රාජ්‍ය බුද්ධි ප්‍රධානියා 21දා ප්‍රහාරය ගැන ආරක්ෂක ලේකම්ට දන්වලා

– නි. සොලිසිටර් ජනරාල් මහාධිකරණයේ දී කියයි

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදීන්ගෙන් අනිවාර්යෙන් අප්‍රියෙල් 21 වන දින ප්‍රහාරයක් එල්ල වන බවට අප්‍රියෙල් 20 වැනිදා සවස වට්ස්ඇප් පණිවුඩ දෙකකින් හා දුරකථන ඇමතුම් මඟින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාව දැනුවත් කර තිබියදීත් ඒ ගැන කිසිසේත් නොසලකා හැරීමෙන් මෙම අවාසනාවන්ත ව්‍යසනයට ඉඩ සැලසුණු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ මහාධිකරණය හමුවේ (20) ප්‍රකාශ කර සිටියේය.

අප්‍රියෙල් මස 20 වැනිදා සවස 6.23න් ඉන් විනාඩි තුනකට පසු එනම් සවස 6.26 වන විට 21 වැනිදා අනිවාර්යෙන් ප්‍රහාරයක් එල්ල වන බවට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා හිටපු ආරක්ෂක ලේකම්වරයාට වට්ස්ඇප් පණිවුඩ දෙකකින් දන්වා තිබූ බවත් , ඒ බවට තමා පොලිස්පතිවරයාවද දැනුවත් කළ බවට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා දන්වා ඇති බවත් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 296 වගන්තිය යටතේ චෝදනා නඟා තිබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ ප්‍රතිශෝධන අයදුම ඊයේ (20) කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඒ බව සඳහන් කළේය.

ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධ සැකකාර වගඋත්තරකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සැලකිරීම්වලට ප්‍රතිඋත්තර ලබාදෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ බව සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේ මෙම සැකකරුවන් දෙදෙනා ඉලක්කකර ගනිමින් දේශපාලන වශයෙන් බලපෑමක් වන බවට සැකකාර වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් කරුණු දැක්වුවද පැහැදිලිවම මෙම විමර්ශන නිල රාජකාරිය නිසි ලෙස ඉෂ්ට නොකෙරූ සියලු පාර්ශවයන් ඉලක්කකර ආරම්භ කළ බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දන්වා සිටියේය.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ මෙම ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලේ.

මිනිසුන්ට විශ්වාසයෙන් එන්න තිබෙන එකම තැන අධිකරණය බවත් එය ජනතා විශ්වාසය ගොඩනැගෙන ලෙස කටයුතු කළ යුතු බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිය ක්‍රියාත්මක වීම සැමට එක ලෙස ක්‍රියාත්මක විය යුතු බවද සඳහන් කළේය.

සැකකරුවනට ඇප නියමකරමින් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සිදු කළ ක්‍රියාවලිය වැරැදි පූර්වාදර්ශයක් බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රතිශෝධන අයදුම්පතෙන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නියෝගයේ කරුණු 44ක් අභියෝගයට ලක්කලද සැකකාර වගඋත්තරකරුවන්ගේ නීතිඥවරුන් එකම කරුණක් සම්බන්ධවවත් කරුණු දැක්වීමක් මෙහිදී සිදු නොකළ බව සඳහන් කර සිටියේය.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් ප්‍රහාරයක් සම්බන්ධව ‍තොරතුරු ගැන උපදෙස් ලබාදී තිබියදීත් ඒ සම්බන්ධව ක්‍රියාත්මක වීමේ නොහැකියාව කුමක්දැයි පවසා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඊට හේතුව කම්මැලිකම හා අලසකම බවද පැවසීය.

සැකකාර වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න හා අනිවාර්ය නිවාඩු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ යන මහත්වරු පෙනී සිටියහ.

කුමුදු හෙට්ටිආරච්චි

(Visited 39 times, 1 visits today)

Related posts

Leave a Comment