එජාපය නැඟිට්ටා දුවන්න සූදානම්

තිස්ස අත්තනායක එජාප හිටපු මහ ලේකම්

පසුගිය ජනපතිවරණය ආසන්නයේ එජාපය අතහැර යාමට සහ නැවත එජාප ය සමඟ එක්වීමට බලපෑ හේතු මොනවා ද? සජිත් මහතා අපේක්ෂකත්වයට පත්කිරීම එජාපයට බලපානු ඇත්තේ කෙසේද? අනාගතයේ එජාප මාවත කුමක් ද? ආදී ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තිස්ස අත්තනායක එහා ඉවුරට එක්වේ.

* පසුගිය ජනාධිපතිවරණයේ දී ඔබ එජාපය හැර යන්නේ පක්ෂයේ මහ ලේකම්වරයා විදිහට සිටියදීයි,. එදා ගත්තු තීරණය ඔබේ දේශපාලන ජීවිතයට බලපෑවේ කවර ආකාරයෙන් ද?

මම පක්ෂය හැර යාමක් කළේ නැහැ. එදා පක්ෂය ගත්තු තීරණය වැරැදියි කියන මතය වෙනුවෙන් දැඩි ලෙස පෙනී හිටියා. ඒ පෙනී සිටීමට එරෙහිව විවිධ පුද්ගලයන් විවිධ අර්ථකථන දුන්නා. කවුරු කොහොම ඒක අර්ථ ගැන්නුවත්, මම එදා කියපු දේ යථාර්ථයක් සහ නිවැරැදියි කියන එක අද බොහෝ දෙනෙක් පිළිගන්නවා. ඒ මොහොතේ මම එජාපයට පෙන්නලා දුන්නේ එජාප නියෝජිතයෙක් පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයි කියලයි. අවස්ථාව තිබියදී අපි ඒ අවස්ථාව මඟ හැරීම ගැන මම කනගාටු වෙනවා. එදා මම හිටපු ස්ථාවරයට අවුරුදු හතර හමාරකට පස්සේ පක්ෂය ඇවිත් තියෙනවා. පසුගිය කාලය පුරාවට ම පක්ෂය ඇතුළේ කතා බහට ලක් වුණේ එජාප නායකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි කියන කාරණය යි. ඒ අනුව තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා අද අපේ අපේක්ෂකයා වෙලා තියෙන්නේ.

* කොහොම නමුත්, එදා එජාපය ප්‍රමුඛ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළා. එදා පාක්ෂිකයන්ගේ අපේක්ෂාවන් ඉටු වුණා නේද?

එදා මට තිබුණ කනස්සල්ල, කනගාටුව, වේදනාව වෙනුවෙන් අද මම සතුටු වෙනවා. ඒත් එදා පාක්ෂිකයන්ගේ අපේක්ෂාවන් ඉටු කිරීම සහ ඔවුන්ගේ හිත් දිනා ගැනීම හරි හැටි සිදුවුණේ නැහැ කියන එක මට පේනවා. 2015 ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දු ඉටු කරන්න රජයට යුතුකමක් තිබුණා. අවාසනාවකට ඒ සියල්ල මඟහැරිලා ගිහින්. ඒත් එක්ක ම ජනතාව බලාපොරොත්තු වුණ ජනතා න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න බැරිව ගිහින් තියෙනවා. එවැනි අඩුපාඩුකම් බරපතළ ලෙස තිබුණත්, ආණ්ඩුව මොකුත් ම කළේ නැහැයි කියන්නේ නැහැ. පැවැති ආණ්ඩුවත් එක්ක බැලුවොත් සමාජයට යම් නිදහසක් මේ ආණ්ඩුව දුන්නා.

2010දී සහ 2015දී පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළත්, 2019දී පක්ෂයේ නායකයෙක් ඉදිරිපත් වීම ජයග්‍රහණයක් කියල ද කියන්නේ?

