සංවර්ධන ඉලක්ක ජය ගන්න ඩිජිටල් ආර්ථිකයක් ඔස්සේ දැවැන්ත පිම්මක් පැනිය යුතුයි

මඩකලපුව ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස උසස් කිරීම සඳහා ගවේෂණය කරන උසස් නිලධාරින් කණ්ඩායමක් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (04) මඩකලපුව ගුවන්තොටුපොළට පැමිණ සාකච්ඡා කළ අයුරු. ඡායාරූපය – මඩකලපුව සමූහ – ජව්ෆර් ඛාන්

අපනයනය ඉලක්ක කරගත් ඩිජිටල් ආර්ථිකයක් ඔස්සේ ශීඝ්‍ර සංවර්ධන මාවතකට පිවිසීම සඳහා සාධනීය ප්‍රතිසංස්කරණ පදනම් කරගත් දැවැන්ත පිම්මක් ඉදිරියට පැනිය යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සැලසුම් ක්‍රියාත්මක කරලීම උදෙසා ඉදිරි වසර 5 තුළ රුපියල් බිලියන 500 ක ආයෝජනයක් කරලීමට රජය කැප වී සිටින බව ද පෙන්වා දුන්නේය.

දේශීය ආර්ථීකය ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය සකස් කළ යෝජනා මාලාව පිළිබඳව එහි සාමාජික සාමාජිකාවන් සමඟ පසුගියදා කොළඹ අරලියගහ මන්දිරයේදී පැවති විශේෂ සාකච්ඡාවේදී වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ 2015 වසරේ දැරිය නොහැකි ණය බරක් සහිත ආණ්ඩුවක් බාරගැනීමට සිදු වුවද, මේ වන විට ඒ ණය බර ලිහිල් කරගනිමින් ආර්ථිකය ප්‍රසාරණය කරලීමේ ඉදිරි ගමනකට දේශය යොමු කරලීමේ අභියෝගය රජය ‍ජය ගෙන ඇති බවයි.

මේ ආකාරයෙන්ම වේගයෙන් ඉදිරියට යෑමෙන් 2030 වසර වන විට ණය බරින් ගැලවීමට හැකියාව උදාකර ගත හැකි බව ද, නව රැකියා සහ ආදායම් මාර්ග නිර්මාණය කරගත හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම ඉලක්ක සපුරාගැනීමට හැකි වන්නේ වෙළඳපොළ අපනයනය මුල්කරගත් ආර්ථිකයක් තුළින් බව සියලුදෙනා එකඟ වූ පොදු මතය විය.

සුළු ව්‍යාපාරයක සිට මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා ආරම්භ කිරීමේ දී මුහුණදීමට සිදුවන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතාවන් සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි. එක් කේන්ද්‍රයක් මඟින් සියලු සේවාවන් කඩිනමින් සැපයීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව තදබල ලෙස මතු වී ඇති බව වාණිජ මණ්ඩල නියෝජිතයෝ පෙන්වා දුන්හ.

මෙම සාකච්ඡාවේ දී කෘෂිකර්මාන්ත නවීකරණය, මූල්‍ය ක්ෂේත්‍රය, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත, ප්‍රවාහන හා ප්‍රවාහන සේවා, පරිපාලන ගැටලු, නියාමන හා නීති රීති, පුද්ගලික සෞඛ්‍ය සේවා, අධ්‍යාපන ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.

සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අනෙකුත් මණ්ඩල හා සංවිධාන සමඟ සාකච්ඡාකොට පොදු එකඟතාවයකට පැමිණීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

මහනුවර – කොළඹ – හම්බන්තොට අධිවේගී මාර්ගය වටා එළැඹෙන වාණිජ හා වෙළඳ අවකාශයන් පිළිබඳව ද, උතුරු නැ‍ඟෙනහිර ආර්ථික සංවර්ධන සැලැස්ම පිළිබඳව ද අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා කරුණු ගෙනහැර දැක්වීය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, උප සභාපති විස් ගෝවින්දසාමි යන මහත්වරුන් ඇතුළු වාණිජ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ද සහභාගි වී සිටියහ.

(Visited 17 times, 1 visits today)

Related posts

Leave a Comment