ශෂේන්ද්‍ර රාජපක්ෂ චීන බලාගාරයකට නීතිවිරෝධී ඉඩම් නිදහස් කිරිමෙන් කුඹුක්කන්ඔය ජන දිවිය වනසයි

ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා කටයුතු කළ අවදියේ ඔහුගේ නීති විරෝධී සහයෝගය මත දැව ඉන්දන තාප බලාගාරය ඉදි කිරීමට ග්‍රීන් වොට්ස් සමාගමට ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් කුමාරවත්ත කොටසේ අක්කර 50ක පමණ භූමි ප‍්‍රදේශයක් ලබාදී ඇති අතර මේ වනවිට එම විදුලි බලාගාරය හේතුවෙන් මොනරාගල, මදුරුකැටිය ග‍්‍රාම නිලධාරී වසමට අයත් කලවැල්ආර ගම ප‍්‍රදේශයේ කුඹුක්කන් ඔයේ පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නා පවුල් 10,000ක් හා මෙම ඔයේ ජලයෙන් වගා කෙරෙන කුඹුරු අක්කර 3,500ක් පමණ මේ වනවිට හානියට ලක් ව ඇති බව ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය සජීව චාමිකර මහතාගේ නිරීක්ෂණ ලිපියක් මගින් තහවුරු වේ.

මෙම දැවැන්ත පරිසර හානියට එරෙහිව 2009 හා 2010 වසරවල කුඹුක්කන වතු යායේ සේවක පිරිසක් ඊට එරෙහිව උද්ඝෝෂණය කිරීමේදී මොනරාගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්. රත්නවීර මහතා විසින් ඔහුගේ ආධාරකරුවන් භාවිතා කර උද්ඝෝෂකයන්ට පහර දී පළවාහැර මෙම ව්‍යාපෘතියට ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාට ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දී ඇති බවද ඉන් තහවුරු වේ.

මෙහි සම්පූර්ණ ලිපිය පහතින් පල වේ…

මොනරාගල, මදුරුකැටිය ග‍්‍රාම නිලධාරී වසමට අයත් කලවැල්ආර ගම ප‍්‍රදේශයේ කුඹුක්කන් ඔය දකුණු ඉවුරේ පවත්වාගෙන යන ග්‍රීන් වොට්ස් පෞද්ගලික සමාගමට (Green Watts Pvt Ltd) අයත් ග්ලිරිසීඩියා දැව ඉන්දන තාප බලාගාරයෙන් (Dendro Power Plant) බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් කුඹුක්කන් ඔයේ පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නා පවුල් 10,000ක් හා මෙම ඔයේ ජලයෙන් වගා කෙරෙන කුඹුරු අක්කර 3500 ක් පමණ මේ වන විට හානියට ලක් ව තිබේ.

මෙරට 103ක් වන ගංගා අතුරින් කර්මාන්තශාලා අපද්‍රව්‍යවලින් දූෂණයට ලක් නොවූ ඉතා ම අතලොස්සක් වන ගංගා අතුරින් එකක් වූ කුඹුක්කන් ඔයමෙම තාප බලාගාරය හේතුවෙන් අද වනවිට දරුණු ලෙස දූෂණයට ලක් වෙමින් තිබේ.

චීන – ශ්‍රී ලංකා පෞද්ගලික හවුල්කාර සමාගම් දෙකක් යටතේ මෙම බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතරමෙහි චීන හවුල්කාර සමාගම වන්නේ Messrs Beijing Full Dimension Power Tech Company Ltdය.

චීන බලාගාරයේ ස්වභාවය

මෙම බලාගාරය ග්ලිරිසීඩියා දැව ඉන්දන තාප බලාගාරයක් ලෙස කි‍්‍රයාත්මක වේ. මකුලත, නංචි, ලාඩප්පා හා වැටහිරියා යන විවිධ නම් වලින් හඳුන්වන ග්ලිරිසීඩියා (Gliricidia sepium) ශාකයේ දැව භාවිතා කර සිදු කරන මෙම බලාගාරය මඟින් මෙගා වොට් 10ක විදුලි බලයක් උත්පාදනය කිරීමට සැලැසුම් කර ඇත. නමුත් අද වනවිට මෙගා වොට් 4ක විදුලි බලයක් නිපදවන අතර ඒ සඳහා දිනකට මෙට්‍රික් ටොන් 300ක ග්ලිරිසීඩියා දැව භාවිතා කරයි. මෙම දැව භාවිතයෙන් බොයිලේරු හයක් මගින් දර දහනය කර හුමාල ටර්බයින තුනක් මගින් විදුලිය නිපදවීම සිදු කරයි.

මෙම බලාගාර ව්‍යාපෘතිය අරමුණු කිහිපයක් මත පදනම් ව ආරම්භ කර ඇත. පුනර්ජනනීය බලශක්තිය (Renewable Energy) වර්ධනය කිරීම හා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් පැය 70,000ක විදුලි බල ධාරිතාවක් එක් කිරීම ප‍්‍රධාන අරමුණු විය. බලාගාරයට අවශ්‍ය ග්ලිරිසීඩියා දැව ලබා ගැනීම සඳහා ඇති කරන වගා බිම් මගින් තිරසර කෘෂි කර්මාන්තයක් ඇති කිරීම, කෘෂි රසායනික භාවිතයෙන් තොර ව පශු සම්පත් සංවර්ධනය, හරිත ආවරණය වර්ධනය කිරීම, ග්ලිරිසීඩියා වගාවට යොමු කිරීම මගින් කාන්තාවන්ගේ ආදායම් උත්පාදන මාර්ග වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අනෙක් අරමුණු අතර විය. නමුත් මෙම බලාගාරයේ අද වන විට සිදු කර ඇත්තේ විශාල ජනතාවක් පානීය ජලය හා වෙනත් දෛනික අවශ්‍යතාවන් සඳහා ජලය ලබා ගත් ප‍්‍රධාන ජල මූලාශ‍්‍රයක් වන කුඹුක්කන් ඔය දූෂණය කිරීම හා කුඹුරු අක්කර දහස් ගණනකට අපජලය යොමු කිරීම මගින් ඒවා භාවිතයට ගත නොහැකි තත්ත්වයට පරිවර්තනය කිරීමයි. මේ සියල්ල සිදු කර ඇත්තේ මාස අටක කාලයක බලශක්ති උත්පාදන ක්‍රියාවලිය තුළ ය.