අනිවාර්යයෙන්, ඒක පාක්ෂිකයන් ලැබූ පැහැදිලි ජයග්‍රහණයක්. එජාපය කියන්නේ මේ රටේ තියෙන ප්‍රධාන ධාරාවේ ශක්තිමත් ම පක්ෂය. පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන් තමයි මැතිවරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ. පක්ෂය එකතුවෙලා සන්ධාන ගොඩනඟනකොට ප්‍රධාන පක්ෂයට හැම වෙලාවෙම ප්‍රමුඛත්වය ලැබෙනවා. ශ්‍රීලනිපය 70 සමඟි පෙරමුණ හදද්දිත් එහෙම යි. 94 පොදු පෙරමුණ හදද්දිත් එහෙමයි. 2005දීත් එහෙමයි. දේශපාලන ඉතිහාසයේ සන්ධානගත වෙද්දී හැම අවස්ථාවක ම ප්‍රධාන පක්ෂයට තැන ලැබුණා. අවාසනාවට 2015දී මේ තත්ත්වය වෙනස් වුණා. 2010දී තිබුණේ වෙනත් පරිසරයක්. ඒ නිසා 2010 ගැන කතා කරනවාට වඩා 2015 විශේෂයි. මම අදත් විශ්වාස කරන්නේ 2015දී එජාප අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා නම්, අපිට ඒ ඓතිහාසික ජයග්‍රහණය ලැබෙනවා.

* කොහොම නමුත්, වසර ගණනාවකට පස්සේ ඔබ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙලා ඔහු බිම් මට්ටමේ ජයග්‍රහණයක් ලබා ගන්නවා කියලා කියනවා. එහෙම කියන අපේක්ෂකයාට මැද පන්තියේ ඡන්ද නැද්ද?

සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරිපත් වීමත් සමඟ එජාප පාක්ෂිකයන්ගේ විශාල පිබිදීමක් ඇති වෙලා තියෙනවා. කාලයක් තිස්සේ බලාපොරොත්තු අතැරලා හිටපු පාක්ෂිකයෝ අද නැඟිටලා තියෙනවා. දීර්ඝ කාලයක් පක්ෂයෙන් ඈත්වෙලා හිටපු පිරිස එකතු වෙමින් ඉන්නවා. මේකෙන් පෙනෙන්නේ, එජාප ය ආයෙත් නැඟිටලා දුවන්න ලෑස්ති වෙනවා කියලයි. ඒ විතරක් නෙවෙයි, සම සමාජ පක්ෂයේ හිටපු අතාවුද සෙනෙවිරත්න මහත්තයලා පවා සජිත් ප්‍රේමදාස මහත්තයාට එකතු වෙනවා. තවත් දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් එකතු වෙමින් ඉන්නවා. ග්‍රාමීය ජනතාවගේ විශ්වාසය සජිත් ප්‍රේමදාස මහත්තයාට නිරන්තරයෙන් තියෙනවා. ඔබ කියන මැද පන්තියේ ඡන්ද සහ පාවෙන ඡන්ද දිනා ගන්නත් එතුමා ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. අපේ අපේක්ෂකයාට රටේ අනාගතය දිහා හොඳට බලන්න පුළුවන්. මේ මැතිවරණය විතරක් නෙවෙයි තවත් අවුරුදු ගණනාවකට රට සහ පක්ෂය දිනවන්න ඔහුට අවශ්‍යයි. ඔහු කියනවා ජනපති වුණාම වැටුප්, දීමනා, මන්දිර අනවශ්‍යයි කියලා. ඔහු කියනවා විතරක් නෙවෙයි, ක්‍රියාවෙන් ඔප්පු කරපු කෙනෙක්. ඒ නිසා පාට පක්ෂ, පන්ති බේදයකින් තොරව එතුමා ජයග්‍රහණය කරන්න ජනතාව පෙළගැහිලා ඉන්නවා.

