යහපත් රටක් හදන්න ඕන

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩබලන සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ජනපතිවරණය අවසන් වන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරයේ කටයුතු කිරීම බාර වී ඇත්තේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට ය. වැඩබලන සභාපතිවරයකුට වගකීම පැවරීමට ශ්‍රීලනිප සභාපතිවරයාව සිටි ජනාධිපතිවරයා පියවර ගත් හේතුව කුමක් ද යන්නත් ඉදිරි ජනාධිපති මැතිවරණය සහ රටේ අනාගත දේශපාලනය ගැනත් කතා බහකට මහාචාර්යවරයා එහා ඉවුරට මෙසේ එක් වේ.

* ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රීලනිපය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ එකඟතා මොනව ද?

ප්‍රධාන වශයෙන් ම පක්ෂ දෙක අතර ඇති කරගත්තු අවබෝධතා ගිවිසුමේ සංකල්පීය වැදගත්කම තමයි, පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහළ මට්ටමේ, ඒ කියන්නේ ග්‍රාම සේවා වසම් මට්ටමින් සහ ආසන මට්ටමින් මෙන්ම දිස්ත්‍රික්ක මට්ටමින් පක්ෂ දෙක අතර තිබෙන අවබෝධතාවය වැඩි කරගැනීම. ඒ අනුව අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත්තු තීරණයකට අනුව මේ මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වීමට තීරණය කිරීම. මේ කාරණාවලට එකඟතාවයක් ඇති කර ගැනීම මේ ගිවිසුමේ වැදගත්කම විදිහට මම දකිනවා. ගිවිසුම නිසා සැකයෙන් තොරව අපේ බල මණ්ඩලවලට, වෘත්තීය සමිතිවලට වැඩ කරන්න පුළුවන්. මේ ගිවිසුමේ දී දෙපාර්ශ්වය ම එකිනෙකාට ගරුකරමින්, නිදහස හා ස්වාධීනතාවට මෙන්ම අනන්‍යතාවට ගරු කරමින්, මේ මැතිවරණයේ දී කටයුතු කරන්න තීරණය කළා.

* ශ්‍රීලනිපය ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කළත්, ඉන් අනතුරුව තනිව තරගකිරීමේ අදහසක් තියෙනව ද?

මේ ජනාධිපතිවරණයේ දී අපි ප්‍රධාන එකඟතාවයන් තුනකට අත්සන් කරනවා. ඒ එකඟතාවය තමයි, පක්ෂය පක්ෂය විදිහට, සන්ධානය පක්ෂය විදිහට සහ පක්ෂය අපේක්ෂකයා ලෙස ඒ ගිවිසුම් තුන අත්සන් කිරීම. ඒ තුළින් පහළ මට්ටමේ ආසන මට්ටමේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්න අයට පුළුවන් විශ්වාසයෙන් යුතුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන්න. එතැනදී ප්‍රතිපත්ති කාරණා ගැන අපි කතා කරනවා. අපි හිතන්නේ ඉදිරියේ දී හදන්න ඕනෑ වඩා යහපත් රටක්. ඒ සඳහා මූලික කථිකාවක් විදිහට මේ ගිවිසුම ආරම්භ කළා. ඒ නිසා ඉදිරි මැතිවරණ ගැන තීරණ ගන්න තවමත් කාලය තිබෙනවා.

* වත්මන් ජනපතිවරයාගේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි කියන තැන ශ්‍රීලනිපය ඉන්නවා ද?

අනිවාර්යයෙන් ම ජනාධිපතිතුමාගේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන, දරුවන් සුරකිමු වැඩසටහන, සමාජ සාධාරණත්වය සඳහා වූ වැඩසටහන සහ දූෂණයට වංචාවට එරෙහි වැඩසටහන මේ ප්‍රතිපත්ති වැඩසටහනේ විශේෂිත කොටසක් ලෙස ඉදිරියේ පත්වන ජනපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනා කළා, එතුමා එයපිළිගෙනත් තියෙනවා. ඒ නිසා මේ රටේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් සහ අනාගත පරපුර ආරක්ෂා කරන්න පුළුවන් නායකයාට අපේ පක්ෂයේ සහය ලබාදී ජනපතිවරයාගේ වැඩපිළිවෙළත් ඉදිරියට ගෙනියන්න මාර්ගයක් හදනවා.

