ආබාධිත රණවිරුවන්ගේ කඳුළු මතින් බලයට එන්න දත කන්නෝ

ජීවිතාන්තය දක්වා වැටුප් ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් ආබාධ සහ විශ්‍රාමික රණවිරුවන් පිරිසක් මේ වන විටත් කොළඹ කොටුව දුම්රියපොළ අසල විරෝධතාවක නිරතවීම මේ සතිය පුරා අසන්නට දකින්නට ලැබුණු සහ බොහොමයක් දෙනා සංවේදී වූ සිදුවීම් මාලාවක් විය. මේ සමඟ විශාල අවධානයක් මේ වෙත යොමු වුවත් මෙහි ඉතිහාසයේ සිට කුමක් සිදු වූවාදැයි සැබෑ තතු විමසීම අවශ්‍ය වේ.

2019 ජුනි 30 වැනිදිනට රණවිරු සේවා අධිකාරියේ දත්තවලට අනුව, ත්‍රිවිධ හමුදාවේ ක්‍රියාන්විතයේදී දී සිටියදී මරණයට පත් වූ සංඛ්‍යාව 28062 වෙයි. ඉන් ත්‍රිවිධ හමුදා ක්‍රියාන්විත රාජකාරියේදී තුවාලලැබූවන් 20,353 වන අතර ඉන් 8764 දෙනකු විශ්‍රාමික වන අතර 11589 තුවාල ලැබ සේවයේ නියුතු වේ. මේ සම්බන්ධව රජය ක්‍රියාකාරීවීම 1982 සිට දැක ගත හැක.

කලින් කලට ආ චක්‍ර ලේඛනවලට අනුව නොයෙක් අයුරින් මේ සඳහා වූ නිර්නායක වෙනස් විය. 2007 ට පෙර, විවාහක සොල්දාදුවකු සටනේදී මිය ගියහොත්, ඔහුගේ මවුපියන්ට රු. 50,000ක දීමනාවක් හිමි වූයේ ඔවුන්ගේ මාසික ආදායම රු. 2,000 අඩු වන්නේ නම් පමණි. හිටපු ආරක්ෂක ලේකම්ගේ නියෝගයකට අනුව, 2007 නොවැම්බර් 23 වැනිදින සිට විවාහක සොල්දාදුවකු ක්‍රියාන්විතයේදී මියගියහොත්, ඔහුගේ වැටුප භාර්යාව ( දරුවන්) සහ මවුපියන් අතර පිළිවෙළින් 75% හා 25% ලෙස බෙදීයයි. 2007 ට පෙර, සන්නද්ධ හමුදාවේ හෝ පොලීසියේ නිලධාරීන්ගේ වැන්දඹු භාර්යාවන් නැවත විවාහ වුවහොත්, ඔවුනට වැටුප හෝ විශ්‍රාම දීමනාව අහිමි විය. නමුත් 2007 නොවැම්බර් කැබිනට් පත්‍රිකාවකට අනුව මෙය යහපත් තත්ත්වයට වෙනස් වූයේ නැවත විවාහවීමට අපේක්ෂා කරන වැන්දඹුවන්ට වසර 10කට අදාළ, වැටුප් හා දීමනා එකවර හිමිවිය.

මේ රජය යටතේ වූ වෙනස්කම්…….

සරලව, දැන් තියෙන ක්‍රමය යටතේ පූර්ණ ආබාධිතයෙක් වුණොත් විතරයි තමන්ගේ පඩිය පැන්ෂන් ගියාට පස්සේ ජීවිතාන්තය දක්වා ලැබෙන්නේ. පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ සියලු සාමජිකයන්ට තමන් විශ්‍රාම ගිය පසුවද ඔවුන්ගේ අවසන් වරට ලැබූ වැටුපටම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක් කල් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මේ මාසයේ ලැබුණි. සැප්තැම්බර් 24 වැනිදින සිට ක්‍රියාත්මක වන පරිදි අාබාධිත රණවිරුවන් ජීවත්ව සිටින තෙක් මේ ගෙවීම අඛණ්ඩව සිදු කරනු ලැබේ. ඒ අනුව අාබාධිත රණවිරුවකු මෙතෙක් ගෙවන ලද විශ්‍රාම වැටුප සහ අනෙකුත් දීමනා වෙනුවට ඔහු විශ්‍රාම යන අවස්ථාවේදී ලැබූ මූලික වැටුප හා සියලු දීමනා ඇතුළත් මාසික වැටුප සියලු ආබාධිත රණවිරුවන් වෙත ගෙවනු ලැබේ.