* ඔබට එල්ල වෙන චෝදනාවක් තමයි, පක්ෂය හැර ගිහින් ප්‍රතිවාදී පිලේ අමාත්‍යධුරයක් ලබා ගත්තයි කියන එක. ඒ ගැන මොනව ද කියන්නේ?

ඒ වගේ විවේචන, දෝෂාරෝපණ, චෝදනා දේශපාලනයේ දී තියෙනවා. මම 2015දී ගත්තු තීරණය ගැන මුළු රටම දන්නවා. මට චෝදනා කරන්නේ ඩීල් එකක් දැම්මා කියලා. කවුරු කොහොම කිව්වත්, රටේ ජනතාව මම එදා නිවැරැදි තීරණයක් ගත්තා කියලා තීන්දු කරලා ඉවරයි. එදා මම ගත්තු තීරණයේ තීන්දුව තමයි අද එජාපයේ අපේක්ෂකයා. පිට ඉඳලා බලන ඕනෑම කෙනෙකුට, එවැනි තීන්දුවක් නොගෙන හිටියා නම් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. ඒත් එදා තිබුණ මානසික තත්ත්වයත් එක්ක ඒ තීරණය හරි කියලා මම දන්නවා. මම විතරක් නෙවෙයි දේශපාලන ඉතිහාසයේ එවැනි තීන්දු තීරණ ගත්තු බොහෝ දෙනෙක් හිටියා. ලලිත්, ගාමිණී කියන්නේ අපේ පක්ෂයේ සහ රටේ අනාගතය දුටු නායකයෝ. ඔවුන් අද හිටියා නම් කියලා ජනතාව හිතනවා. නමුත්, ඔවුන් අපට අහිමි වුණා. මටත් කියන්න පුළුවන් ඒ දෙන්නා ගත්තු තීරණය වැරැදියි කියලා. එහෙම කිව්වට ඒ අයගේ අරගලය වෙනස්.

* රට විශාල අර්බුදයක තිබෙන බව බොහෝ දෙනෙක් පෙන්නලා දෙනවා. පාස්කු ප්‍රහාරය කියන්නේ, ජාතිවාදී කල්ලි, කණ්ඩායම්වලට උත්තේජනයක් කියලත් කියනවා. මේ තත්ත්වය මත ජනපතිවරණය අභියෝගයක් නොවෙයි ද?

පාස්කු ප්‍රහාරය ගැන ජනතාව ඉන්නේ විශාල කලකිරීමක. මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍යයේ නායකයාට තිබෙන වගකීම නිසි ලෙස ඉටු වුණේ නැහැයි කියලා කතිකාවක් රටේ තියෙනවා. ජනතාව නඟන තර්කය වැරැදි නැහැ. රාජ්‍යයේ නායකයාගෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජාතික ආරක්ෂාව. එවැනි ආරක්ෂාවක් නොමැති නම්, ජනතාව නඟන චෝදනාවෙන් ගැලවෙන්න බැහැ. ආණ්ඩුවට එල්ල වෙන දෝෂරෝපණය බැහැර නොකළ යුතුයි කියන තැන මම ඉන්නවා. මේ හරහා ජාතිකවාදයක් ගොඩනැඟිලා තියෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ ආගමික මත ගැටුමකුත් ගොඩනැඟුණා. අද වෙනකොට මේ සියල්ල යටපත් වෙලා කියලයි මට හිතෙන්නේ. නමුත්, මේ සිද්ධි හරහා වාර්ගික ගැටුමක්, ආගමික ගැටුමක් කවරෙකු හෝ නිර්මාණය කරන්න උත්සාහ කරනවා නම්, ඒක බරපතළ වරදක්. ජනාධිපතිවරණයේ දී ජනතාව පළමුවෙන් සිතන්න ඕනේ, මේ රට ගැන. දෙවනුව දේශපාලනය ගැන හිතලා, මේ රට රකින නායකයන් බිහි කර ගැනීම කරන්න ඕනෑ.

