අපි ජනපතිවරණය ජයගෙන ඊළඟ මහමැතිවරණයෙන් ආසන 125ක් දිනා ගන්නවා: එය ස්ථිරයි

එජාප කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදී අගමැති කියයි

මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් මහමැතිවරණයේදී ආසන 125ක් ලබාගැනීමට අවශ්‍ය දේශපාලන පරිසරය නිර්මාණය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආණ්ඩු බලය ඉල්ලන ප්‍රතිවාදී අපේක්ෂකයන් ගෙවුණු දස වසරේදී ජනතාවගේ බඩට ගැසූ බවත් නැවත ආණ්ඩු බලය ඉල්ලන්නේ ජනතාව පීඩාවට පත්කරමින් තමන් රජවීමට බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

අගමැතිවරයා මේ අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අමතමිනි. මේ රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී (06) පැවැත්විණි.

එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මෙවර ජනාධිපතිවරණය අප ජයගන්නවා. අපි බලය තහවුරු කරගන්නවා.නැවත බලය ගන්න දෙයක් නැහැ. අපට බලය තිබෙනවා. එය තහවුරු කරගන්න අප කටයුතු කරනවා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කිරීමට අප කටයුතු කරනවා. ජනතාවගේ බඩට ගහපු පොහොට්ටුවට නැවත හිස ඔසවන්න දෙන්නේ නැහැ. ජනතාවගේ බඩට ගහපු රාජපක්ෂලාට අප නැවත හිස ඔසවන්න දෙන්නේ නැහැ. ජනතාව ජනාධිපති පත් කර ගන්නේ මුහුණ බලල නොවෙයි. ඔවුන් ඡන්දය දෙන්නේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති දිහා බලලයි. ගෙදර ආර්ථිකය දිහා බලලයි. ජයග්‍රහණයෙන් පසුව ජනතාවගේ ආර්ථික තත්ත්වය මීට වඩා ඉහළ යනවාද නැතිනම් පහළ වැටෙනවාද කියා බලල තමයි ජනතාව ඡන්දය භාවිතා කරන්නේ.

මට එක ප්‍රශ්නයයි ප්‍රතිවාදී අපේක්ෂකයාගෙන් අහන්න තිබෙන්නේ. ඔබතුමන්ලාටත් ප්‍රතිවාදී අපේක්ෂකයන්ගෙන් අහන්න තිබෙන්නේ මේ ප්‍රශ්නයමයි. 2015දී පෙට්‍රල් මිල කීයද? අද පෙට්‍රල් මිල කීයද? වසර දහයක් ආණ්ඩු කරලත් පෙට්‍රල් මිල අඩු කරන්න බැරි වුණේ ඇයි? මේ තරම්ම ජනතාව සූරාකෑවේ ඇයි? එදා ඩීසල් ලීටරය කීයද? එදා ඩීසල් ලීටරය රුපියල් 118යි. අද ඩීසල් ලීටරය රුපියල් 104යි.

ආපහු ආවම ඩිසල් මිල තවත් ඉහළට දානවාද? නැතිනම් අපි වගේ අඩු කරනවාද? එදා භූමිතෙල් ලීටරය කීයද? රුපියල් 110යි. අද භූමිතෙල් ලීටරය රුපියල් 70යි. එදා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල කීයද? එදා පරිප්පු කිලෝව රුපියල් 260යි. එදා කිරිපිටි කීයද? පොහොට්ටුවේ අපේක්ෂකයා වසර දහයක් එයාගේ අයියා රට පාලනය කරන විට මේ බඩු මිල අඩු කළේ නැත්තේ ඇයි? මේ අයට නැවත ආණ්ඩුවක් දෙන්න ඕනෑද? මේ අය නැවත ආණ්ඩු බලයට ආවොත් ජනතාව සූරාකන එක තමයි කරන්නේ.

ඔබලාත් ප්‍රතිවිරුද්ධ පක්ෂයේ අයගෙන් මේ ප්‍රශ්න ටික අහන්න. මේවට උත්තර දෙන්න බැරිව මොකද ආණ්ඩු ඉල්ලන්නේ.