උදාහරණයක් ලෙස අාබාධිත තත්ත්වයට පත් වූ යුද හමුදා මේජර්වරයකුගේ මූලික වැටුප හා දීමනා රු. 97,205වේ. ඊට අමතර විශ්‍රාම වැටුප වශයෙන් 10,000ක්ද, දුබලතා විශ්‍රාම වැටුප වශයෙන් 4000ක්ද ඇතුළුව අාබාධිත මේජර්වරයකුගේ මාසික වැටුප වූයේ රු. 111,483කි. ඔහු ආබාධිත සෙබළෙකු ලෙස වයස අවුරුදු 55දී විශ්‍රාම ගැන්වූ පසු ඔහුට මෙතෙක් ලැබුණේ රු.81,000ක විශ්‍රාම වැටුපකි. නමුත් 2019 සැප්තැම්බර් 24 වන දින සිට විශ්‍රාම ගැන්වූ එම හමුදා නිලධාරීවරයාට ඔහු විශ්‍රාම ගැන්වීමට පෙර ලබාගත් රු.111,483 මුදල ඔහුට දිවි ඇතිතෙක් ඔහුට විශ්‍රාම වැටුප ලෙස ලැබෙනු ඇත. එමෙන්ම නුදුරේදී හානිපූරණය සඳහා වන කාර්යාලය විසින් ප්‍රතිපත්ති සැකසීම සඳහා රටපුරා පවත්වන උපදේශනවලදීද අාබාධිත සෙබළුන්ගේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනු ඇත.

ආබාධිත සෙබළුන් දැනට මාස කිහිපයකට පෙර මාතලේදී මුදල් ඇමැතිවරයා හමුවී ඔවුන්ගේ දුෂ්කරතාවන් පිළිබඳ කරුණු හෙළි කළහ. ඒ අනුව මුදල් ඇමැතිවරයා වශයෙන්, රට වෙනුවෙන් ඔවුන් කරන ලද කැප කිරීම අගයනු වස් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ට ජීවිත කාලය දක්වා අවසන් වරට ලැබූ වැටුපට සමාන මුදල ලබාදීමේ ක්‍රමවේදයක් සකස්කිරීමට මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබාදෙන ලදී.

ආරක්ෂක ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයාද දැනුවත් කිරීමෙන් පසුව මේ සහන විරෝධාර සෙබළුන් වෙනුවෙන් ලබාදීමට මේ රජයට හැකිවීම සතුටට කරුණක් බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.උතුරු නැඟෙනහිර ගැටුම් අවසන්ව පසුව එදා පැවති රජය විරෝදාර සෙබළු අතුරු ආරක්ෂක අංශ විකුණාගෙන දේශපාලනය කරන යුගයක් පැවතියේය. ඔවුන් දැන් විපක්ෂයේ සිටියදී පවා කරනුයේ පටු දේශපාලන වාසි තකා යුද්ධයෙන් අාබාධිත වූ රණවිරුවන්ගේ දුක හා කඳුළු මත බලයට පැමිණීමට උත්සාහ කිරීමයි.

පසුගිය රජයේ පාලකයන් එම සෙබළුන්ගේ සුබසිද්ධිය තකා සැලකිය යුතු කිසිවක් ලබා දුන්නේ නැත. එහෙත් මේ රජය බලයට පත්වීමෙන් පසුව පොලිසිය සහ ආරක්ෂක හමුදාවේ සියලු සාමාජිකයන්ට පසුගිය වසර විස්සක් තිස්සේ නොදුන් සහන අයවැය හරහා ලබාදීමට මුදල් අමාත්‍යංශයට හැකිවිය.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට ගෙවන දීමනා ඉහළ නැංවීම ක්‍රියාත්මක කළේය. එම නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව ඉකුත් ජනවාරියේ සිට ඉහළ නැංවීමට රජය පියවර ගත්තේය. ඒ අනුව නිලධාරීන්ගේ සලාක දීමනාව රුපියල් 23,231 දක්වාද, සෙසු නිලයන්ගේ සලාක දීමනාව රුපියල් 19,350 දක්වාද මේ වන විටත් ඉහළ නංවා ඇත. ඊට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාද දෙගුණ කළේය.

එසේම, යුද, නාවික සහ ගුවන් හමුදා සේවයේ රුපියල් 1000ක කොමාන්ඩෝ දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නංවා ඇත.තවද වසර 20ක් තිස්සේ පොලිස් නිලධාරීන්ට අහිමිව තිබූ උසස්වීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලද අතර 31,000කට අධික පොලිස් කොස්තාපල් සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන්ට උසස්වීම් ක්‍රියත්මකවීම පසුගිය සතියේදී ඇරැඹුණි.

අාබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් මේ වැටුප් ගෙවීම ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන සංග්‍රහය සහ අදාළ චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නුදුරේදීම සංශෝධනය කරනු ඇත.

(Visited 33 times, 1 visits today)

Related posts

Leave a Comment