බඩු මිල අඩුකළා වැටුප් වැඩිකළා

මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

ජනාධිපතිවරණ වේදිකාව තුළ බඩු මිල, උද්ධමනය, උතුරේ ඉල්ලීම් ආදී කරුණුවලට මහත් වටිනාකමක් ලැබෙමින් තිබේ. විපක්ෂය ඉහත කරුණු ගැන එල්ල කරන චෝදනා පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මෙසේ අදහස් දක්වයි.

– අපි උද්ධමනය පහළ ගෙනාවා
– ශ්‍රීලනිපයේ සංවිධායකවරු දුසිම් ගණනින් එජාපයට එනවා 
– රාජපක්ෂලා හැටපන්දාහටත් ආදායම් බදු ගත්තා 
– වර්ජකයන්ගේ කනට ගැහුවෙත් ඉස්සුවෙත් නැහැ 
– ශ්‍රීලනිපය රැකගන්න පාක්ෂිකයන් සටන් කරනවා 
– බදු වැඩියි කීම අමූලික බොරුවක් 
– ගිය ආණ්ඩුවෙ බඩු මිල අපට වඩා වැඩියි

රටේ වර්තමාන ආර්ථික තත්ත්වය ගැන ඔබේ පැහැදිලි කිරීම මොකක් ද?

සංවර්ධන වේගය, අය වැය පරතරය, ඒකපුද්ගල ආදායම, අපනයන ආනයන පරතරය වගේම රටක ජනතාව සතුටුදායීව ජීවත්වෙනවාද කියනඑක මතත් ආර්ථිකය මනිනවා. රාජ්‍ය සේවකයාට ජීවත්වෙන්න සරිලන වැටුපක් ලැබුණෙ මේ ආණ්ඩුවෙන්. හැම රජයේ සේවකයකුටම විශාල වැටුප් වැඩිවීමක් වෙලා තියෙනවා. 2020 ජනවාරි වෙනකොට වැටුප් වැඩිවීම තවත් වැඩි වෙනවා. රටේ ආර්ථිකය හොඳ තැනකට ගෙනාවෙ මේ ආණ්ඩුව. එහෙම කළේ අධික ණය ගෙවන ගමන්. මේ ආර්ථිකය කළමනාකරණය කරන්න පුළුවන් අපිට විතරයි.

ඔබ එහෙම කිව්වත් පහුගිය කාලය පුරාම රාජ්‍ය අංශයෙ සේවකයන් වැටුප් විසමතා කියමින් වර්ජනවල නිරතවුණා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොම ද?

වර්ජනය කරන්න නිදහස තියෙනවා. එදා වගේ කාමරවලට එක්කරගෙන ගිහින් කනට ගහල එළවන, සුදු වෑන්වලින් උත්සන තත්ත්වයක් අද නැහැ.

වැටුප් වැඩිවුණත් විවිධ විසමතාවන් පවතින බව ඔවුන් නඟන චෝදනාවක් නේද?

3/2016 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුවත් විශේෂ වැටුප් කොමිෂන් වාර්තාව අනුවත් සාධාරණ වැටුප් වැඩිවීමක් හැම රාජ්‍ය සේවකයකුටම ලැබෙනවා. රාජ්‍ය සේවකයන්ට මේ ආණ්ඩුව තරම් කවුරුවත් සැලකුවෙ නැහැ. උදාහරණයක් විදිහට පසුගිය දවස්වල ස්ට්‍රයික් කළ විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලයෙ කාර්යාල කාර්ය සහායක වරයෙක් සියලු දීමනා එක්ක 2015දී ගත්තෙ රුපියල් 40,483 යි. 2020 වෙද්දි අපි ඒ මුදල රුපියල් 52391 දක්වා වැඩිකරල තියෙනවා. ඒ කියන්නෙ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක මණ්ඩලයේ පහළම ශ්‍රේණියෙ වැටුප් පවා අපේ ආණ්ඩුව යටතෙ රු. 11908 කින් වැඩිවෙලා තියෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සේවයෙ වෛද්‍ය නිලධාරී වැටුප 2015දී රු. 126985යි. 2020දී එය රු. 215920ක්. විශේෂඥ වෛද්‍ය වැටුප රු. 181950 ඉඳන් රු. 357810ක් දක්වා වැඩිකළා. ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයෙත් ඒ ආකාරයෙන්ම වැටුප් වැඩිකළා.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බොහොම කාලෙකට පස්සෙ වැටුප් වැඩිකළත් අපි. පොලිස් කොස්තාපල්ට තිබුණෙ රු. 48442යි. ඒක රු. 67492ක් වෙනවා. එතැන් ඉඳන් පොලිස්පති දක්වා අතරමැද ශ්‍රේණිවලටත් විශාල වැටුප් වැඩිවීමක් වෙනවා.

