මෙවර ජනපතිවරණය කතුන්ට තීරණාත්මකයි

සජිත් දිනවීමෙන් යහපත් අනාගතයක් උදාවෙනවා

මෙවර ජනාධිපතිවරණය කාන්තාවන්ට තීරණාත්මක මැතිවරණයක් බවත් කාන්තා අයිතිවාසිකම් රකින ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීම තුළින් කාන්තාවන්ට ස්ථිර යහපත් අනාගතයක් උදාකර ගත හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (31) නුගේගොඩ නගරයේ පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පැවැති ජන රැලිය අමතමිනි. මෙය ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් (කැබිනට් නොවන) ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සංවිධාන කර තිබිණ.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අගමැතිවරයා,

ඉදිරි ජනාධිපතිවරණය අප සැමට ඉතාමත්ම තීරණාත්මක ජනාධිපතිවරණයක්. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වැනි දියුණු ප්‍රදේශවලට මෙන්ම මේ හමුවට සහභාගි වන මැද පන්තියට මෙය ඉතා වැදගත් ඡන්දයක්. මේ හමුවට සහභාගි වූ සියලු දෙනාට මා පළමුව ස්තුතිය පුද කරනවා. රාජපක්ෂ පාලනය අවසන් කරන්න 2015 දී අප කටයුතු කළා. අලුත් වාතාවරණයක් රට තුළ අපට ඇති කිරීමට හැකි වුණා. මේ වන විට රට තුළ වත්මන් රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර තිබෙනවා. ජනතාවට සම්පූර්ණ නිදහස ලබාදී තිබෙනවා. බොහෝ මාධ්‍යයන් මාවත් විවේචනය කරනවා. හැබැයි ඔවුන් ගෙන යන්න සුදු වෑන් අද නැහැ. ඒ වෙනුවට තිබෙන්නෙ සුව සැරිය. ඒ වගේම ජනතාව විවිධ විරෝධතාවන් නිදහසේ දක්වනවා. අප රට භාර ගන්නා අවස්ථාවේ තිබූ ණය බර අප විසින් අඩු කර තිබෙනවා. ණය බර සම්පූර්ණයෙන් අප නැති කරන්න ඕනෙ. ඒ වගේම සෞඛ්‍යයට අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් අප වියදම් කර තිබෙනවා. මේ තත්ත්වයට තව දුරටත් ඉදිරියට ගෙන යනවාද කියන තීරණය අප විසින් ගත යුතුයි.

අපගේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තමන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වූවා. එහි අප කරගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම, අලුත් ප්‍රතිපත්ති ආදිය අඩංගු වෙනවා. අපේ උත්සාහයෙන් මේ රට තව තවත් දියුණු රටක් බවට පත් කිරීමයි. ඒ සඳහා ඉදිරි දිනවල දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී හංසයා ලකුණ ඉදිරියේ කතිරය ගසා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ජනාධිපති ලෙස පත් කරන ලෙස ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා. මේ ජයග්‍රහණයත් සමඟ රටේ ජනතාවගේ අනාගතය ද ස්ථිර වෙනවා.

අපගේ නව වැඩපිළිවෙළ තුළින් සමාජ විප්ලවයක් ඇති වෙනවා. මේ රටේ ජනග්‍රහණයෙන් බහුතරය කාන්තාවන්. කාන්තා අයිතිවාසිකම් ශක්තිමත් කරන්න ඕනෙ. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට විසිපහක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කළා. ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් තවත් වැඩසටහන් ගණනාවක් ආරම්භ කළා. ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ල ලබාදෙනවා.

කාන්තාවන් රටේ වැදගත් කාර්යයන් කරනවා. රටේ වැදගත් ස්ථායන්හි කාන්තාවන් සිටිනවා. ඇඟලුම් කර්මාන්තයේ, මැදපෙරදිය රැකියාවල, වැවිලි ක්ෂේත්‍රයේ, ගුරු වෘත්තියේ, හෙද සේවයේ, ලිපිකරු සේවයේ, පරිපාලන සේවයේ ආදී සේවාවන්හි කාන්තාවන් කටයුතු කරනවා. උසස් පෙළ විභාගයෙන් ශිෂ්‍යාවන් විශාල ලෙස සමත් වනවා. ඒත් කාන්තාවන්ට තිබෙන අයිතිවාසිකම්වල ගැටලු පවතිනවා.

කාන්තාවන්ට ඇතැම්විට ලිංගික අතරවරවලට මුහුණදීමට සිදුවෙනවා. දූෂණය ආදි ගැටලු කාත්වන්ට ඇති වෙනවා. රැකියා ස්ථානවල ගැටලු පවතිනවා. මෙවැනි දේට මුහුණ දෙන කාන්තාවන්ට ඒවා විසඳා ගනිමින් සමාන ස්ථානයක් හිමි කර දීමට අප බලාපොරොත්තු වනවා. ඒ සඳහා වැඩපිළිවෙළ ඉදිරි අවුරුදු පහේ දී ක්‍රියාත්මක කරනවා.

