ගෝඨාභයට එරෙහි නඩු: එජාපයේ සබඳතාවක් නෑ

ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු දැමීම පිළිබඳ එක්සත් ජාතික පෙරමුණේ කිසිම සබඳතාවක් නොමැති බවත් ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙසට අවශ්‍ය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන සහ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. මරික්කාර්, මනුෂ නානායක්කාර මහත්වරු එක හඬින් පැවැසූහ.

පහසුවෙන්ම පරාජය කළ හැකි අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බැවින් ඔහුගේ අපේක්ෂකත්වය අහිමි නො‍වේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරන බව පැවැසූ ඇමැතිවරයා සහ මන්ත්‍රීවරු පරාජය කළ හැකි ගෝඨාභය වැන්නකු කෙරෙහි එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හෝ පෙරමුණ කිසිසේත් බිය නොවන බව අවධාරණය කළහ.

පැවැති පළාත් සභා ඡන්දවල දී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම ලක්ෂ පනස් අටේ සිට ලක්ෂ පනස් එක දක්වා පහත වැටුණ බව මෙහි දී සිහිපත් කර දුන් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මිලිටරි නායකයා ඊටත් අඩුවෙන් පහළ මට්ටමකට වැටෙන බවත් අවධාරණය කළේය. අධිකරණයේ නඩු පැවරීම් විවිධ උදවිය සිදු කරන බවත් ඒවා වළක්වා ගැනීම පක්ෂයට හෝ පෙරමුණට කළ නොහැකි බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඇමැතිවරයා සහ මන්ත්‍රීවරුන් මේ අදහස් පළ කළේ ඊයේ (04) කොළඹ වොක්ෂල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදීය.

කමනි අල්විස් සහ සඳුනි රණසිංහ

(Visited 34 times, 1 visits today)

Related posts

Leave a Comment