යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ රුව සහ ඔහුගේ ප්‍රකාශයක්

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදාගනිමින් සති අන්ත පුවත්පත් කිහිපයක පළ කළ දැන්වීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මානව හිමිකම් කොමිසමට, ජනාධිපති ලේකම් කාර්යාලයට හා ආරක්ෂක අමාත්‍යංශයට ලිඛිතව පැමිණිලි කර ඇත.

මෙවැනි සිදුවීමකදී අවවාද කිරීම්වලින් ඔබ්බට ගොස් අවසාන තීන්දුවක් ගත යුතු යැයි ද මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස ලිඛිතව පැමිණිලි කිරීමට කටයුතු කළේ ඒ නිසා යැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවැසීය.

අදාළ දැන්වීම පළ කළ පාර්ශවයේ අනන්‍යතාව සම්බන්ධයෙන් දැන් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව ඇතැයි කී හෙතෙම එය හෙළිදරව් කරගැනීම අනාගත මැතිවරණ ක්‍රියාවලියේ සුපිලිපන්නභාවයට අත්‍යවශ්‍ය යැයි ද අවධාරණය කර කීය.

මැතිවරණවලදී කෙරෙන සීමා මායිමක් නොදන්නා ප්‍රචාරණ වියදම් වර්තමානය වනවිට ප්‍රජාතන්ත්‍රවාදයත් මහජන කැමැත්තත් විකෘති කරන තැන දක්වා ගමන් කර ඇතැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වර්තමාන යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නම, ඡායාරූපයක් සහ ප්‍රකාශයක් යොදා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුවත්පත් දැන්වීමක් පළ කිරීම මැතිවරණ නීති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පවසමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා විසින් පසුගිය 14 වැනිදා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර තිබිණි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා ඒ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසුවේ වර්තමාන යුද හමුදාපතිවරයාගේ මෙන්ම විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ නිල ඇඳුම් සහිත ඡායාරූප දේශපාලන පක්ෂයක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම නුසුදුසු ක්‍රියාවක් බවය. එම දැන්වීම තමන්ගේ අනුදැනුමකින් තොරව පළ කළ එකක් යැයි යුද හමුදාපතිවරයා ද ප්‍රකාශයක් කර තිබිණි.

(බිඟුන් මේනක ගමගේ | ලංකාදීප)

(Visited 13 times, 1 visits today)

Related posts

Leave a Comment