* දීර්ඝ ඉතිහාසයක් තියෙන පක්ෂ පරද්දලා පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වාර්තාගත ජයක් ලබනවා. ඒ පක්ෂයෙන් ජනපති අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ ගැන මොනව ද කියන්නෙ?

හැම දේශපාලන පක්ෂයකට ම අභියෝගයක් තියෙනවා. ආණ්ඩුවක් තියාගෙන පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරගන්න බැරි වුණා නම්, ඒක බරපතළ දුර්වලතාවයක්. පළාත් පාලන මැතිවරණයේදී ලැබුණු උත්තරය ආණ්ඩුවට විරෝධය පළ කරන්න ලැබුණ සංඥාවක්. ඒත්, පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ජාතික මැතිවරණයකට ගලපන්න බැහැ. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී පැවැති පළාත් පාලන ආයතන 191ක් දිනුවා. ඒත් 94දී ආණ්ඩුව පරාදයි. ඒක පළාත් පාලන මැතිවරණවල ස්වභාවයක්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ සියලු පළාත් සභා දිනුවා. ඊට මාස කිහිපයකට පස්සේ තිබුණ ජනාධිපතිවරණය එතුමා පරාදයි. ඒ නිසයි මම කියන්නේ පළාත් පාලන මැතිවරණ ජාතික මැතිවරණ එක්ක සංසන්දනය කරන්න බැහැ කියලා. නමුත්, ඉගෙන ගන්න පාඩම් තියෙනවා. දේශපාලන නායකයෝ මේ ජනතාවගේ උත්තර තේරුම් නොගත්තොත් දේශපාලනික වශයෙන් කඩාගෙන වැටෙන එක නවත්වන්නත් බැහැ.

* ඉදිරි ජනපතිවරණයට ශ්‍රීලනිපය තනිව අපේක්ෂකයෙක් ඉදිරිපත් කළොත්, එය අවාසියක් වෙන්නේ නැද්ද?

අපි ඉලක්ක කරගන්නේ, ඔවුන් තරග කරනවා ද නැද්ද කියන එක නෙවෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා, අපි කිසි විටෙක කාගෙවත් කරපිටින් ගිහින් දිනන්න ඕනේ නෑ, ඒ වගේ ම අවලාද, අපහාස, උපහාස කරලා දිනන්න ඕනෙත් නෑ. අපි නිවැරැදි තරගයකට ඉදිරිපත් වෙලා දිනන්නයි ඕනෑ කියලා එතුමා කිව්වා. අපි ශ්‍රීලනිපය දෙකට කැඩෙයි කියලා බලාගෙන ඉදලා වැඩක් නැහැ. අපි බලන්න ඕනෑ ප්‍රතිවාදී පක්ෂය පරාජය කරලා, තරගයක් දීලා දිනන්න. එතැනට තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා කටයුතු කරන්නේ.

* ඔබලා කියනවා ග්‍රාමීය ජනතාව ඉන්නවා කියලා. ඔය ග්‍රාමීය ජනතාව ම කියනවා ඔතැන ඉන්නෙත් මහ බැංකුව කඩපු හොරු කියලා?