2009 වසරේ සිට බලාගාරයේ ඉදිකිරීම් සිදු කළ ද බලාගාරයට අවශ්‍ය ග්ලිරිසීඩියා දැව ලබා ගැනීමට මෙම සමාගම මගින් අලුතින් කිසිදු වගා බිමක් ඇති කර නොමැත. ව්‍යාපෘතියේ අරමුණ කෙසේ වුව ද ග්‍රීන් වොට්ස් සමාගම විසින් සිදු කරන්නේ දැනට ගොවි බිම් වල ඇති ග්ලිරිසීඩියා දැව බලාගාරයට ලබා ගැනීමයි. එමගින් මෙරට හරිත ආවරණය තවදුරටත් අඩු වන අතර ව්‍යාපෘතියේ අරමුණු ලෙස නිලධාරීන් හා ජනතාව මුලා කිරීමට සඳහන් කර ඇති හරිත ආවරණය වැඩි කිරීමක් මෙම ව්‍යාපෘතියෙන් සිදු නොවේ.

මෙම බලාගාරයට දැනට ග්ලිරිසීඩියා දැව භාවිතයෙන් ක්‍රියාත්මක වුව ද ඉදිරියේ දී අවශ්‍ය වන දැව ප‍්‍රමාණය ග්ලිරිසීඩියා ශාක මගින් සැපිරීමට නොහැකි වන අවස්ථාවල දී වෙනත් ශාක වල දැව ලබා ගැනීම සිදු වනු ඇත. එහි ප‍්‍රතිඵලය වන්නේ මොනරාගල හා ඒ ආශ්‍රිත දිස්ත්‍රික්කවල ශාක ආවරණය සීග‍්‍රයෙන් ඉවත් වීම හා ඒ මගින් මෙම දිස්ත්‍රික්කවල ජල හිඟය තවදුරටත් උග‍්‍ර මට්ටමකට පරිවර්තනය වීම ය. මේ තත්ත්වය ඉංගිරිය ප‍්‍රදේශයේ ස්ථාන ගත කර ඇති මෘදු දැව භාවිතයෙන් තුනී ලෑලි නිෂ්පාදනය කරන මර්බොග් කර්මාන්තශාලාවේ ද දැක ගත හැකි විය. කල්පිරුණු, ගලවා ඉවත් කරන රබර් ශාක වල දැව භාවිතයෙන් මෙම කර්මාන්තශාලාව ක්‍රියාත්මක කරන බව පළමු සැලැසුමේ සඳහන් වුව ද අද වනවිට ලංකාව පුරා තෙත් හා අතරමැදි කලාපයේ ගෙවතු ආශ්‍රිත ව ඇති මෘදු දැව ශාක මහ පරිමාණයෙන් මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන සඳහා යොදා ගනී. එය ඉතා ම දරුණු ලෙස ලංකාවේ හරිත ආවරණය අඩු කිරීමට බලපා ඇත. ඒ හේතුවෙන් වැසි චක‍්‍රය අක‍්‍රමවත් වීම, ජලය භූගත වීමේ යාන්ත‍්‍රණය අඩාල වීම හා ජල අර්බුද ඇති වීම වර්ධනය වෙමින් පවතී. මොනරාගල, චීන තාප බලාගාරය මගින් ද ඉදිරියේ දී මේ තත්ත්වය වර්ධනය වනු ඇත.

චීන බලාගාරයෙන් කුඹුක්කන් ඔය දූෂණය කිරීම

මෙම බලාගාරයේ ඉදි කිරීම් 2009 වසරේ දී ආරම්භ කළ ද බලාගාරය ඉදි කර විදුලිය ජනනය කිරීම ආරම්භ කළේ 2018 දෙසැම්බර් මාසයේ සිට ය. එතැන් සිට ගත වූ මාස අටක කාලය පුරා ම අපජලය කුඹුක්කන් ඔයට බැහැර කිරීම සිදු කර ඇත. ජූලි මාසයේ සිට ආරම්භ වූ අධික නියං සමය තුළ දී එම අපජලය සියල්ල ම කුඹුක්කන් ඔයේ සාන්ද්‍රගත වීම සිදු විය. ඒ සමඟ ම මේ බලාගාරයේ හානිකර ක්‍රියාකාරීත්වය පිළිබඳ ව අනාවරණය වීමට පටන් ගැනින.

කුඹුක්කන් ඔයට අපජලය බැහැර කිරීමට අමතර ව ඔයෙන් විශාල ජලධාරිතාවක් දිනකට බලාගාරයේ කි‍්‍රයාකාරීත්වය සඳහා ලබා ගැනීම සිදු වේ. ග්ලිරිසීඩියා දැව දහනය කර හුමාලය මඟින් හුමාල ටර්බයිනවල ක්‍රියාකාරීත්වයෙන් විදුලිය නිපදවීම සඳහා හා යන්ත‍්‍ර සූත‍්‍රසිසිල් කිරීමේ දී ඉවත් වන අධික ලෙස උණුසුම් ජලය සිසිලනය කිරීම සඳහා ද කුඹුක්කන් ඔයේ ජලය භාවිතා කිරීම සිදු කරයි. මේ නිසා දිනකට විශාල ජල ප‍්‍රමාණයක් කුඹුක්කන් ඔයට මෙන් ම කුඹුක්කන් ඔයේ ජලය ලබා ගන්නා ගොවීන්ට හා විශාල ජෛව ප‍්‍රජාවකට අහිමි වේ. නමුත් අදාළ සමාගමේ පාලනාධිකාරිය සඳහන් කරන්නේ භූගත ජලය හා ගලා යන වැසි ජලය මෙම බලාගාරය ස`දහා භාවිතා කරන බව ය. නමුත් මේ සියල්ල සම්පූර්ණ අසත්‍ය බව මේ වන විට තහවුරු වී ඇත.

චීන බලාගාරයෙන් බලපෑමට ලක් වන ගොවි බිම්

ලංකාවේ දිගින් දොළොස්වන ස්ථානය හිමි කුඹුක්කන් ඔය ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ ලූණුගල කඳුවැටියෙන් ආරම්භ වී කිලෝමීටර 116ක් පුරා ගමන් කර අරුගම්බේ ප‍්‍රදේශයෙන් මුහුද හා එක් වේ. මෙහි සමස්ත ජලපෝෂක ප‍්‍රදේශය වර්ග කිලෝමීටර 1211කි. කුඹුක්කන් ඔයේ ගලා යන ජලය වාරි කර්මාන්තය සඳහා භාවිතයට ගැනීමට කුඹුක්කන් ඔය අමුණ 1932 වසරේ දී ඉදි කර ඇති අතර පසුව ඩී.එස්. සේනානායක මහතා විසින් 1956 වසරේ දී මෙම අමුණ යටතේ කොලනි ක‍්‍රමය හඳුන්වා දී ගොවි ජනපද ඇති කර ජනතාව පදිංචි කර තිබේ. එම ජනතාව අද දක්වා ම යල හා මහ දෙකන්නය වගා කර ගැනීමට අපහසු ව ජල හිඟයෙන් පීඩා විඳි නමුත් ජල දූෂණයෙන් පීඩාවට පත් වීම ආරම්භ වී ඇත්තේ මේ වසරේ සිට ය. මේ සඳහා සම්පූර්ණයෙන් ම වගකිව යුතු වන්නේ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු සියලුම රාජ්‍ය ආයතනයි.

