්ද බලයට එනකොට ලංකාවෙ වාණිජ ණය 5%යි. අද 55% මහින්ද, ගෝඨාභය ආදායම් උපදවන්න කරපු එක ව්‍යාපෘතියක් පෙන්නන්න.

* ඔවුන් මේ රටට ගෙනාපු ආර්ථික මර්මස්ථාන වෙච්ච වරාය, ගුවන්තොටුපළ මේ ආණ්ඩුව විකුණා දැමුවා?

වරාය, මත්තල ගුවන්තොටුපළ විකුණන්න කිව්වෙ අපි නෙවෙයි, 2011 ජූනි මාසෙ පී. බී. ජයසුන්දර චීනෙට ගිහින් හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, පුත්තලම් බලාගාරය සහ කොළඹ දකුණු වරාය චීනයට විකුණන්න සැලසුම් කළා. පුළුවන්නම් නැහැ කියන්න. ඒ ගමනට සරත් අමුණුගමත් ගියා. දැන් දේශප්‍රේමී වෙන්න දඟලනවා. පුත්තලම් බලාගාරය විකුණනවට විරුද්ධ වෙච්ච නිසා තමයි මාව බලශක්ති ඇමති ධුරයෙන් අයින් කළේ. මහින්ද එදා දිනුවනම් ඔක්කොම චීනෙට දෙනවා. ඔය නිර්මාණ මහින්දගෙ හපන්කම් නෙවෙයි, චීන සමාගම්වල වැඩ, චීන වැඩවලට මහින්දගෙ නම දාගත්තා. 2005ට කලින් ඔය රාජපක්ෂල ආණ්ඩු කළානෙ. මොනවද කරල තියෙන්නෙ.

දුමින්ද සම්පත්
ඡායා-සමන්ත වීරසිරි

(Visited 115 times, 1 visits today)

Related posts

Leave a Comment