ජනතා පුත්‍රයා සජිත්

සංඝරත්නයේ ආශිර්වාදය

පිය මඟ යන පුතකු ලෙස හිටපු ජනපති පුත් සජිත් ප්‍රේමදාස මහතා වත්මන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභි ජනයා වෙනුවෙන් තම සේවය ලබා දෙමින් සිටින්නේ ය. තම පියාණන් වූ ආර්. ප්‍රේමදාස මහතා ජනසවිය, ගම් උදාව, වැනි ව්‍යාපෘති තුළින් ජනයාගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට කටයුතු කළ ආකාරයෙන් ම ඔහුගේ පුත් සජිත් ප්‍රේමදාස මහතා 1994 වසරේදී ආරම්භ කළ ‘ජන සුවය පදනම‘ මගින්, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ගෙන යාම සඳහා අවස්ථාවන් සලසා දුන්නේ ය.

2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව, දිවයිනේ බෞද්ධ විහාරස්ථාන සහ දහම් පාසල් සංවර්ධනය කරනු පිණිස සජිත් ප්‍රේමදාස මහතා විසින් සසුනට අරුණ නමින්, නව ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස සසුනට අරුණ වැඩසටහන ක්‍රියාත්මක කරමින් ඉතා දිළිඳු විහාරස්ථාන ගොඩනගන්නට වීර්යය සම්පන්න උත්සාහයක නිරත සජිත් ප්‍රේමදාස අන්‍ය ආගමික, අන්‍ය ජාතික ආගමික මධ්‍යස්ථානවලටද දක්වා ඇති මූල්‍යමය දායකත්වය ප්‍රශංසනීයය.

ලක් ඉතිහාසයේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් අරගල කළ රාජ්‍ය නායකයා ලෙස සැලකෙන ආර්. ප්‍රේමදාස මහතා එවකට සිදුකරමින් තිබූ සමාජ සේවාවන් ඒ ආකාරයෙන් ම වත්මන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ එක ම අභිලාෂය වී තිබේ. දිළිඳුකම පිටු දැකීම හා නැති-බැරි මිනිසුන් ඇති – හැකි මිනිසුන් කිරීම වැනි සංකල්ප හඳුන්වා දෙමින් තම පියාණන්ගේ අරමුණු යථාර්ථයක් කර ගැනීමට සැබෑ වුවමනාවකින් දේශපාලනයට පිවිසි සජිත් ප්‍රේමදාස මහතා 1994 පැවති මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළමු වැනියා වෙමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත්විය. එතැන් පටන් අපරාජිත දේශපාලනඥයකු ලෙස, ඉදිරිපත් වූ සෑම මැතිවරණයකින්ම ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ලබාගත් මන්ත්‍රීවරයා වීම ද විශේෂත්වයකි. 2001 වසරේ පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් වී 82% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේ ය. 2004 වසරේදී 84%ක ඡන්ද ප්‍රතිශතයක් හා 2010 වසරේ දී 89%ක ඡන්ද ප්‍රතිශතයකුත් ලබා ගත් ඔහු මේ වන විට අමාත්‍ය ධුර කිහිපයක් ම හොබවා වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා දක්වා තම දේශපාලන ගමන් මඟ තරණය කොට තිබේ.

1967 ජනවාරි 12 දින මෙලොව උපන් සජිත් ප්‍රේමදාස මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් හා කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ද බම්බලපිටිය වජිරාරාම දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ද ලබා එංගලන්තයේ හා ඇමරිකාවෙන් උසස් අධ්‍යාපනය ලබා ඇත්තෙකි. සිංහල බෞද්ධයකු ලෙස ශාසන මෙහෙවර ඉටු කරමින් වෙහෙර විහාරස්ථාන බොහෝමයකට ආධාර උපකාර කිරීම ඔහුගේ තවත් සද්ක්‍රියාවකි. දුගී දුප්පතුන් වෙනුවෙන් හඬ නඟන මොහු හම්බන්තොට දිස්ත්‍රික්කය තම දේශපාලන දිවියේ ගමන් ආරම්භය කරගනුයේ අතිශය දුෂ්කර ජන ජීවිත ගත කරන මහජනතාව වෙනුවෙන් සේවය කිරීමට ය.

