මම සත පහක් කොමිස් ගසා නෑ – ඔප්පු කළොත් ආණ්ඩුකාරකම දමා ගෙදර යනවා – දකුණ ආණ්ඩුකාර හේමාල් ගුණසේකර

ඔප්පු කළොත් ආණ්ඩුකාරකම දමා ගෙදර යනවා
– දකුණ ආණ්ඩුකාර හේමාල් ගුණසේකර

මහජන නියෝජිතයෙක් වශයෙන් තමා කිසිදු අවස්ථාවක දී අයථා අයුරින් ජනතා ව්‍යාපෘති හරහා කොමිස් මුදලක් ලබා නොගත් බවත්, එවැනි චෝදනාවක් ඔප්පු කළහොත් තමන් එදිනම ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වන බවත් දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පැවසීය.

කඹුරුපිටිය නාරන්දෙනිය ජාතික පාසලේ දී පැවති 5 ශිෂ්‍යත්වය සමත් දරුවන් පිරිසක් ඇගයීමේ වැඩසටහනකට සහභාගී වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ ය.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය එම වැඩසටහන සංවිධාන කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හේමාල් ගුණසේකර මහතා.

නාරංදෙණිය ජාතික පාසල මට ජයග්‍රහණයට වගේම පරාජයටත් මුල් වූ තැනක්. මේ පාසලේ තාප්පය කැඩුවා කියා මට පහුගිය කාලේ චෝදනා කරා. ඒත් මං කියන්න ඕනේ මේ තාප්පය හදන්න මං ලක්ෂ 185ක් වෙන් කළා. තාප්පය කැඩුවෙ වෙන කවුරුවත්. නමුත් චෝදනාවට ලක් වුණේ මමයි. මට විරුද්ධව පෙළපාළි ගියා. විරෝධතා දැක්වූවා. මේ පාසලේ හැම ගොඩනැගිල්ලක්ම හදන්න මුල් වුණේ මමයි. පාසලට පියානෝ එක දුන්නේ මම. පොන්ඩ් එක හදන්න පෞද්ගලික මුදලින් ලක්ෂ 4.75 දුන්නා. පාසලට ඉදිරියෙන් තිබෙන ජිම් එක දුන්නේ මම. ලංකාවේ හොඳම බස්නැවතුම්පොල කඹුරුපිටියට ලබා දෙන්න මට පුළුවන් වුණා. ඒ සඳහා ලක්ෂ 1400ක් මම අරන් දුන්නා.

වැලිඇටයක්වත් නොදුන්න කඹුරුපිටියට වැලිගම ඉඳන් ඇවිත් ලක්ෂ 40000ක විතර වැඩ කරේ මම විතරයි. නමුත් මට තියෙන කළකිරීම මේ වගේ විශාල වැඩ කොටසක් කඹුරුපිටියට කරලත්, මාව පරද්දල වේදිකාවල බොරුවට කෑගහපු මිනිස්සු දිනවන්න කටයුතු කිරීම ගැනයි. නමුත් අද මට හිමිවියුතු තනතුරක් ලැබිල තියෙනවා. අද මම කඹුරුපිටියට ඇවිත් ඉන්නෙ දකුණේ පළවෙනි පුරවැසියා විදියටයි. කොහොම වුණත් මේ පාසලේ තාප්පය හදාගන්න මධ්‍යම රජයේ අධ්‍යාපන ඇමැතිවරයාත් එක්ක කතා කරල මුදල් ලබා දෙන්න කටයුතු කරනවා. මම සත විසිපහක්වත් අයුතු විදියට අරන් නෑ . දේශපාලන වශයෙන් පසුගිය කාලේ පරාජයට පත්වුණත් මට සතුටු වෙන්න පුළුවන්. ඒ වැඩියෙන්ම වැඩ කරන්න අවස්ථාව ලැබුණු එක ගැනයි.

මං මේ අහිංසක දරුවන්ටත් කියන්නේ තමන්ට කවුරුහරි යුතුකමක් කළොත් ඒක අමතක කරන්න හොඳ නෑ. ඉගෙන ගන්නා ගමන් යුතුකම් අයුතුකම් බේරගෙන යුතුකම් ඉෂ්ට කරන්න පුංචි දරුවො හිතට ගන්න ඕනේ. එතකොට කවදාවත් තමන්ට වරදින්නෙ නෑ.

මෙම අවස්ථාවට දකුණු පළාත් අමාත්‍යාංශයේ ලේකම් වයි. වික්‍රමසිරි මහතා, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිමල් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

(Visited 29 times, 1 visits today)

Related posts

Leave a Comment