තව ප්‍රශ්නයක් තිබෙනවා. එදා කාර්යාල කාර්ය සේවකයකුගේ වැටුප කීයද? රුපියල් 11,730යි. අද කාර්යාල කාර්ය සේවකයකුගේ වැටුප රුපියල් 24,250යි. එදා හෙදියකගේ වැටුප රුපියල් 15,620යි. අද හෙදියකගේ වැටුප රුපියල් 32,525යි. උපාධිධාරී ගුරුවරයකුට එදා වැටුප රුපියල් 16,000යි අද වැටුප රුපියල් 34,000යි. එදා වැටුප් වැඩි කළේ නැත්තේ ඇයි? මේවට පිළිතුරු දෙන්න ඕනෑ. වියත්මඟද අතරමඟද කියන්න මම දන්නේ නැහැ. මේ මොන මඟක් වුණත් මේවට පිළිතුරු ලබාදිය යුතුයි. රාජපක්ෂ පවුලට කියන තවත් නමක් තමයි පොහොට්ටුව කියන්නේ.

අපි රට භාරගත්තේ දණ ගහපු ආර්ථිකයක්. නමුත් අපි එය කළමනාකරණය කර රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකර බඩු මිල අඩු කළා. රාජපක්ෂලා මේක නැවත ඉල්ලන්නේ බඩු මිල වැඩි කර වැටුප් අඩු කරන්නද? බඩට ගහලා තවත් බඩට ගහන්නද මේ ආණ්ඩුව නැවත ඉල්ලන්නේ. ඕකටද පොහොට්ටුට රට භාරදෙන්න ඕනෑ. රටේ සිදු කරන සංවර්ධනය නැවත හරවන්න අප ඉඩ තබන්නේ නැහැ. අපි අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරිනම් පොහොට්ටුටේ අයට ගෙදර ඉන්න කියන්න.

සජිත් ප්‍රේමදාස මහතා අපේ ආණ්ඩුව යටතේ නිවාස ඉදිකරමින් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට විශාල වැඩ කොටසක් කළා. අපි මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඊළඟ මහමැතිවරණයෙන් ආසන 125ක් දිනා ගන්නවා. එය ස්ථිරයි. එක්සත් ජාතික පක්ෂයට ජය වේවා.

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා-

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අද අතිසාර්ථකව සංවිධාන කර තිබෙනවා. මේ සඳහා කැපවීමෙන් කටයුතු කළ රවී කරුණානායක මහතා සිදු කළ මෙහෙය පිළිබඳව මා සතුටු වෙනවා. වත්මන් ආණ්ඩුව කරගෙන යන සංවර්ධනය මා ජනාධිපතිවරණයෙන් ජයගත් පසුව නව මඟකට යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. නව දර්ශනයක් හා නව චින්තනයක් ඔස්සේ රට ගොඩනැගීම සිදු කරනවා. වත්මන් ආණ්ඩුව මේ රට භාරගෙන තිබෙන කෙටි කාලයේදී දැවැන්ත සේවාවන් රැසක් සිදු කර තිබෙනවා.

මෑත ඉතිහාසයේදී ජනසමාජයේ සියලුම තල ආවරණය වන ආකාරයේ සංවර්ධනයක් සිදු කළ එකම ආණ්ඩුව මේ ආණ්ඩුවයි. සංවර්ධන සේවාවෙන් ඔබ්බට ගොස් ශක්තිමත් වැඩපිළිවෙළකට යාමට දැන් කාලය එළැඹී තිබෙනවා. රටක් හැටියට ලොවම දිනන්න ඩිජිටල් තාක්ෂණික පරිසරයක් නිර්මාණය කරන්න අවශ්‍යයි. පරිගණක තාක්ෂණය කේන්ද්‍රකරගත් නව කාර්මික විප්ලවයක් රටේ ක්‍රියාත්මක කරනවා.