ශ්‍රී ලංකා පරිපාලන සේවය, දුම්රිය තැපැල් අංශවල පහුගිය කාලෙ විශාල ලෙස වෘත්තීය සටන් ඇතිවුණා නේද?

ඔව්. ඒ අයගෙ වැටුප් වැඩිවීම් ගැනත් මම කියන්නම්. මේව ජනතාවට හරියට කියන්න. මේ ගැන මාධ්‍ය කතා කරන්නෙ නැහැ. ශ්‍රී ලංකා පරිපාලන සේවය සහකාර ලේකම් සියලු දීමනා සහිතව හිටියෙ රු. 46235 වැටුප් තලයෙ. ඒක අපි රු. 70,500ක් කළා. අතිරේක ලේකම් රු. 83,190 ඉඳන් රු. 139770 දක්වා වැඩිකළා. කාර්යාල කාර්ය සහායක රු. 32,040 ඉඳන් රු. 35,050 ක් කළා. කළමනාකරණ සේවා නිලධාරී රු. 34,639 ඉඳන් රු. 41060ක් කළා. ලේකම් සේවය රු. 105315 ඉඳන් රු. 205425ක් කළා. දුම්රිය සේවයෙ විශාල වැටුප් වැඩිවීමක් කළා. දුම්රිය රියදුරු සහායක රු. 27,339 ඉඳන් රු. 42,215 දක්වා වැඩි කළා. දුම්රිය අධීක්ෂණ කළමනාකරණ සේවයෙ නියාමක, එන්ජින් රියදුරු, ස්ථානාධිපති රු. 28006 ඉඳන් රු. 43895 දක්වා වැඩිකළා. ශ්‍රී ලංකා තැපැල් සේවයට අදාළව කම්කරු රු. 32,040 යි තිබුණෙ. ඒක රු. 35,050ක් කළා. තැපැල්කරු රු. 32,592 ඉඳන් 36,330ක් කළා. උපතැපැල්කරු රු. 33638 ඉඳන් රු. 38895ක් කළා. රාජ්‍ය සේවකයන් සතුටෙන් තිබ්බොත් මහජනතාවට හොඳ සේවාවක් ලැබෙයි කියන තැන අපි ඉන්නවා.

මෙවැනි වැටුප් වැඩිවීමක් කළේ ණය වාරික ගෙවමින් කියලයි ඔබ කිව්වෙ. 2020 ණය වාරිකය ගෙවන්න ආණ්ඩුවට සැලසුමක් තියෙනව ද?

ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කරපු නිසා ණය වාරික ගෙවීම අපිට ගැටලුවක් වුණේ නැහැ. 2020 ණය වාරික ගෙවන්නත් සැලසුම් හදල ඉවරයි. මැතිවරණ තියෙන කාලවලදී ආණ්ඩුවෙ වියදම් වැඩිවෙනවා. විවිධ සහනාධාර දෙන්න ආණ්ඩු පෙළඹෙනවා. අපිට මූල්‍ය විනයක් තියෙන නිසා මැතිවරණයක් තිබුණත් රාජ්‍ය මුදල් යොදවල එවැනි සහන දෙන්න ගියේ නැහැ.

මේ තරම් ජනතාව මත බදු බර පටවපු ආණ්ඩුවක් ඉතිහාසෙම තිබුණෙ නැහැ කියන චෝදනාව ගැන ඔබ මොකද කියන්නෙ ?

අපි බලයට එනකොට මාසික ආදායම රුපියල් හැටපන්දහසට වැඩි හැම කෙනෙක්ම ආදායම් බදු ගෙවිය යුතු තැනක හිටියෙ. ඒක අපි රුපියල් ලක්ෂයෙ සීමාවට ගෙනාවා. 2020දී බදු ගෙවීමේ සීමාව රුපියල් එක්ලක්ෂ විසිපන්දහස දක්වා වැඩිකරනවා. මෙහෙම බදු සහන දීපු ආණ්ඩුවක් මීට ඉස්සර තිබුණෙ නැහැ. බදු වැඩියි කියල විශාල බොරුවක් සමාජගත කරමින් ඉන්නවා. ලක්ෂ 85ක් මේ රටේ වැඩ කරනවා. ආදායම් බදු ගෙවන්නෙ ලක්ෂ 6 ½ ක් විතරයි.

අපේ බදු ප්‍රතිපත්තිය ඉතාම සරලයි ජනතාවට පීඩාවක් ඇති නොවන විදියටයි අපි බදු එකතු කරන්නෙ. මේ බදු ප්‍රතිපත්තිය තවත් සරල කරන්න අපි කටයුතු කරනවා. රටේ උද්දමනය අපි පාලනයකින් පවත්වාගෙන යනවා. පසුගිය කාලයේ උද්ධමනය පහළට ඇවිත් තියෙනවා.