2015 දී පැවැති රජය පෙරළා දැමීමෙන් පසු බිහි වූ යහපාලන ආණ්ඩුවේ නිවාස, ඉදිකිරීම් හා සමෘද්ධි අමාත්‍යාංශයේ වගකීම තම උරමත හොවා ගන්නා එතුමා කැබිනට් ඇමැතිවරයෙකු ලෙස තම වගකීම් නොපිරිහෙළා ඉටු කරන්නට වෙර දැරීය. සමෘද්ධිලාභීන්ට සහන ක්‍රමයට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙමින් නිවාස ඉදිකර ගැනීමට නිවාස ණය ලබා දුන් අමාත්‍යවරයා දුගී ජනයාගේ සංවර්ධනයේ පෙරගමන්කරුවා ලෙස තම කාර්යයභාර්යය මැනෙවින් ඉටු කරන්නේ ය. ‘සැමට සෙවණ‘ ‘යළි පිබිදෙන උදා ගම්මාන‘ රැසක් මේ වනවිට ජනතා අයිතියට පත්කොට තිබේ. ශ්‍රී ලංකාව පුරා උදා ගම්මාන ලෙස දිළිඳු ගම්මාන, මධ්‍ය පන්තික ගම්මාන, රාජ්‍ය සේවක ගම්මාන, රණවිරු හා පොලිස් ගම්මාන ඉදිවෙමින් තිබේ.

එසේම, සංස්කෘතික අමාත්‍යාංශයෙහි ද වගකීම් බාරගන්නා මොහු සංස්කෘතියේ ප්‍රබෝධය සඳහා බොහෝ තීන්දු තීරණ ගනු ලැබීය. අඩුපාඩුකම් සහිත දහම් පාසල් සඳහා අංග සම්පූර්ණ දහම් පාසල් ශාලා ඉදිකිරීම් ආරම්භ කොට තිබේ. ශ්‍රී ලංකාව තුළ අමාත්‍යවරයකු ලෙස සිදු කළ ශාසනික මෙහෙවර අගයමින් “ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන” ‍ගෞරව නාමයෙන් ද පිදුම් ලබන්නේ ය.

ආර්. ප්‍රේමදාස මහතා මේ රටේ නායකත්වයට පත්වීම සැබැවින්ම විප්ලවයක් වූයේ ආර්ථික, සමාජ තහංචි මැඬගෙන, පන්ති, වර්ග, කුලමල වැනි අභියෝග ජය ගනිමින් මේ රටේ ඉහළම තනතුරට පැමිණීම නිසා ය. ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ, එදා බෞද්ධ ජන පදනමකින් යුතු, ග්‍රාමීය ආසන බහුතරයක් ජය ගැනීමට එක්සත් ජාතික පක්‍ෂයට ශක්තිය ලැබුණේ ඔහුගේ තිබූ මානව ගුණාංගය නිසා ය. පොදුජන විඥානය හොඳින් තේරුම් ගත් නායකයකු ලෙස ඔහුගේ පුත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ද රටේ රාජ්‍ය නායකත්වයට පත්වීමට වත්මන් ශ්‍රී ලංකාවේ බොහොමයක් ජනතාව බල කරමින් සිටින්නේ ය.

සියල්ලන්ටම සමානව සැලකීම, සියල්ලන්ටම සමාන අවස්ථා ලබාදීම, සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම හා දූෂණයෙන්, වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂය සැමදා පෙනී සිටියේ යැයි අමාත්‍යවරයා පවසා ඇත. ඉදිරි ජනපතිවරණයේ දී රටේ නායකත්වය වෙනුවෙන් පෙනී සිටීමට පොදු ජනතාව අතරින් මහත් ඉල්ලීමක් ඇතිවීමට හේතුව බවට පත්ව තිබෙන්නේ ඔහුට ඇති ජන ප්‍රසාදය යි.

ඡායාරූප – ලේක්හවුස් පුස්තකාලයෙනි

දුමින්ද අලුත්ගෙදර

(Visited 170 times, 1 visits today)

Related posts

Leave a Comment