* වත්මන් ජනපතිවරයා ජනපතිවරණය සමයේ ශ්‍රීලනිපයේ සභාපතිත්වය අත්හැර ඔබතුමාට වැඩබලන සභාපතිත්වය ලබාදීම ගැන ඔබේ අදහස මොකක් ද?

මට හිතෙනනවා වත්මන් ජනපතිවරයා අපේ දේශපාලන සංස්කෘතියට අලුත් යමක් එකතු කළා කියලා. මේ දේශපාලන සංස්කෘතියට මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, විවෘතභාවය එතුමාගේ පාලනය කාලයේ දී හඳුන්වා දුන්නා. මැතිවරණයේ දී නිර්පාක්ෂිකව රාජ්‍ය නායකයෙක් පෙනී සිටින්නේ කොහොම ද කියලා එතුමා පෙන්නලා දෙනවා. රාජ්‍යයේ නායකයා ත්‍රිවිධ හමුදාව ජනපතිවරණයකදී මෙහෙයවන්නේ කොහොම ද කියන කාරණයත් බලාගන්න පුළුවන්. එසේම එතුමාගේ පක්ෂයේ නායකත්වය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකුට පවරලා තියෙනවා. ඒ නිසා එතුමා මේ හැම දෙයින්ම පෙන්නලා තියෙනවා තම පාලනය ස්වාධීනව අවසන් කරනවාය කියන එක.

* මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදෙනවාට, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා විරුද්ධයි කියලා ජනපතිවරයා කියලා තිබුණා?

එතුමා බොහොම නිදහසේ ඒ අදහස පළ කළා. මමත් පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි, පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනුත් මේ වගේ රාජ්‍ය නායකයෙක් ඉවත් කරන්න අවශ්‍ය සංස්කෘතිකමය, චින්තනම ය වටපිටාව නිර්මාණය කළා. සමාජය ඉදිරියේ තිබුණ එතුමාගේ විශාල ප්‍රතිරූපය බිඳ වට්ටලා දැම්මට පස්සේ, එතුමා විනාශ කරනවාය කියන එක අපහසු කාරණයක් නෙවෙයි.

දේශපාලනඥයින් ඝාතනය කරන්න නම් පරන තාලයේ ඝාතනය ම කරන්න අවශ්‍ය නැහැ. එතුමාගේ පාලනය අසාර්ථකයි කියන්න කරන්න පුළුවන් දේ තමයි එදා පාස්කු ප්‍රහාරය. ඒ වගේ දේවල් කළාම රට අස්ථාවර වෙනවා. මේ වගේ දේවල් ත්‍රස්ත සංවිධාන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ලෝකයේ රටවල්වල ඕනෑ තරම් කරලා තියෙනවා. මට හිතෙන්නේ පාස්කු ප්‍රහාරයත් ඒ අරමුණේ එක කොටසක් කියලයි.

* රටේ තිබුණ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වුණ ශ්‍රීලනිපය අද වෙනකොට පසු බැහැලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට ඇවිත්. ජනපතිවරයාට එල්ල වෙන චෝදනාව තමයි, ශ්‍රීලනිපය දියකර හැරියා ය කියන එක?

අපි කොයිතරම් නිර්මාණශීලීව ගැටලුවලට මුහුණ දෙනවා ද කියන කාරණය මත තමයි දිය වෙනවා ද? පෝෂණය වෙනවා ද? කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ. ඔළු ගෙඩි ගණනින් පොහොසත්කමක්, ගොඩනැඟීමක් කියලා කියන්න බැහැ. අපට අවශ්‍ය වෙලා තියෙන්නේ රට ගොඩනඟන දාර්ශනික සංකල්පීය පදනමක්. අපට වැඩසටහනක් අවශ්‍යයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ උරුමය අපට තියෙනවා. අපි ජාතිකවාදී දේශප්‍රේමි පක්ෂයක්. නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් පෙනී හිටින පක්ෂයක්. මේ මතවාදය එක්ක අපි කරන අරගලයත් එක්ක අනිවාර්යයෙන් අපට රට ගොඩනඟන්න පුළුවන්.