මේ චෝදනා ඕනෑම දේශපාලන කණ්ඩායමකට එන්න පුළුවන්. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ විනිවිද භාවයක් නොතිබීම ජනතාවට ප්‍රශ්නයක්. මේ ආණ්ඩුවට තියෙන බරපතළ චෝදනාවත් ඔය කාරණය. පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව ඒ වගේ උත්තරයක් දුන්නෙත් ඒ නිසා කියලයි මට හිතෙන්නේ. රටේ බහුතරයක් හිතන දේ තමයි මේ ගනු දෙනුව හරහා වංචාවක් වෙලා තියෙනවා නම් වැරැදිකරුවන්ට දඬුවම් කරන්න ඕනෑ කියන එක. ඒ නිසා එවැනි වැරැදිකරුවන් ආරක්ෂා කරනවා නම් පක්ෂයටත්, රටටත් පාඩුවක් වෙනවා. එහෙම නම් වැරැදිකරුවන් ආරක්ෂා කරන්න කිසිවෙක් ඉදිරිපත් විය යුතු නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා පැහැදිලිව කියලා තියෙනවා රටට හානිකර කිසියම් ගනුදෙනුවක කවරකු හෝ යෙදිලා ඉන්නවා නම්, ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවට එරෙහිව තමන් ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. දඬුවම් කිරීම අධිකරණයේ වැඩක්. නමුත් නීතිය ක්‍රියාත්මක කරන්න බාධාවක් නොවෙන බව එතුමා පැහැදිලිව කියලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා වටේ ඉන්නෙත් පරණ හොරුමයි කියලා ඔය ජනතාව ම කියනවා. මේ කතාවලින් හානියක් නැතිවා ම නෙවෙයි. නමුත්, ජනතාවට විශ්වාස කළ හැකි දැනට ඉදිරිපත් වෙලා ඉන්න හොඳම නායකයා අපේ ළඟ ඉන්නවා.

* ඔබ පසුගිය කාලයේ සිරගත වුණා. ඒ ගැන නො කියූ කතා ග්‍රන්ථයකින් එළියට එනවා. ඒ ගැන කියන්න තියෙන්නෙ මොකක් ද?

මම මේ ග්‍රන්ථය ලියන්නේ, 2015 ජනපතිවරණයේ අභ්‍යන්තර කතාව පාදක කරගෙන. මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා අපේක්ෂකයා වුණේ කොහොම ද කියන අභ්‍යන්තර කතා ග්‍රන්ථයේ ලියැවිලා තියෙනවා. මේ සමාජයට හෙළි නොවූ කතා ගොඩක් මේ ග්‍රන්ථයේ තියෙනවා. ග්‍රන්ථයේ විශේෂත්වය තමයි කිසිවකුට අපහාස, උපහාස කරන්න ලියපු එකක් නොවන එක. වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරින්ට ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නේ, ඔවුන් මට ලියන්න අවශ්‍ය පෑන්, කොළ, පොත් පත්, පත්තර පරිහරණය කරන්න අවස්ථාව දුන්න නිසයි. මම සාමාන්‍ය සිරකරුවෙක් වගේ ම දේශපාලන සිරකරුවෙක් විදිහට එදා හුදකලා ජීවිතයක් ගත කරනකොට, දේශපාලන ඉතිහාසයේ සිදුවීම් සටහන් කළේ අනාගතයේ දී කාට හෝ වැදගත් වෙයි කියලායි.

* ක්‍රියාකාරී දේශපාලනයට නැවත වරක් තිස්ස අත්තනායක අවතීර්ණ වෙනව ද?

මම විශ්වවිද්‍යාලයෙන් එළියට ආපු දවසේ ඉදලා කළේ දේශපාලනය. 2015 වෙනකල් අවුරුදු 35කට වඩා දේශපාලන ජීවිතයක් මට තිබුණා. අවුරුදු 27ක් එක දිගට ම පාර්ලිමේන්තුවේ හිටියා, ඒ ආපු හැම මැතිවරණයක් ම දිනලා මම පාර්ලිමේන්තු ගියා. එක වතාවක් විතරක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගියා. තරගකරපු හැම මැතිවරණයක ම මගේ ඡන්ද ක්‍රමයෙන් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා මට ජනමතයක් තියෙනවා. ඒ නිසා නැවතත් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කරන්න මම බලාපොරොත්තු වෙනවා.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප-ශාන් රඹුක්වැල්ල 

(Visited 148 times, 1 visits today)

Related posts

Leave a Comment