උද්ධමනය අඩු බව ඔබ කිව්වත්, ඒ බව ජනතාවට දැනෙන්නෙ නැති බවක් තමයි ඔවුන්ගෙ කතාබහෙන් තේරුම් යන්නෙ?

2015 අපි ආණ්ඩුව බාර ගන්නකොට තිබිච්ච භාණ්ඩ මිලයි අද තියෙන භාණ්ඩවල මිලයි කොයිතරම් වෙනස්ද? ප්‍රෙටල්, ඩීසල්, භූමිතෙල් එදාට වඩා අද අඩුයි. ගෑස් මිල විශාල ලෙස අඩුකළා. හාල්, පරිප්පු, අල, පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අද අඩුයි. රාජ්‍ය සේවක පඩිත් වැඩි කරපු භාණ්ඩ මිලත් අඩුකරපු ආණ්ඩුව ගැන විපක්ෂය බේගල් කියමින් යනවා. ඉදිරි ජනාධිපතිවරණයෙදි මේවට ජනතාව උත්තර දෙයි.

ජනාධිපතිවරණය ඉලක්කකරගෙන උතුරෙන් එන යෝජනා ගැන ඔබ මොකද කියන්නෙ?

ඔය හදන්නෙ මිනිස්සු බයකරන්න. උතුර දෙනවා, රට විකුණනවා. රට බෙදනවා කියන්න. අපිට හැමදාම ඔය චෝදනාව කරනවා. අපි මේ රට බෙදන්නෙත් කඩන්නෙත් නැහැ. ඡන්ද ගන්න හැමදාම කියන බොරුව මේපාරත් ඒ අය කියනවා. රට බෙදන්න ඉල්ලුවෙ ත්‍රස්තවාදීන්. දෙමළ දේශපාලන පක්ෂ ඉල්ලන්නෙ, ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලයබෙදීමක්. මේ බලය බෙදනවට දකුණෙ පළාත් මහ ඇමතිලත් කැමති වුණා. උතුරටයි දකුණටයි එක සමාන බලය බෙදීමකට ඔය කිසිම දේශපාලන පක්ෂයක් අකමැති නැහැ. ඔය චෝදනා කරන අය තමයි බිල්ලො මවල ඡන්ද පැරදුණාම ඇමරිකාවට පැනල යන්නෙ. මැතිවරණයෙන් පස්සෙ දවසෙම මේ අය අමෙරිකාවට යනවා. සජිත් ප්‍රේමදාස මහත්තයගෙ පියාගෙ ජීවිතය පැහැර ගත්තෙ දෙමළ ත්‍රස්තවාදය. එහෙම කෙනෙක්ගෙ පුතා මේ රට පාවල දෙනව ද?

පහුගිය ජනාධිපතිවරණයෙදි රාජපක්ෂවරු පරාජය කරන්න තීරණාත්මකව ඡන්දය පාවිච්චි කරපු උතුරු, නැ‍ඟෙනහිර දෙමළ ජනතාවගෙ ගැටලු ගැන මේ ආණ්ඩුව සොයා බැල‍ුවෙ නැහැ කියන චෝදනාව ගැන මොකද කියන්නෙ?

උතුරු, නැ‍ඟෙනහිර ආර්ථික වර්ධනය 2015ට පෙර තිබුණට වඩා හොඳයි. මාර්ග, අධ්‍යාපන, සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වියදම් කළා. බැංකුවලින් ලබාගත් ණය වැඩිහරියක් කපා හැරියා. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇතිකළා. විවිධ ආයෝජන, කර්මාන්ත ආරම්භ කළා. නිවාස වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වුණා. පෞද්ගලික ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කළා. සජිත් ප්‍රේමදාස දිනවල උතුරෙ ඊළඟ ගැටලුවලටත් උත්තර හොයාගමු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ගෝඨාභය රාජපක්ෂයි අතර අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් මොකද කියන්නේ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ආසන සංවිධායකවරු දුසිම් ගණනින් එක්සත් ජාතික පක්ෂය එක්ක වැඩ කරන්න එකතුවෙනවා. දැන් තියෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙවෙයි. පවුලක් අයිති කරගන්න හදන පක්ෂයක්. ඒක ගැන පාක්ෂිකයො අතර කලකිරීමක් තියෙනවා. ඒ අය අපි එක්ක එකතුවෙලා සජිත් ප්‍රේමදාස ජනාධිපතිකරවන්න සූදානම්. ඒ හරහා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අලුත් මුහුණුවරක් ගන්නවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගන්න සටන පාක්ෂිකයො පටන් ගනීවි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකය හැටියට තෝරගත්තෙ පවුලෙ කට්ටිය එකතුවෙලා. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ වුණේ නැහැ. ගෝඨා පොදු අපේක්ෂකයෙක් නෙවෙයි. පවුලේ අපේක්ෂකයා.

දුමින්ද සම්පත්

(Visited 15 times, 1 visits today)

Related posts

Leave a Comment