මෙහි ජලය භාවිතා කර දැව ඉන්දන බලාගාරයට කිලෝමීටර 2ක් පමණ පහළින් පිහිටි දෙකේ කණුව ප‍්‍රදේශයේ කුඹුක්කන් ඔයේ ජලය ලබා ගෙන මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල, බුත්තල හා මොනරාගල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනට අයත් පවුල් 10,000කට පමණ පානීය ජලය ලබා දීම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සිදු කරයි. මීට අමතර ව බලාගාරයට මීටර 300ක් පමණ පහළින් පිහිටි කුඹුක්කන් ඔය අමුණට පහළින් ජලය ලබා ගෙන කුඹුරු අක්කර 3500කට පමණ යල හා මහ දෙකන්නය වගා කිරීමට ජලය ලබා දේ. මේ කුඹුරු ඉඩම් සියල්ල බුත්තල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාලිගාවිල, ඔක්කම්පිටිය, හොරොම්බුව, පහළගම, සුදු වතුර ආර හා ගාමිණී පුර යන ග‍්‍රාම නිලධාරී වසම්වල විහි දී තිබේ. මෙම වගා බිම්වලට ජලය ලබා ගැනීම සඳහා කුඹුක්කන් ඔයේ කුඩා අමුණු 24ක් ඉදි කර තිබේ. මෙම අමුණුවලට අමතර ව කුඹුක්කන් ඔයේ ජලයෙන් සද්දාතිස්ස වැවට හා පලුකපිටිය වැවට ජලය ලබා ගෙන කුඹුරු අක්කර 500ක් හා 200ක් බැගින් සමස්තය අක්කර 700ක් පමණ වගා කෙරේ. මීට අමතර ව මෙම ඔයේ ජලය දෛනික ජල අවශ්‍යතාවන් වන සේදුම් ක්‍රියාවලීන් හා ස්නානය සඳහා භාවිතයට ගැනීමට නාන තොටුපොළවල් විශාල ප‍්‍රමාණයක් පිහිටා තිබේ. මේ සියල්ල පිහිටා ඇත්තේ දැව ඉන්දන බලාගාරයට පහළින් කුඹුක්කන් ඔය අමුණේ සිට කුඹුක්කන් ඔය යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වන ප‍්‍රදේශය දක්වා ජනාවාස සහිත ප‍්‍රදේශයේ ය.

කුඹුක්කන් ඔය යාල හා කුමන ජාතික වනෝද්‍යාන තුළින් ගලා ගොස් අරුගම්බේ ප‍්‍රදේශයෙන් මුහුද හා එක් වේ. මෙම දැව ඉන්දන බලාගාරයේ අපවිත‍්‍ර ජලය හේතුවෙන් පානීය ජලය හා වාරි ජලය ලබා ගන්නා ජනතාව පමණක් නොව යාල හා කුමන ජාතික වනෝද්‍යානවල වන ජීවීන් හා නොගැඹුරු සාගරය ආශ්‍රිත ජීවීන්ද මෙම අප ජලය හේතුවෙන් බලපෑමට ලක් වේ. මීට අමතර ව බලාගාරයේ ග්ලිරිසීඩියා දැව දහනයේ දී පිට වන දුමාරයෙන් ද ඒ අවට ජනතාව ස්වසන ආබාධ හේතුවෙන් දැඩි පීඩාවට පත් වෙමින් සිටී. රාත්‍රී කාලයේ දී මෙම දුමාරය පහළ මට්ටමේ රැදී තිබීම නිසා ඇති වන කායික පීඩාවන් වර්ධනය වේ.

නීති විරෝධී චීන බලාගාරය ස්ථාපිත කිරීමට දේශපාලකයන්ගේ සහය

ග්‍රීන් වොට් සමාගමට අයත් දැව ඉන්දන තාප බලාගාරය ඉදි කර ඇත්තේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් කුමාරවත්ත කොටසේ අක්කර 50ක පමණ භූමි ප‍්‍රදේශයක ය.

මෙම භූමිය කුඹුක්කන් ඔයේ දකුණු ඉවුර දිගේ විහිදී ඇත. මෙම ඉඩම් අදාළ සමාගමට ලබා දීමේ ක්‍රියාවලිය සඳහා පසුගිය රජය පැවති සමයේ ඌව පළාත් මහ ඇමතිවරයා වූ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් නීති විරෝධී ව කටයුතු කර තිබේ. ඔහුගේ නීති විරෝධී සහයෝගය මත මෙම ව්‍යාපෘතිය සඳහා සියලු ම ඉඩම් ලබා ගැනීම සිදු කර ඇත. එම ක්‍රියාවලිය නීති විරෝධී ව සිදු කිරීමේ දී 2009 හා 2010 වසර වල කුඹුක්කන වතු යායේ සේවක පිරිසක් ඊට එරෙහි ව උද්ඝෝෂණය කිරීමේ දී මොනරාගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්. රත්නවීර මහතා විසින් ඔහුගේ ආධාරකරුවන් භාවිතා කර උද්ඝෝෂකයන්ට පහර දී පළවාහැර මෙම ව්‍යාපෘතියට ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාට ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දී තිබේ.

මේ ආකාරයෙන් නීති විරෝධීව ආරම්භ කළව්‍යාපෘතියට කිසිදු පාරිසරික අනුමැතියක් ලබා ගෙන නොමැත. ඊට එරෙහි ව කිසිදු වගකිව යුතු රාජ්‍ය ආයතනයක් කටයුතු කර නොමැත. එහි අවසාන ප‍්‍රතිඵලය වී ඇත්තේ කුඹුක්කන් ඔයේ ජලය ජනතාවට හා වන සතුන්ට භාවිතයට ගත නොහැකි තත්ත්වයට අදාළ සමාගම විසින් විනාශ කිරීම යි. මේ නිසා විශාල ජනතාවක් අද වනවිට සෞඛ්‍ය ප‍්‍රශ්නවලට, පානීය හා වාරි ජල අර්බුදයන්ට මුහුණ දී ඇත.

චීන සමාගමකට අයත් මෙම බලාගාරය ඉදි කිරීම සඳහා අවශ්‍ය සියලු යන්ත්‍රෝපකරණ නැව් මගින් ප‍්‍රවාහනය සිදු කර ඇත්තේ චීන ප‍්‍රධාන සමාගමක් වන COSCO Shipping Project Logistics Co. Ltd මගිනි. මේ සියල්ල ම හම්බන්තොට, මාගම්පුර වරාය හරහා ලංකාවට ගෙන එ්ම සිදු කර ඇත්තේ නොමිලේ වීම විශේෂත්වයකි.

