ගෝඨාගේ ද්විත්ව පුරවැසිබව ඉවත්කළ ලිපිගොනු සීඅයිඩියට දෙන්න

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කිරිමට අදාළ ලිපිගොනු රහස් පොලිසියට ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය (26) ආගමන විගමන පාලක ජනරාල් වෙත නියෝගයක් නිකුත් කළාය.

2005 වසරේදි ද්විත්ව පුරවැසිභාවයට අදාළ සියලු කාර්යයන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදු කර ඇති බවත් එහෙත් ආරක්ෂක අමාත්‍යංශයේ හෝ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කිසිදු ලේඛනයක් නොමැති බවට ලිපි මගින් දැනුම් දි ඇති බවත් ඒ අනුව ‍ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හැදුනුම්පත් අංකය සඳහන් ද්විත්ව පුරවැසි ලිපිගොනුවල සහතික පිටපත් රහස් පොලිසියට ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය ආගමන විගමන පාලක ජනරාල් වෙත නියෝගයක් නිකුත් කළාය.

මිට අමතරව විරකැටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්දහිමි නාමලේඛනයේ පිටපතක්, 2005 /11/17 ජනාධිපතිවරණයේ දි මැදමුලන මධ්‍ය මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි වි තිබු ඡන්ද හිමි නාමලේඛන පිටපත්, මැදමුලන මධ්‍ය මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත හා කාර්ය මණ්ඩල තොරතුරු විස්තර, 2005 ඡන්ද හිමි අපේක්ෂක නම් හා ඡන්ද මධ්‍යස්ථානයේ එක් එක් අපේක්ෂකයන් විසින් පෙනි සිටි නියෝජිතයින්ගේ නම් ඇතුළු විස්තර රහස් පොලිසියට ලබා දෙන ලෙසට හම්බන්තොට දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත ද 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව මහේස්ත්‍රාත්වරිය නියෝගයක් ද නිකුත් කළාය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම සම්බන්ධයෙන් අයදුම්පතක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශය වෙත මෙතෙක් ඉදිරිපත් නොකර ඇති බවත් ඔහු නව විදේශ ගමන් බලපත්‍රය අයදුම් කිරිමේ දි පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ලිපිය ගමන් බලපත්‍ර අංශය වෙත ඉදිරිපත් කළ බවට මතකයක් ඇති බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශය නිලධාරියෙකු රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් කරමින් සදහන් කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වා සිටියේය.

මෙහිදි ආගමන විගමන ලේජරවල සටහන් කරුණු හා පරිගණක දත්ත වාර්තා පරස්පරතාවයකින් යුතු බවට මෙතෙක් කළ විමර්ශනයේ දි කරුණු අනාවරණය වන බවට රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සිරන්ජනි කුමාරි, රිද්මි අමෝදා

(Visited 694 times, 1 visits today)

Related posts

Leave a Comment