* රටේ දුප්පත් ජනතාවට ආමන්ත්‍රණය කරන, සමාජ ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරන ප්‍රබල ප්‍රතිවාදියෙක් මෙවර ජනපතිවරණ සටනට ඇවිත් ඉන්නවා. ඒ සජිත් ප්‍රේමදාස මහත්තයා. ඔහු අභියෝගයක් නෙවෙයි ද?

1977 අපේ පක්ෂය ආණ්ඩුව අත්හරින කොට මේ රට තිබුණ තැන කොතැන ද? නිෂ්පාදන ආර්ථිකයක් තිබුණ රටක්, රටට අවශ්‍ය වී මේ රටේ ම නිෂ්පාදනය කරගත්තු රටක්. කර්මාන්ත පුරයක් තිබුණ රටක් . මේ රටේ අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ විදිහට නිෂ්පාදනය කරපු රටක්. මැතිනිය ආණ්ඩුව අත්හරින කොට දේශීය කිරි නිෂ්පාදනය 67%ක් තිබුණා. 77න් පස්සේ නව ලිබරල්වාදී ආර්ථිකයක් හඳුන්වලා දීලා දේශීය ආර්ථික නිෂ්පාදනය පැත්තෙන් සිදු කරලා තියෙන ප්‍රගමණය මොකක් ද? අපි ස්වයං විවේචනාත්මකව, අඩුපාඩු සියල්ල සමාලෝචනය කරමින් නැවත මේවා ගොඩනැඟිය යුතුයි.

නව ලිබරල් ආර්ථිකයේ වෙසෙන උසස් පෙළ සමත් තරුණයන් 10 දෙනකුට කතා කරලා බලන්න මොනව ද කියන්නේ කියලා. දහ දෙනාම කියනවා මේ රට දාලා යන්න ඕනෑ කියලා. රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බැරි වෙලා තියෙනවා. රට අයාලයේ යන තැනට පත්වෙලා තියෙනවා. තරුණයන්ට ත්‍රීවිලර්, ගැහැනු ළමයින්ට ස්පා. මොකක්ද මේ වෙලා තියෙන්නේ. රටේ ආදායම් බෙදීයාමේ විසමතාවය ගැන මහ බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවේ කියනවා, ලංකාවේ පෝසත් ම 20%ට 49%ක් බෙදෙද්දී, දුප්පත්ම 20% 4.5%ක් බෙදනවා. ලංකාවේ 10%ක් ඉන්නවා දවසකට ඩොලරයක්වත් ආදායමක් නැති මිනිස්සු. මේ රට දරුවොත් එක්ක ගඟට පනින අම්මලා තාත්තාලා ඉන්න රටක් වුණා. දුප්පතාට වැඩ කළා කිව්වට අපිට පුළුවන් වෙලා නෑ දුප්පතාට සැබෑ ම සමාජ සාධාරණය ඉටු කරන්න. මේවා නැවත නිවැරැදි කරන්න අවශ්‍යයි.

* ශ්‍රීලනිප ජනපතිවරුන් විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවා කිව්වත් අහෝසි කරන්න කටයුතු කළේ නෑ?

වත්මන් ජනපතිවරයා තමන්ගේ සීමාව තුළ තමන්ගේ බලතල සම්පූර්ණයෙන් ම, හැකිතාක් සැර බාල කළා. මට හිතෙනවා දැන් නාම මාත්‍ර ජනාධිපතිවරයෙක් දක්වා තමයි මේ ගමන් කරමින් තිබෙන්නේ. තමන්ට කළ හැකි සීමාවන් තුළ එතුමා විශාල කැප කිරීමක් කරලා තියෙනවා. එතුමා කළ කැපකිරීම් ගැන මේ රටේ පුරවැසියන් එතුමාට සුවිශේෂී පාලකයෙක් ලෙස සලකන්න ඕනෑ.

* වත්මන් ජනපතිවරයාගේ වටිනාකම අද – නොවේ හෙට දැනෙයි කියලද ඔබ කියන්නේ?