මෙම බලාගාරයේ සේවකයින් 131ක් පමණ සේවය කරන අතර ඉන් 65 දෙනෙක් චීන ජාතිකයින් වේ. ඔවුන් සියලූ දෙනාම සංචාරක වීසා මගින් මෙරටට පැමිණ රැකියාවේ නිරත වේ. මීට අමතර ව මෙම බලාගාරයෙන් ලැබෙන ආදායමෙන් සියයට 70ක් චීන සමාගමට ද සියයට 30 ක් ලංකාවට ද හිමි වන පරිදි ගිවිසුම් ගත වී ඇත.

මේ සියල්ලෙන් ම පෙනී යන්නේ මෙම චීන බලාගාරය මගින් කුඹුක්කන් ඔයේ ජලය හා අවට වාතය දූෂණය කරද්දී, ගොවි ජනතාව අවතැන් කරද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් ඊට එරෙහි ව කටයුතු කිරීම වෙනුවට ම`ග හැර සිටීමට හේතුව රාජ්‍ය ආයතන හා මෙම චීන සමාගම අතර සම්බන්ධතා පැවතීම බව ය. මේ නිසා ම බලාගාරය ස්ථාපිත කිරීමේ දී හා පවත්වාගෙන යාමේ දී අණ පනත් ගණනාවක් උල්ලංඝනය කිරීම හා ඒ නිසා ම දැවැන්ත ජල දූෂණයක් මෙම බලාගාරයෙන් සිදු වෙද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් ඒ පිළිබඳව සොයා බැලීමට මැදිහත් නොමැති වීම කනගාටුවට කරුණකි.

කුඹුක්කන් ඔයට දූෂණයෙන් තොර ව පැවතීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීම

කුඹුක්කන් ඔයට බලපෑමකින් තොර ව නිදහසේ ගලා යාමට අයිතියක් ඇත. නැතහොත් ඊට ගඟක් ලෙස පැවතීමේ අයිතියක් ඇත.එම අයිතියට බලපෑම් කිරීමට හෝ එම අයිතිය අහිමි කිරීමට කිසිවකුට හැකියාවක් නොමැත. එපමණක් නොව දූෂණයෙන් තොර ව ගලා යාමට ද කුඹුක්කන් ඔයට අයිතියක් ඇත. එම අයිතිය අහිමි කිරීමට ද කිසිවකුට හැකියාවක් නොමැත. මීට අමතර ව කුඹුක්කන් ඔයට නෛතික පුද්ගලභාවයක් ඇත. එබැවින් කුඹුක්කන් ඔය දූෂණය කිරීම යනු පුද්ගලයකුට හානි කිරීමට සමාන ය. මේ සියල්ල හුදු ප‍්‍රකාශ ලෙස හැගුන ද විවිධ රට වල අධිකරණ මගින් ලබා දුන් නඩු තීන්දු කිහිපයකින් මේ තත්ත්වය සනාථ කොට ඇත.

2017 වසරේ දී නවසීලන්තයේ වැන්ගනුයි ගඟ (Whanganui River) දූෂණය කිරීම හා සම්බන්ධ නඩුවක දී නවසීලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දුන් නඩු තීන්දුවකින් තහවුරු කර ඇත්තේ වැන්ගනුයි ග`ගට යුතුකම් හා වගකීම් වලින් බැදුණු නෛතික පුද්ගලභාවයක් පවතින බව යි. ලෝකයේ අධිකරණයකින් පළමු ව මෙය නවසීලන්ත අධිකරණයෙන් ප‍්‍රකාශ කිරීමෙන් අනතුරු ව 2017 වසරේ දී ම ඉන්දියාවේ උත්තරාකන්ඞ් මහාධිකරණය විසින් ගංගා හා යමුනා ගංගා දූෂණය කිරීම හා සම්බන්ධ ව විභාග වූ නඩුවක දී මෙම ශුද්ධ වූ ගංගා පුද්ගලයකුට සමාන අයිතිවාසිකම් සහිත බවට ප‍්‍රකාශයට පත් කෙරින. එහි දී ජීවත් වන පුද්ගලයකුගේ සියලූ ම අයිතිවාසිකම්, යුතුකම් හා වගකීම් සහිත නෛතික පුද්ගලයකුගේ තත්ත්වයට ප‍්‍රකාශයට පත් කර ඇත. මේ අනුව මෙම ගංගා දූෂණය කිරීම, පුද්ගලයකුට හානි කිරීමට නිත්‍යනුකූලව සමාන වන බව ද සඳහන් කර ඇත. එමගින් ගගේ ජීවත් වීමේ අයිතිය උල්ලංඝනය වන බවට ගංගාවට අපද්‍රව්‍ය එක් කර දූෂණය කිරීම යන්න ප‍්‍රමාණවත් වන බවට දක්වා ඇත. එම නඩු තීන්දුවේ දී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම ගංගා අතීතයේ සිට අප සැමට ශාරීරික හා අධ්‍යාත්මික පෝෂණය ලබා දී ඇති බවත් සමස්ත ප‍්‍රජාවගේ ජීවිතය, සෞඛ්‍යය, යහපැවැත්ම ලබා දී ඇති බවත් මෙම ගංගා කඳුකරයේ සිට මුහුද දක්වා සියලු ප‍්‍රජාවගේ ජීවත්වීම පවත්වාගෙන ගොස් ඇති බවත් ය.

මෙම නඩු තීන්දු මත පදනම් ව කුඹුක්කන් ඔයට චීන තාප බලාගාරයෙන් අපද්‍රව්‍ය එක් කිරීමෙන් සිදු කර ඇත්තේ වසර දහස් ගණනක සිට අද දක්වා මිනිසා ඇතුළු විශාල ජෛව ප‍්‍රජාවකට ජීවය ලබා දුන් ගංගාවක් දූෂණය කර සමස්ත ජෛව ප‍්‍රජාවගේ ජීවත් වීමේ අයිතිය අහිමි කිරීමකි. නැතහොත් කුඹුක්කන් ඔයට දූෂණයෙන් තොර ව පැවතීමේ අයිතිය අහිමි කිරීමකි. මේ නිසා අප කුඹුක්කන් ඔයට ජීවත් වීමට ඇති අයිතිය අහිමි කිරීමට එරෙහි ව සටන් කළ යුතු ව ඇත. එම අයිතිය තහවුරු කිරීම සඳහා අණ පනත් ගණනාවක නෛතික ප‍්‍රතිපාදන ඉවහල් කර ගත හැකි ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම

ශ‍්‍රී ලංකා ප‍්‍රජාත‍්‍රාන්තික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27 (14) වන ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුතු බව සඳහන් වේ. එ් අනුව කුඹුක්කන් ඔය හා එ් ආශ‍්‍රිතපරිසරය ආරක්ෂා කිරීමට, එම ජලජ පද්ධතිය දූෂණය වීම වැළැක්වීම හා එහි ගුණාත්මකභාවය පිරිහී යාම වැළැක්වීමට මෙන්ම එය සුරක්ෂිත කොට අනාගත පරපුරේ පැවැත්ම උදෙසා දායාද කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම රජය බැඳී සිටී. එ් අනුව රජයේ සියලූ ආයතන තමන්ට පැවරී ඇති බලතල ප‍්‍රකාරව කටයුතු කරමින් කුඹුක්කන් ඔයේ ජල සුරක්ෂිතතාව ඇති කිරීමට කටයුතු කළ යුතුව ඇත. නමුත් කිසිදු රාජ්‍ය ආයතනයක් ග්‍රීන් වොට්ස් තාප බලාගාරයෙන් සිදු කරන ජල දූෂණයට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කරනොමැත.

