සහරාන් ඇතුළු නඩයට වැටුප් ගෙවා ඇති බව කෙහෙළිය පිළිගත්තා

– ප්‍රශ්න කරන්නැයි නි. ඇමැති නලීන් බණ්ඩාර ඉල්ලයි

සහරාන් ඇතුළු කණ්ඩායමට වැටුප් ගෙවූ බවට හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමන් සහභාගී වූ රූපවාහිනී විවාදයක දී පළමු වරට පිළිගත් බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා පැවැසීය.

රඹුක්වැල්ල මහතා වහාම කැඳවා ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නැයි තමන් පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව හෙතෙම සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය. එම සිදුවීම සාධාරණීය කිරීම සඳහා එම රජය විසින් පොට්ටු අම්මාන්ට ද වැටුප් ගෙවූ බව කියා සිටි බවත් එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසු 2010 සහ 2015 කාලයේදී කුමන ආකාරයේ තොරතුරු ලබා ගැනීමට මුදල් ගෙවා ඇද්දැයි වහාම සොයා බැලිය යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

මේ පිළිබඳව පෞද්ගලික අවධානය යොමු කරන්නැයි කාදිනල් හිමිපාණන්ගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවද නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. නියෝජ්‍ය ඇමැතිවරයා වැඩි දුරටත් මෙසේ ද කියා සිටියේය. ‍මම දන්න විදියට සහරාන්ලා යුද්ධ කාලයේ හිටියේ නැහැ. මේ සහරාන් නිර්මාණය කළේ 2015 කලින් රජයයි. හැබැයි මේ අයට වැටුප් ගෙවලා තියෙන‍්නේ 2010 සහ 2015 කාලයේ දී. ඒ කාලයේ රටේ යුද්ධයක් තිබුණේ නැහැ. මේ අය මුස්ලිම් අන්තවාදීන් භාවිත කරලා තිබෙන්නේ මොන වගේ තොරතුරු ගන්නද කියන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳ දැඩි අවධානය යොමු කරන්න ඕන. අනෙක් කාරණය තමයි අද ඔය මහා ජාතිකත්වයෙන් කතා කරන හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ රාජපක්ෂවරුන් තමයි මෙවැනි අන්තවාදීන්ට කිරි පොවලා පෝෂණය කරලා තිබෙන්නේ. ඒත් මම කියන්නේ නැහැ මේ ප්‍රහාරය එල්ල වෙන අවස්ථාවේ ඔවුන් එක්ක සම්බන්ධයක් තිබුණයි කියලා. නමුත් මේ අය තමයි මේ තත්ත්වයට අවශ්‍ය වටපිටාව සකස් කරලා තිබෙන්නේ. මේ ප්‍රහාරත් එක්ක වටිනා කියන ජීවිත නැති වුණා. ආර්ථිකය කඩා වැටුණා. සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. කීර්තිනාමයට හානි වුණා. එම නිසා මේ පිළිබඳව රඹුක්වැල්ල මහතා ගෙන්වා ප්‍රශ්න කළ යුතු යැයි මා දැඩිව ඉල්ලා සිටිනවා.

නුවන් කොඩිකාර

(Visited 44 times, 1 visits today)

Related posts

Leave a Comment