අගය එකතු කරන සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. නව නගර නිර්මාණය කර නව කාර්මික ජනපද නිර්මාණය කර නවීකරණ නවෝත්පාදන කර්මාන්කරණයක් රටේ ඇතිකරනවා. අපනයනය පදනම් කරගත් ආර්ථිකයක් ඇති කිරීමට වැඩපිළිවෙළ සකස් කරනවා. සුහුරු සංවර්ධන ව්‍යාපෘති හරහා අපේ මාතෘභූමිය ලොව දිනන මඟට යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙයින් ලැබෙන ප්‍රතිලාභ සෑම පුරවැසියකුටම බෙදීයන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. හැකියාව තිබෙන, දක්ෂතාව තිබෙන උනන්දුව හා කැපවීමෙන් වැඩකරන තරුණ පරපුර රටේ සංවර්ධනය දායක කර ගැනීමට කටයුතු කරනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී තරුණයන්ගේ ශක්තිය අපට අවශ්‍යයි. ජනාධිපතිවරණයෙන් පසුව නව දැක්මක් ඇති කිරිමට විප්ලවීය සංවර්ධනයක් ඇති කිරීමට අප කටයුතු කරනවා.

කොළඹ ගැන කතා කරන විට දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා අමතක කරන්න බැහැ.ලලිත් ඇතුළත්මුදලි මහතා කොළඹ වරාය මුල්කරගෙන සිදු කළ සංවර්ධනය අපට අමතක කරන්න බැහැ. ඔවුන් එදා ජාතිවාදය, ආගම්වාදය කතා කළේ නැහැ. එම නායකයන් එදා ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නායකත්වය ලබාදුන්නා. රටේ සංහිඳියාව ඇති වෙන්න ජාතීන් අතර සමඟිය ඉතා වදගත් වෙනවා.

ආගමික ස්ථාන විනාශ කරමින් රටක් සංවර්ධනය කරන්න බැහැ. රජවීම උදෙසා තවත් ආගමකට නිගා කරනවා නම් රජවීම උදෙසා වෙනත් ආගමික ස්ථාන බිඳ දමනවා නම් ඔවුන්ට රටක් ගොඩනගන්න බැහැ. තමන්ගේ පවුල රජවීමට තමන්ගේ පවුලට අරලියගහ මන්දිරයට හෝ ජනාධිපති මන්දිරයට යාමට වෙනත් ආගමකට නිගා කරනවා නම් ඔවුන්ට රට පාලනය කරන්න බැහැ. රට කැඩුණත් කමක් නැහැ තමන්ගේ පවුල රජවෙනවානම් කියන අයට රට පාලනය කරන්න බැහැ.

මේ රටේ ජනාධිපතිවරණයේදී පවුල්වාදී දේශපාලනයට තිත තබන්න ඕනෑ. ගජ මිතුරු ක්‍රමය ඉවත් කරන්න ඕනෑ. පසුගියදා සිදුවූ සිද්ධිය බලන්න. කණ්ඩායමේ ක්‍රිඩකයෙක් අර්බුදයකට ලක්වන අවස්ථාවේදී වෙන කෙනෙකුට අවස්ථාව ලබාදෙන්නේ නැහැ. ඔවුන්ගේ පවුලෙන් පිට අතිරේක ක්‍රිඩකයෙක්වත් දාන්නේ නැහැ. රාජපක්ෂ කෙනෙක් හැරුණු කොට වෙනත් කෙනෙක් දාන්නේ නැහැ. මොකද මේ ඇත්තන්ට ඇඟ පුරාම මොළේ. ඔවුන් හිතන්නේ ඔවුන් සියලුම දේ දන්නවා කියායි. මොහොතකට හිතන්න මේ අය ජයගත්තොත් ජනාධිපති රාජපක්ෂ, අගමැති රාජපක්ෂ කතානායක රාජපක්ෂ, මහවැලි ඇමැති රාජපක්ෂ, කෘෂිකර්ම ඇමැති රාජපක්ෂ වෙයි. සමහර විට ආගමික නායකයන්ගේ නමකටත් රාජපක්ෂ කියලා නමක් දාගනිවිද දන්නේ නැහැ. අපි ලබාදෙන විකල්පය තමයි පවුල්වාදය බිඳ දමලා ඥාති සංග්‍රහ ඉවත් කරන විකල්පය.

විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා-

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ලක්ෂ 16ක් පමණ ඉන්නවා. ඡන්ද මධ්‍යස්ථාන1166ක් තිබෙනවා. මෙයින් නොවැම්බර් මස 16 වැනිදා 230,000ක වැඩි ඡන්දයකින් ජයග්‍රහණය කළ යුතුයි. මේ ඡන්දය ලේසියි කියා හිතන්න එපා. 2015 ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට වැඩි ඡන්ද 162,000කින් ජයගත්තා. 2015 මහ මැතිවරණය වැඩි ඡන්ද 160,000කින් දිනුවා. මෙවර අප ජනාධිපතිවරණය වැඩි ඡන්ද 230,000කින් ජයග්‍රහණය කරනවා. කොළඹ දිස්ත්‍රික්කය දිනවීම සඳහා අප විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ගෙන් ගෙට යාම අදියර තුනකින් සිදු කරනවා.

ඔක්තෝබර් 11 වැනිදා පළමු වටයේදී ගෙන් ගෙට යනවා. ඔක්තෝබර් 26 වැනිදා ගෙන් ගෙට යනවා. නොවැම්බර් 05 වැනිදා තුන්වන අදියර ලෙස ගෙන් ගෙට යාමට අප වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. 2015දී අප ජයග්‍රහණය කරමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන්ට රැකියා ලබාදෙන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා මේ අවස්ථාව අපට හොඳ අවස්ථාවක්. වසර 25කට පසුව රටේ සමස්ත පාලන බලය ලබාගැනීමට හැකියාව තිබෙනවා. අපි පළිගැනීම් දේශපාලනයක් කරන්නේ නැහැ.

අපි අපේ ප්‍රතිපත්තියට අනුව ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. එය ජාතිවාදයක් නොවෙයි. අපට ලැබුණු දණ ගස්වපු ආර්ථිකය අපි ගොඩ අරගෙන පෙන්නුවා. අපි බලය විමධ්‍යගත කිරීමට කටයුතු කරනවා. අපි ආර්ථිකය ශක්තිමත් කර පුංචි ලංකාව ඉහළට ඔසවා තැබීමට කටයුතු කරනවා. ඒ එක්කම මේ රටට වැඩකරන රාජ්‍ය සේවයක් අවශ්‍යයි. නොවැම්බර් 16 වැනිදා වැඩ කරන රාජ්‍ය සේවයක් ඇති කළ යුතුයි.

තාක්ෂණය රට සංවර්ධනයට අවශ්‍යයි. 1977 දී ජේ. ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය ඇති කරන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 250යි. ජපනයේත් ඩොලර් 250යි. අද එය ශ්‍රි ලංකාවේ ඩොලර් 4000ට එනවිට ජපානයේ ඩොලර් 49,000 දක්වා වැඩි වෙලා. මේ තත්ත්වය ඇති කළේ මේ රට පාලනය කළ අයයි. තරුණයන් දේශපාලනයෙන් ඉවත් වෙමින් තිබෙනවා. ඔවුන් හිතන් ඉන්නේ දේශපාලකයන් හොරුන් කියායි. තවත් දවස් 41කයි තිබෙන්නේ. තරුණ පරපුරේ ඡන්ද ලක්ෂ 15ක් තිබෙනවා. මේ අය දිනා ගැනීමට අප කටයුතු කළ යුතුයි. නොවැම්බර් 13 වැනිදා දක්වා අපි මේ ගමන කැපවීමෙන් කිසිදු නිවාඩුවක් නොගෙන සිදු කරනවා.අපි මේ සටන ජයග්‍රහණයකින් කෙළවර කරනවා.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා-