මේ නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) ව්‍යවස්ථාවට අනුව සඳහන් වන ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැක ගැනීම ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තකුගේම යුතුකම වන්නේය යන කරුණ මත පදනම් ව කුඹුක්කන් ඔය දූෂණය කිරීමට එරෙහිව නීතිරීති ක‍්‍රියාත්මක කිරීම සඳහා අදාළරාජ්‍ය අංශ යොමු කිරීම පමණක් නොව මෙම ඔයේ සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා, සමාජය යොමු කිරීම, රාජ්‍ය අංශයට බලපෑම් කිරීම, එම හානිකර ක්‍රියාවන්ට එරෙහිව නීත්‍යනුකූලව ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට ඕනෑම පුරවැසියකුට අයිතිය ඇත. එම අයිතිය භාවිතා කිරීමට ජනතාව ඒකරාශී විය යුතු ය.

දණ්ඩ නීති සංග‍්‍රහය උල්ලංඝනය කිරීම

දණ්ඩ නීති සංග‍්‍රහයේ වගන්ති කිපයක් භාවිතා කර කුඹුක්කන් ඔයට අප ජලය හා අපද්‍රව්‍ය බැහැර කිරීම පාලනය කළ හැකිය. මෙම පනතේ 261 වන වගන්තියට අනුව පොදුවේ අයිතිවාසිකම් භුක්ති විඳීමේ හැකියාව පවතින ප‍්‍රභවයක් අන්තරායකට හෝ බාධාවකට ලක් කිරීම මහජන පීඩාවකි. එවන් ක‍්‍රියාවක නිරත වන පුද්ගලයකු වැරදිකරුවකු වන අතර එය සමාව දිය නොහැකි වරදකි. මෙම පනතේ 270 වන වගන්තියට අනුව යම් පොදු ජල ප‍්‍රභවයක් අපවිත‍්‍ර කරන පුද්ගලයකු වැරදිකරුවකු වන අතර මාස 3ක් දක්වා බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් පනහක දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකිය. තවද මෙම පනතේ 185 වන වගන්තියට අනුව දිය පහරකට අපද්‍රව්‍ය බැහැර කිරීම නොකරන ලෙස දැනුම් දුන් පසුව හා පවතින නීති උල්ලංඝනය කරමින් එවන් ක‍්‍රියාවක නිරත වන පුද්ගලයකු මාසයක් දක්වා ලිහිල් බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් පනහක දඩයකට හෝ මේ දෙකට ම ලක් කළ හැකිය. තවද අපද්‍රව්‍ය දියපහරවලට බැහැර කිරීම හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයට හෝ සෞඛ්‍යයට හානියක් සිදුවුවහොත් හය මාසයක් දක්වා බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් සීයයක් දක්වා දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකිය.

මහජනතාවගෙන් මේ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි මත පොලීසියට හෝ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ට මහේස්ත‍්‍රාත් අධිකරණයක මේ පිළිබඳව කරුණු වාර්තා කළ හැකිය. එපමණක් නොව මේ හේතුවෙන් පීඩාවට පත්වන පුද්ගලයකුට ද මහේස්ත‍්‍රාත් අධිකරණයක මෙම කරුණු වාර්තා කර සහනයක් ලබා ගැනීමේ හැකියාව ඇත.

අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත උල්ලංඝනය කිරීම

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතට අනුව කුඹුක්කන් ඔයට කසළ බැහැර කිරීම හා අපජලය බැහැර කිරීමට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ඇත. මෙම පනතේ 98(අ) වගන්තියට අනුව මහජනතාව පොදුවේ භාවිතා කරන ගංගාවක් හෝ ඇළක් දූෂණයට ලක් කළ විට එය ඉවත් කිරීමේ හැකියාව ඇත. 104 වන වගන්තියට අනුව මිනිසුන්ගේ සෞඛ්‍යයට බරපතළ හානි වන ක‍්‍රියාවක් සිදු වන්නේ නම් ඊට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කිරීමට හැකියාව ඇත. මෙම පනතේ 105 වන වගන්තියට අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ අර්ථකථනය කර ඇති පරිදි මහජන පීඩාවක් නැවත නොකර සිටින ලෙසට හෝ දිගටම නොකරන ලෙසට ආඥවක් නිකුත් කිරීමේ බලය ඇත.

කුඹුක්කන් ඔය ට අපද්‍රව්‍ය බැහැර කිරීම සිදුකරන අවස්ථාවක දී එ් සම්බන්ධයෙන් පොලීසියට හෝ මහජන සෞඛ්‍යය පරීක්ෂක වෙත පැමිණිලි කිරීමෙන් පසුව එ් සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් අධිකරණයක් වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් එම ක්‍රියාව නතර කිරීමට ක්‍රියාමාර්ග ගත හැකිය. ජල මූලාශ‍්‍රවලට අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් පීඩාවට පත්වන පුද්ගලයින්ට ද එ් පිළිබඳව මහේස්ත‍්‍රාත් අධිකරණයක් වෙත කරුණු වාර්තා කර තහනම් නියෝගයක් ලබා ගැනීමට හැකියාව ඇත.

පීඩන ක්‍රියා ආඥ පනත උල්ලංඝනය කිරීම

1939 අංක 61 දරන පීඩන කි‍්‍රයා ආඥ පනතට අනුව කුඹුක්කන් ඔයට අපද්‍රව්‍ය බැහැර කිරීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇත. මහජන සෞඛ්‍යයට බලපෑම් ඇති වන ලෙස කසළ බැහැර කිරීම සිදුවන අවස්ථාවල දී පොලීසියට හා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ට මෙම පනතට අනුව එවන් ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත.

මෙම පනතේ 2(6) වගන්තියට අනුව අපද්‍රව්‍ය පිටතට බැහැර කිරීම වරදකි. පනතේ 3 වන වගන්තියට අනුව මෙම ක්‍රියා නතර කිරීමට මහේස්ත‍්‍රාත් අධිකරණයකින් දැනුම් දුන් පසුව ද එය දිගින් දිගටම කර ගෙන යන්නේ නම් එ් සඳහා අතිරේක දණ්ඩනයකට යටත් කිරීමේ බලය ඇත. පනතේ 12 වන වගන්තියට අනුව එවන් ක්‍රියාවක නිරත වන පුද්ගලයකුට එම අපද්‍රව්‍ය නැවත ඉවත් නොකිරීම හා එය ඉවත් කිරීම නොකර හරින්නේ නම් එ් සඳහා දණ්ඩනයක් නියම කිරීමට හැකියාව ඇත.