අනිවාර්යයෙන්, අනිවාර්යයෙන් මේ රටේ ජනතාවට අද මේ කැප කිරීම ගැන දැනෙන්නේ නැහැ. එතුමා ඇති කළ සමාජ සාධාරණත්වය, සමාජ සමානාත්මතාවය ගැන අද ජනතාවට දැනෙන්නේ නැහැ. එතුමා ඇති කළ නිදහස මේ රටේ අලුත්ම සංස්කෘතියක් බවට පත් වූ බව වැටහෙන්න තව කාලයක් යයි. වත්මන් ජනපතිවරයාගේ පාලනය කාලය කොයිතරම් අගය කළ යුතු ද කියලා. ඒ නිදහස අහිමි වෙනකොට ජනතාවට තේරුම් ගන්න පුළුවන්.

* වියතෙක් විදිහටත් ශ්‍රීලනිපයේ වැඩබලන සභාපතිවරයා විදිහටත් ඔබ මේ රටේ අධ්‍යාපනය ගොඩනඟන්න ආණ්ඩු දෙන දායකත්වය ගැන හිතන්නෙ කොහොම ද?

නිදහස් අධ්‍යාපනය සාක්ෂාත් කිරීමේ ගෞරවය හිමි වන්නේ ශ්‍රීලනිපයට. මේ රටේ පන්ති දෙකක් ලෙස තිබුණ අධ්‍යාපනය නිවැරැදි කරගන්න කන්නන්ගර මහත්තයා ගත්තු උත්සාහය සාර්ථක කරගන්න 1962දී සිරිමාවෝ මැතිනිය සියලුම පෞද්ගලික පාසල් රජයට පවරා ගත්තා. රටේ එකම විෂය නිර්දේශයක් සිංහලෙන් දෙමළෙන් උගන්වනවා. අවාසනාවකට 1977න් පස්සේ මේ රටේ පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් තොග ගණන් ඇති වෙලා තියෙනවා.

ඒ පාසල්වල ශ්‍රී ලංකාවේ විෂය නිර්දේශය වගේ ම, ඇමරිකානු, බ්‍රිතාන්‍ය විෂය නිර්දේශ උගන්වනවා වගේම අරාබි විෂය නිර්දේශයත් උගන්වනවා කියලා අලුතෙන්ම හෙළි වෙලා තියෙනවා. කොහොම ද මේ රට හදන්නෙ. ශ්‍රී ලාංකීය විෂය නිර්දේශය යාවත්කාලීන කරන්න ඕනෑ. වසර ගණනාවක් ගිහිල්ලත් තවත් අපේ රටේ වසරකට විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නේ 20%ක් නම් අපි කොයිතරම් පසුගාමී ද? ඒ නිසා අපි ශ්‍රීලනිපය විදිහට යෝජනා කරනවා වසරකට ලක්ෂයක් සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්න ඕනෑ කියලා.

* මේ රටේ ජාතික ආරක්ෂාව ගැන ඔබ පක්ෂයේ ස්ථාවරය මොකක් ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑවටත් වඩා මැදිහත් වුණ පක්ෂයක්. 1977දී මේ රජය බාර දෙනකොට ත්‍රස්තවාදය දක්වා ඔඩු දුවා තිබූ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අවි ගත් සමාජ ගැටුමක් තිබුණේ නැහැ. ජාතිය, කුලය, ගෝත්‍රය මත අවි අරගෙන තරුණයෝ මරාගෙන, රට කැඩිලා උතුරු නැඟෙනහිර වෙන්වෙලා අපේ සමාජයට අලුතින් මායිම් ගම්මාන කියලා වචන පවා ආවා. ඒ නිසා රටේ සමාජ ආරක්ෂාව මෙන්ම ජාතික ආරක්ෂාවට වගකීම සහ එය සුරක්ෂිත කිරීම ශ්‍රීලනිපයේ වගකීමක්. ශ්‍රීලනිපයේ ඉතිහාසයත් මේ කාරණා වෙනුවෙන් කැපවුණ පක්ෂයක්, ඒ නිසා අපි අනාගතයේදීත් මේ කාරණයට ඇප කැප වෙනවා. ඒක ස්ථිරයි.

දුමින්ද අලුත්ගෙදර

(Visited 16 times, 1 visits today)

Related posts

Leave a Comment