පොඩි මිනිසාගේ ආර්ථිකය රැකගන්න සජිත් දිනවමු

නොවැම්බර් 16 වැනි දින සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධූරයට පත් කර පොඩි මිනිසාගේ ආර්ථිකය ආරක්‍ෂා කර ගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කෙළේ පිටකොටුව, ගුණසිංහපුර, අඩි 100 වෙළෙඳපොළ භූමියේ පෙරේදා (21) පැවැති පිටකොටුව ස්වයං රැකියා ලාභීන්ගේ හා පදික වෙළෙඳුන්ගේ වාර්ෂික සමුළුවට එක් වෙමිනි.

එහිදි ඒ මහතා මෙසේද පැවසිය.

රාජපක්‍ෂ පාලනය සමයේ මේරට ඩුබායි, සිංගප්පූරු මෙන් දියුණු කරනවා යැයි පොරොන්දු දී පොඩි මිනිසා පන්නා දමා ඔවුන්ට උන්හිටිතැන් පවා අහිමි කළා. පොඩි මිනිසගේ ආර්ථිකය ශක්තිමත් නොකර රටේ ආර්ථිකය ශක්තිමත් කළ නොහැකියි.

මේ රටේ පොඩි මිනිසාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා නිදහස් ආර්ථිකය හදුන්වා දුන්නා. කොළඹ පොඩි මිනිහගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය ශක්තිය දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ලබාදුන් බව සඳහන් කරන්න කැමතියි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පුතුණුවන් වන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාට නොවැම්බර් 16 වැනිදා ඡන්දය ලබාදී පොඩි මිනිහගේÓ ආර්ථිකය ආරක්ෂා කර ගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා.

1977 වසරෙන් පසුව පොඩි මිනිසාගේ ආර්ථිකය දියුණුවට පත්වුණා. ඒත් සමඟ කොළඹ දියුණුවට පත්වුණා. එම දියුණුවට ඉරිසියාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා 2014 වසරේ ඔබ සියලූ දෙනා ව්‍යාපාරික ස්ථානවලින් පන්නා දැමුවා. පදික වේදිකාවේ වෙළෙදාම් කළ ව්‍යාපාරිකයන් පන්නා දමා ඒ වෙනුවට ෂැන්ග්‍රි ලා ව්‍යාපාරය ගෙනවිත් ගාලූ මුවෙදාර ලබා දුන්නා. ගාලූ මුවදොර පිටියේ වෙළෙදාම් කළ ව්‍යාපාරිකයන් එයින් පන්නා දැම්මා. එවැනි කාලයකට නැවත යනවා ද නැති නම් මෙම තත්ත්වය ආරක්ෂා කරමින් ඉදිරියට යනවා දැයි මම ඔබෙන් ප්‍රශ්න කරනවා. ඒ නිසා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඡන්දය ලබාදී එක්සත් ජාතික පක්ෂය සමඟ ඉදිරියට ගමන් කිරීමට එක්වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. කොම්පඤ්ඤවීදියේ නිවාස කඩා දමා මිනිසුන් එළවා දැමූ පිරිසකට නැවත රට භාර දෙනවා ද?. පොහොට්ටුවට දෙන ඡන්දය ඔබේ නිවාස කැඩීමට දෙන බලපත්‍රයක් බව මතක තබාගන්න. මෙම ප්‍රදේශය සංවර්ධනය කරන විට කිසිම පුද්ගලයෙක් අපි බලෙන් එළවා දැමුවේ නැහැ. ඒ වෙනුවට නිවාස සංකීර්ණ ඉදිකර නිවාස ලබා දී සංවර්ධන වැඩකටයුතු අප සිදු කළා. ඔබට තැනක් ලබාදී සංවර්ධනය අපි ඉදිරියට ගෙනයනවා.

එදා මේ රට ඩුබායි, සිංගප්පූරුව බවට පත් කරනවා යැයි කියා පොඩි මිනිහ පන්නා දැම්මා. ඔබත් සමඟ එක්ව සිංගප්පූරුව, ඩුබායි රාජ්‍ය අත්කරගෙන තිබෙන සංවර්ධනයක් මෙරට ඇති කිරීම අපේ අරමුණයි. දියුණුවක් අත්කරගෙන තිබෙන සිංගප්පූරුව තුළත් පොඩි මිනිසුන් ව්‍යාපාර සිදු කරගෙන යනවා. අඩු මිලට භාණ්ඩ එම වෙළෙඳ පොළ තුළින් මිලදී ගන්න පුළුවන්. මේ පිළිබඳව අවබෝධයක් නොමැති පිරිසකට රට භාර දෙනවා දැයි මම ඔබෙන් අහන්න කැමතියි.

අරුණ ඩයස්

(Visited 11 times, 1 visits today)

Related posts

Leave a Comment