මෙවන් හානිකර ක්‍රියාවක නිරත වන යම් කර්මාන්තයක් සම්බන්ධයෙන් හෝ දුටු විට හෝ එ් සම්බන්ධයෙන් මහජනතාවගෙන් තොරතුරු ලැබුණු විට එම කරුණු මහේස්ත‍්‍රාත් අධිකරණයක් වෙත වාර්තා කර එම ක්‍රියාව නතර කිරීමට පියවර ගැනීමේ බලය මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ට හෝ පොලිස් නිලධාරීන්ට ඇත. මෙම පනතේ 20 වන වගන්තියට අනුව යම් නිලධාරියකු එම හානිකර ක්‍රියා නතර කිරීමට ක්‍රියාමාර්ග නොගන්නේ නම් දණ්ඩනයකට යටත් කිරීමේ බලය ඇත.

ප‍්‍රාදේශීය සභා පනත උල්ලංඝනය කිරීම

1987 අංක 15 දරන ප‍්‍රාදේශීය සභා පනතට අනුව කුඹුක්කන් ඔයට අපද්‍රව්‍ය එක් කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත. මෙම පනතේ 78 හා 100 වන වගන්තිවලට අනුව මහජන පීඩා වැළැක්වීමට ඇති අණ පනත් ක්‍රියාවේ යෙදවීමට ප‍්‍රාදේශීය සභාවට බලය ඇත. මේ අනුව පීඩන ක‍්‍රියා ආඥ පනත, අපරාධ නඩු විධාන සංග‍්‍රහය හා දණ්ඩ නීති සංග‍්‍රහය අනුව මහජන පීඩා වැළැක්වීමට නීතිය ක‍්‍රියාත්මක කිරීමේ බලය ප‍්‍රාදේශීය සභාව සතුවේ. මෙම පනතේ 105 වන වගන්තියට අනුව ජලය භාවිතයට ගන්නා ජලාශයකට හෝ එ් හා සම්බන්ධ ජල මාර්ගයකට යම් කර්මාන්තයකින් අපද්‍රව්‍ය එක් කිරීම හා අපද්‍රව්‍ය එක් කිරීමට සැලැස්වීම නීති විරෝධී වේ. එවන් ක‍්‍රියාවකට වරදකරුවකු කරන තැනැත්තෙකුට රුපියල් පන්සියය දක්වා දඩයකට යටත් කළ හැකි අතර එම වරද නැවත සිදුකරන අවස්ථාවල දී දිනකට රුපියල් සියයය බැගින් අතිරේක දඩයකට ද යටත් කළ හැකිය.

මෙම පනතේ 106 වන වගන්තියට අනුව යම් ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයක් තුළ සෞඛ්‍යයට බලපෑමක් ඇති වන පරිදි යම් කර්මාන්තශාලාවක් පවත්වා ගෙන යන්නේ නම් එම කර්මාන්තශාලාවේ අපද්‍රව්‍ය හානිකර ලෙස බාහිර ජල මූලාශ‍්‍රවලට එක් කරන්නේ නම් හා එ්මඟින් මානව සෞඛ්‍යයට බලපෑම් එල්ල වන්නේ නම් එම කර්මාන්තශාලාව පවත්වාගෙන යන්නා වරදකරුවකු වේ. එවන් වරදකට වරදකරු කරනු ලැබූ විට මහේස්ත‍්‍රාත් අධිකරණයකින් නියම කරන දඩයකට යටත් විය යුතු අතර එම කර්මාන්තශාලාව පවත්වාගෙන යාම නතර කරන ලෙසට ආඥවක් නිකුත් කිරීමේ බලය මහේස්ත‍්‍රාත්වරයාට ඇත.

මෙම පනතේ 77 වන වගන්තියට අනුව යම් ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයක් තුළ පොලිස් නිලධාරීන්ට හා ග‍්‍රාමසේවා නිලධාරීන්ට මහජන පීඩා වැළැක්වීම සඳහා පියවර ගැනීමේ බලය පවරා ඇත.

මෙම පනතේ 107 වගන්තියට අනුව සඳහන් වන්නේ 105 හා 106 වගන්තිවල සඳහන්වන ආකාරයට “පරිසර දූෂණය” යන්න අර්ථ නිරූපනය කර ඇත්තේ පරිසරයෙන් ලැබෙන ප‍්‍රයෝජන කිසිවක් කෙරෙහි අහිතකර ලෙස බලපාන අන්දමට නැතහොත් මහජන සෞඛ්‍යයට, ආරක්ෂාවට හෝ ශුභසිද්ධියට හෝ සෑම වර්ගයේම සතුන්ට, පක්ෂීන්ට, වන සතුන්ට, මත්ස්‍යයන්ට, ජලජ ජීවින්ට හෝ ශාකවලට උපද්‍රව සහිත තත්ත්වයක් නැතහොත් උපද්‍රවකාරී වියහැකි තත්ත්වයක් ඇති වන අන්දමට අපද්‍රව්‍ය පිට කිරීමෙන්, විමෝචනය කිරීමෙන්, නැතහොත් තැම්පත් කිරීමෙන් පරිසරයේ කවර හෝ කොටසක පවත්නා භෞතික, තාප, රසායනික, ජෛව හෝ විකිරණශීලී ගුණ කිසිවක් කෙලින්ම නැතහොත් අන්‍යාකාරයකින් වෙනස් කිරීමකි.

මේ අනුව තාප බලාගාරයෙන් මහජනතාවට හා අවට ජීවීන්ට බලපෑමක් වන ආකාරයෙන් කුඹුක්කන් ඔයට අපද්‍රව්‍ය බැහැර කිරීමට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව ප‍්‍රාදේශීය සභාවට ඇත. නමුත් මොනරාගල ප‍්‍රාදේශීය සභාව මෙම බලාගාරයෙන් කුඹුක්කන් ඔය දූෂණය කිරීමට එරෙහි ව මෙම කිසිදු නීතියක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත.

රජයේ ඉඩම් ආඥ පනත උල්ලංඝනය කිරීම

1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥ පනතට අනුව කුඹුක්කන් ඔයේ රක්ෂිත කලාපයේ තාප බලාගාරයට අදාළඅනවසර ඉදිකිරීම්වලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. මෙම ආඥ පනතේ 49 වන වගන්තියට අනුව ගංගාවක, ඇළක, දොළක, රක්ෂිත පැවතිය යුතු බව සඳහන් වේ. 50 වන වගන්තියට අනුව පොදු ජල මාර්ගයක් දෙපස නියමිත ප‍්‍රමාණයේ බිම් තීරුවක් රක්ෂිතයක් ලෙස පැවතිය යුතු බව සඳහන් වේ. එ් අනුව පොදු ජල මාර්ගයේ පළල අඩි 15ට වඩා අඩු නම් ඉවුරේ සිට දම්වැල් 1ක් නැතහොත් අඩි 66ක් (මීටර් 20ක්) රක්ෂිතයක් ලෙස පැවතිය යුතුය. පොදු ජල මාර්ගයේ පළල අඩි 15ත් 50ත් අතර නම් ඉවුරේ සිට දම්වැල් 2ක් නැතහොත් අඩි 132ක් (මීටර් 40ක්) රක්ෂිතයක් ලෙස පැවතිය යුතුය. පොදු දිය පහරේ පළල අඩි 50ට වඩා වැඩි නම් ඉවුරේ සිට දම්වැල් 3ක් නැතහොත් අඩි 198ක් (මීටර් 60ක්) රක්ෂිතයක් ලෙස ඉතිරි කළ යුතු වේ.