1994න් පසුව එක්සත් ජාතික පක්ෂයට ගිලිහී තිබුණු පූර්ණ රාජ්‍ය බලය ලබාගැනීමට අපට අද අවස්ථාවක් එළඹ තිබෙනවා. මෙහිදී බලය ලබාගත්විට ඉදිරි වසර 05 සිට වසර 15 දක්වා පාලන බලය ලබාගැනීමේ හැකියාව තිබෙනවා. පක්ෂය දිනවීම සඳහා අපි විවිධ උපක්‍රම උපායමාර්ග ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය 2001 වසරේදී ඡන්ද සියයට 46ක් ලබාගත්තා. 2004දී ඡන්ද සියයට 37ක් ලබාගත්තා. 2010 ජනාධිපතිවරණයේදී සියයට 40ක් ලබාගත්තා. 2010 මහ මැතිවරණයේදී සියයට 29ක් ලබාගත්තා. 2015 ජනාධිපතිවරණයේදී සියයට 51ක් ලබාගත්තා.මෙයින් පෙනෙන්නේ එක්සත් ජාතික පක්ෂය ඉතාම නරක කාලයේදී පවා සියයට 30ක ඡන්ද ලබාගැනීමක් සිදු කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයට හිතවත් පක්ෂ නැතිව මේ ප්‍රතිශතය ලබාගැනීමට එජාපය අප කටයුතු කර තිබෙනවා. 2010 මහ මැතිවරණය හා ජනාධිපතිවරණය පැවැත්වුවේ විශේෂ අවස්ථාවකදීයි.

යුද ජයග්‍රහණයත් සමඟයි එය පැවැත්වුවේ. ඒ නිසා අපේ ඡන්ද දායකයන් පවා මහින්ද රාජපක්ෂට ඡන්දය ලබාදුන්නා. නමුත් 2015දී මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු බලය ලබාගෙනත් මාධ්‍ය සියල්ල තබාගෙනත් ලබාගත්තේ සියයට 48ක ඡන්ද ප්‍රමාණයක්. මේ ඡන්දයෙන් ජයගැනීමට නම් ඡන්ද ලක්ෂ 66ක් ගන්න ඕනෑ. ඒ සඳහා අපට ලක්ෂ තුනක් අවශ්‍යව තිබෙනවා. එය ළඟා කර ගැනීමට අපි ඔබට ඉලක්ක ලබාදෙනවා. එය නිවැරැදිව කළ යුතුයි. සමහරු කියනවා ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා සිංහල බෞද්ධ ඡන්දවලින් දිනන්න පුළුවන් කියා.

එහෙම වෙන්න කෙහෙත්ම විදිහක් නැහැ. එහෙම වන්නට නම් සියයට 73ක් සිංහල බෞද්ධ ඡන්ද වැටෙන්න ඕනෑ. මහින්ද රාජපක්ෂ රාජ්‍ය බලයේ ඉන්න විට යුද ජයග්‍රහණය තිබෙන වෙලාවේදීත් සිංහල බෞද්ධ ඡන්ද ලබාගෙන තිබෙන්නේ සියයට 67ක් පමණයි. ඒ නිසා තමයි එහෙම වෙන්න දෙයක් නැහැ. ඒ නිසා දිනු දේ රැක ගන්න සියලු දෙනා කැපවීමෙන් කටයුතු කරන්න. ගෝල් ෆේස් පිටියට ඇවිත් ජයග්‍රහණය විජයග්‍රාහී ඇරැඹුමක් ලබාදෙන්න. එක්සත් ජාතික පක්ෂයට ජයවේවා.

තිනියාවල පාලිත හිමියෝද, රාජ්‍ය ඇමැතිවරුන් වන ඉරන් වික්‍රමරත්න, හර්ෂද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන ඒ. එච්. එම්. ෆවුසි, මුජුබර් රහුමාන්, එස්. එම්. මරික්කාර්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප- හිරන්ත ගුණතිලක

චමීර ඇල්ලදෙණිය

(Visited 87 times, 1 visits today)

Related posts

Leave a Comment