ප්‍රාදේශීය සභාවේ පවතින්නේ බිම් මට්ටමේ හඩක් පමණයි. පළාත් සභාවේ ද සියයට විසිපහක් කාන්තා නියෝජනය සඳහා වෙන් කරන්න කටයුතු කරනවා. ඒ වගේම සාධාරණ අන්දමින් කාන්තාවන් නම් කිරීමේ කටයුතු සිදු කරනවා. පළාත් සභාවල වෙනම කාරක සභාවක් තිබෙනවා අදාළ ප්‍රදේශයේ කාන්තාවන්ගේ ප්‍රශ්න පිළිබඳ සොයා බලා පියවර ගැනීමට. ජාතික මට්ටමේ කාන්තා නියෝජනය ද ඉතා වැදගත්. අපේ අලුත් ව්‍යවස්ථාවේ යෝජනාවක් තිබෙනවා පාර්ලිමේන්තුව හා සමාන ද්විතීය මණ්ඩලයක් ඇති කරන්න. මෙවැනි මණ්ඩල ලෝකයේ බොහෝ රටවල තිබෙනවා. සෑම පළාත් සභාවකින්ම මන්ත්‍රීවරුන් හතර දෙනෙක් මෙහි නියෝජිතත්වයට පත් කරනවා. ඒ මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සියයට විසි පහක් කාන්තාවන් ලෙස පත් කරනවා. ඒ නිසා පළාත් සභාවට පත්වන කාන්තාවන්ගෙන් කොටසක් ද මෙයට පත්කළ හැකියි. ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා මෙයට ඇතුළත් වෙනවා. මේ ද්විතීය මණ්ඩලයට නැත්නම් සෙනෙට් සභාවට බලය දෙනවා කාන්තාවන්ට අදාළ නීති පරීක්ෂා කරන්න, කාන්තාවන්ට අදාළ අයිතිවාසිකම් නොලැබෙනවා නම් ඒ පිළිබඳ වාර්තා කිරීමට. මෙවැනි දේද අප ලබාදීමට බලාපොරොත්තු වනවා. ප්‍රාදේශීය සභා මට්ටමේ සිට ජාතික මට්ටමට දේශපාලන වශයෙන් කාන්තාවන්ට නියෝජනය දෙනවා. මේ සෙනෙට් සභාවට එන සභිකයන්ට අධ්‍යාපන සුදුසුකම් ද දක්වා තිබෙනවා. මෙය අදාළ ක්ෂේත්‍රයටම වැදගත් වෙනවා. ජනතාවගේ අදහස්වලට අප සවන් දෙනවා. ඒවා ක්‍රියාත්මක කරන මාර්ග අප ඇති කරන්න ඕනෙ.

ස්ත්‍රී දුෂණ පිළිබඳ, ලිංගික අපරාධ පිළිබඳ නීති ක්‍රියාත්මක වෙනවා. ඇතැම් විට බාධක ඇති වෙනවා. ප්‍රමාද දෝෂ තිබෙනවා. එවැනි අපරාධවලට ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා නව නීති සකස් කරනවා. ඒ වගේම අදාළ අංශයන් කාර්යක්ෂම කිරීමට කටයුතු යොදනවා. කාන්තාවන් අධ්‍යාපනය ලබා ගත්තත් ශ්‍රම බළකායට ඇතුළත් වෙන්නෙ සියයට තිස් හතක් වගේ පිරිසක්. එම සංඛ්‍යාව වැඩි කරන්න ඕනෙ. ඒ වගේම කාන්තාවන්ට සම වැටුප් ලබාදීමට ද ක්‍රියා කරනවා. නිවාඩු ලබාදීම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කිරීම වැනි කාර්යයන් ද කාන්තාවන් ශක්තිමත් කිරීමේ වැඩසටහනට අයත්. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දෙස බලා හංසයා ඉදිරියෙන් කතිරය ගසන්න කියා මා කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා.

එදා කාන්තාවන් සියයක් දූෂණය කළ සභාපතිවරයකු පාටි දැම්මා. පොලිසිය බාරව සිටි ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතායි. එදා තංගල්ලේ දී ඉංග්‍රීසි කාන්තාවක් දූෂණය කළා. ඒ සම්බන්ධයෙන් ගත් පියවර මොනවාද. එදා සිටි පාලකයන් මේවා සම්බන්ධයෙන් ක්‍රියා කළේ කොහොමද කියා ජනතාව දන්නවා. මෙවැනි දේ පාලනය කිරීමට නීතිය වෙනස් කළ යුතු බව එදා පාලකයන් ප්‍රකාශ කළාද?. පැවැති ආණ්ඩුව ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට කොහොමද සැලකුවෙ. මේවාට විසඳුම් දීමට ලේකම්වරයා ලෙස ගෝඨාභය මහතාට නොහැකි වුණා නම් ජනාධිපති වෙලා කොහොමද ඒවා කරන්නෙ. ඔහුගෙන් එම ප්‍රශ්නය අප අහනවා. ඒ වගේම බහුතරයක් වන කාන්තාවන්ගෙන් ඡන්දය ඉල්ලීමට ඔහුට කිසිම අයිතියක් නැහැ. කාන්තාවන් ආරක්ෂා කරන්න බැරිනම් කොහොමද ජාතික ආරක්ෂාව ඇති කරන්නෙ. ගැටලු සහිත පුද්ගලයන්ට කොහොමද රට බාර දෙන්නෙ. මේ මැතිවරණය කාන්තාවන්ට තීරණාත්මක ඡන්දයක්.

උපාලි කරුණාරත්න

(Visited 16 times, 1 visits today)

Related posts

Leave a Comment