මෙම ආඥ පනතේ 52වන වගන්තියට අනුව ගංගාවක නියමිත රක්ෂිත ප‍්‍රදේශවල අනවසර භාවිතයක් හෝ අවනසර ඉදි කිරීමක් හෝ සිදුවන අවස්ථාවල දී එම ඉඩම් භුක්ති විඳි කාලය අනුව එහි අයිතිය අදාළ පුද්ගලයාට හිමි නොවේ. එසේ නැත්නම් කාලාවරෝධී අයිතිය හිමි නොවේ. මෙම පනතේ 53 වන වගන්තිය අනුව ගඟක රක්ෂිතයක් අනවසරයෙන් භුක්ති විඳින පුද්ගලයකුට ඉන් ඉවත් කිරීමට කටයුතු කිරීමේ දී හෝ එම භුක්ති විඳීම අහිමි කිරීමට කටයුතු කිරීමේ දී එම පුද්ගලයාට රජයට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් නොමැති අතර වන්දි හිමිවීමක් ද සිදු නොවේ.

මේ ආඥ පනතේ 229 වන වගන්තියට අනුව ගංගා දෙපස පිහිටි රක්ෂිතයක් කවර ආකාරයෙන් හෝ බදු දීමක්, අනවසරයෙන් අල්ලා ගැනීමක් නොකළ යුතු අතර එම කොටසේ කැළෑව වැවෙන්නට ඉඩ හැරිය යුතුය.මෙම නීතිරීති ක‍්‍රියාත්මක කිරීමේ බලය මොනරාගල ප‍්‍රාදේශිය ලේකම්ට හා දිස්ත‍්‍රික් ලේකම්ට තිබුණ ද අද වන තුරු මෙම නීති මෙම බලාගාරයට එරෙහි ව කි‍්‍රයාත්මක කර නොමැත.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීම

2000 අංක 53 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1980අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව කුඹුක්කන් ඔයට අපද්‍රව්‍ය බැහැර කරන කර්මාන්තවලට හා ඔයආශ‍්‍රිතව සිදුවන හානිකර සංවර්ධන කටයුතු පාලනය කිරීමේ හැකියාව ඇත.

ජාතික පාරිසරික පනතේ 23 ප වගන්තියට අනුව ප‍්‍රකාශයට පත්කරන ලද 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව මීටර් 25කට වැඩි පළලක් ඇති ජල මාර්ගයක ඉවුරේ සිට මීටර් 60ක් තුළ යම් සංවර්ධන ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම ක‍්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය. මේ අනුව කුඹුක්කන් ඔයේ  ඉවුරු ආශ‍්‍රිත ව මෙම බලාගාරයට අදාළ සියලු ම ඉදි කිරීම් සිදු කිරීමට ප‍්‍රථම මෙම අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එවන් කිසිදු නීත්‍යනුකූල අනුමැතියකින් තොර ව මෙම බලාගාරය පවත්වාගෙන ගොස් තිබේ.

ජාතික පාරිසරික පනතේ 23 අ වගන්තියට අනුව ප‍්‍රකාශිත 2008 ජනවාරි 25 වන දින අංක 1533/16 දරන ගැසට් නිවේදනයේ “අ” කොටසේ දැක්වෙන ලෙස විදුලි බල උත්පාදන කර්මාන්තයක් පවත්වාගෙන යාමට “පරිසර ආරක්ෂණ බලපත‍්‍රයක්” ලබා ගත යුතු ය. 23ආ (1) උප වගන්තියට අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබා දෙන ප‍්‍රමිතීන්ට හා උපමාන වලට යටත් ව කටයුතු කිරීමට බලපත‍්‍රය නිකුත් කරනු ලැබේ. පනතේ 23ඈ උප වගන්තියට අනුව පරිසර ආරක්ෂණ බලපත‍්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේ දී බලපත‍්‍රය අත්හිටුවීම හෝ අවලංගු කිරීම හෝ සිදු කළ හැකි ය. 23අ (2) උප වගන්තියට අනුව බලපත‍්‍රයේ කොන්දේසි කඩ කරමින් හෝ බලපත‍්‍රයක් නොමැති ව කර්මාන්තයක් පවත්වාගෙන යන්නේ නම් පනතේ 23අ (3) උප වගන්තියට අනුව වරදක් වේ. එවන් වරදකට වරදකරුවකු වන පුද්ගලයකු රුපියල් දස දහසකට නොඅඩු දඩයකට හෝ එක් වර්ෂයකට නොඅඩු බන්දනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. 23අ (4) උප වගන්තියට අනුව බලපත‍්‍රයක් නොමැතිව කර්මාන්තයක් පවත්වාගෙන යන්නේ නම් එම කර්මාන්තය වසා දැමීමට අධිකරණයට ආඥාවක් නිකුත් කිරීමේ බලය ඇත.

අපද්‍රව්‍ය පොදු දිය පහරකට බැහැර කරන කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා පරිසර ආරක්ෂණ බලපත‍්‍ර නිකුත් කිරීමේ දී ජලීය අපද්‍රව්‍ය බැහැර කළ හැකි සීමාවන් ජාතික පාරිසරික පනතේ 23අ, 23ආ හා 32 වන වගන්ති යටතේ ප‍්‍රකාශයට පත් කරන ලද 2008 පෙබරවාරි 01 වන දින අංක 1534/18 දරන ගැසට් නිවේදනයේ සඳහන් වේ. එම සීමාවන් උල්ලංඝනය කරමින් ජලීය අපද්‍රව්‍ය කුඹුක්කන් ඔයට මුදාහැරීමේ හැකියාවක් කිසිදු කර්මාන්තයකට නොමැත. එම තත්ත්වයන් උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන බලාගාරයේ පරිසර ආරක්ෂණ බලපත‍්‍රය අවලංගු කිරීම හා එම කර්මාන්තශාලාවලට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත.මෙතරම් විශාල වගන්ති ප‍්‍රමාණයක් උල්ලංඝනය කර තිබිය දී මධ්‍යම පරිසර අධිකාරිය මේ සියලූ ම වගන්ති ආවරණය වන පරිදි බලාගාරයට එරෙහි ව මෙතෙක් නඩු පැවරීම සිදු කර නොමැත. දැනට නඩු පැවරීම සිදු කර ඇත්තේ කුඹුක්කන් ඔය ආසන්නයේ සිදු කර ඇති ඉදි කිරීම් වලට පමණි. මේ අනුව චීන බලාගාරය හා රාජ්‍ය ආයතන අතර ඇති සම්බන්ධය තහවුරු වේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනතඋල්ලංඝනය කිරීම

ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනතේ 34 වන වගන්තියට අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් යන්ත‍්‍ර සූත‍්‍රවලට වුවමනාවෙන් හෝ නොසැලකිල්ලෙන් හානි සිදු කරන අවස්ථාවක හෝ ජල සම්පාදනයට අවහිර වන අන්දමින් වුවමනාවෙන් යම් ක්‍රියාවක් සිදු කරන සෑම තැනැත්තෙකු මවරදකරුවකු වේ. මහේස්ත‍්‍රාත්වරයකු ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් සියයක් නොයික්මවන දඩයකට යටත් කළ හැකි ය.පනතේ 38 වන වගන්තියට අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජලය ලබාගන්නා යම් ස්ථානයක ජල මාර්ගයක් අපවිත‍්‍ර වන හෝ අපවිත‍්‍ර වීමට ඉඩ ඇති යම් ක්‍රියාවක් කළ හොත් එය වරදක් වන්නේ ය. මහේස්ත‍්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයකින් පසුව රුපියල් දහසක දඩයකට යටත් කළ හැකි ය. එම වරද නොකඩවා කරනු ලැබුවහොත් එක් දිනකට පන්සියය නොඉක්මවන දඩයකට ලක් කළ හැකි ය.

1982 අංක 12 දරන පොදු දේපල විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත හෙවත් පොදු දේපල පනතට අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් දෙකේ කණුව ජල පිරිපහදු පද්ධතියට අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් සිදු වූ හානියට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ඇත. නමුත් එ් පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට හෝ නීති උපදෙස් ලබා ගැනීමට හෝ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි.

ලංකාවේ කි‍්‍රයාත්මක අණ පනත් ගණනාවක් උල්ලංඝනය කරද්දී රාජ්‍ය ආයතන නිද්‍රාශීලීව කටයුතු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස කුඹුක්කන් ඔය ආශ්‍රිතව දිවි ගෙවන ජනතාව හා ජෛව ප‍්‍රජාව දැවැන්ත ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටී. ඊට එරෙහි ව අද දින හෝ රාජ්‍ය ආයතන චීන තාප බලාගාරයට එරෙහි ව ක්‍රියාත්මක විය යුතු ව ඇත. එසේ නොවුනහොත් අනාගතයේ දී මීට වඩා දැවැන්ත ඛේදවාචකයකට රටේ ජනතාවට මුහුණ දීමට සිදු වනු ඇත. ඊට හේතුව චීන ආයෝජන සඳහා රජය වෙනම ම ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව පෙනෙන්නට තිබෙන නිසා ය. ඉදිරියේ දී මාගම්පුර වරායට සමගාමී ව අක්කර 15,000ක භූමියක ස්ථාපිත කිරීමට නියමිත චීන කර්මාන්තශාලාවලින් දැඩි හානියක් සිදු වනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. අක්කර 50ක භූමියක ස්ථාපිත කළචීන බලාගාරයකින් මේ තරම් විශාල ජනතාවක් අවතැන්වීම සිදු වන්නේ නම් අක්කර 15,000ක භූමියක ස්ථාපිත කිරීමට නියමිත කර්මාන්තශාලා මගින් අති විශාල ජනතාවක් අවතැන් වනු ඇත. එය පිටු දැකීමේ පළමු පියවර ලෙස කුඹුක්කන් ඔය ග්‍රීන් වොට්ස් තාප බලාගාරයට එරෙහි අරගලය ජයග‍්‍රහනය දක්වා ශක්තිමත් ව ඉදිරියට ගෙන යා යුතු ය. ඒ සඳහා සියලු ජනතාවගේ සහයෝගය අවශ්‍ය ව ඇත.

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ග්‍රීන් වොට්ස් පෞද්ගලික සමාගමේ නීති විරෝධී ග්ලිරිසීඩියා දැව ඉන්දන තාප බලාගාරය
ග්‍රීන් වොට්ස් පෞද්ගලික සමාගමේ නීති විරෝධී ග්ලිරිසීඩියා දැව ඉන්දන තාප බලාගාරය
ග්ලිරිසීඩියා දැව ඉන්දන තාප බලාගාරයෙන් අපජලය කුඹුක්කන් ඔයට බැහැර කර ඇති ආකාරය
ග්ලිරිසීඩියා දැව ඉන්දන තාප බලාගාරයෙන් අපජලය කුඹුක්කන් ඔයට බැහැර කර ඇති ආකාරය
කුඹුක්කන් ඔය ප‍්‍රධාන අමුණේ දැව ඉන්දන තාප බලාගාරයේ අපජලය රැඳී තිබෙන ආකාරය
කුඹුක්කන් ඔය ප‍්‍රධාන අමුණේ දැව ඉන්දන තාප බලාගාරයේ අපජලය රැඳී තිබෙන ආකාරය
කුඹුක්කන් ඔය ප‍්‍රධාන අමුණේ දැව ඉන්දන තාප බලාගාරයේ අපජලය රැඳී තිබෙන ආකාරය
කුඹුක්කන් ඔය ප‍්‍රධාන අමුණේ දැව ඉන්දන තාප බලාගාරයේ අපජලය රැඳී තිබෙන ආකාරය
කුඹුක්කන් ඔය ප‍්‍රධාන අමුණේ දැව ඉන්දන තාප බලාගාරයේ අපජලය රැඳී තිබෙන ආකාරයකුඹුක්කන් ඔය ප‍්‍රධාන අමුණේ දැව ඉන්දන තාප බලාගාරයේ අපජලය රැඳී තිබෙන ආකාරය
කුඹුක්කන් ඔය ප‍්‍රධාන අමුණේ දැව ඉන්දන තාප බලාගාරයේ අපජලය රැඳී තිබෙන ආකාරය
දැව ඉන්දන තාප බලාගාරයේ ග්ලිරිසීඩියා දැව ගොඩගසා ඇති අයුරු
දැව ඉන්දන තාප බලාගාරයේ ග්ලිරිසීඩියා දැව ගොඩගසා ඇති අයුරු
දැව ඉන්දන තාප බලාගාරයේ ග්ලිරිසීඩියා දැව ගොඩගසා ඇති අයුරු
දැව ඉන්දන තාප බලාගාරයේ ග්ලිරිසීඩියා දැව ගොඩගසා ඇති අයුරු
(Visited 87 times, 1 visits today)

Related posts

Leave a Comment