රටේ මුදල් නාස්ති කරන වැඩවලට තිත තබනවා

බදුවලින් යැපෙන ජනපතිවරයෙක් වෙන්නේ නෑ

සජිත් නුගේගොඩ දී කියයි

ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් සමඟ රටේ මුදල් කාබාසිනියා කරන වැඩසටහන්වලට සම්පූර්ණයෙන් තිත තබන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (31) නුගේගොඩ නගරයේ පැවැති ජන රැලිය අමතමිනි. මෙය ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් (කැබිනට් නොවන) ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සංවිධාන කර තිබිණ.

ප්‍රතිඵල කේන්ද්‍ර කර ගත් රාජ්‍ය පාලනයක් අප අනුගමනය කරන බව ද මෙහි දී ප්‍රකාශ කළ සජිත් ප්‍රේමදාස මහතා, බදු ගෙවන ජනතාවගේ මුදලින් නඩත්තු වන ජනාධිපතිවරයකු නොවන ලෙස හැකි තරම් දුරට කටයුතු කරන බව ද කීය. 16 දිනෙන් පසු දැනට පවතිනවාටත් වඩා මාධ්‍ය නිදහසක් ලබා දෙන බව කී ජනාධිපති අපේක්ෂකවරයා තම ප්‍රතිවාදී අපේක්ෂකයාට තමා හා විවාදයකට එන ලෙස නැවත නැවතත් අභියෝග කරන බව ද පැවැසීය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා,

සම්පත් සහ ධනය නිසා රටක් ශක්තිමත් වෙනවා. රටක් ඉදිරියට යන්න රටකට හොඳ ආර්ථික හයියක් තිබෙන්න ඕනෙ. ඒ සඳහා මැතිවරණ හරහා පාලක පැලැන්තියක් නිර්මාණය වෙනවා. ඔවුන්ගේ යුතුකම වන්නෙ රටේ තාවකාලික බාරකරුවන් ලෙස උපරිම වශයෙන් රට සංවර්ධනය කිරීම. ඇතැමුන් සිතනවා මේ බාරකාරත්වය සින්නක්කර ඔප්පුවක් බව. ඔවුන් මහජනතාවගේ බදු මුදලින් තම පවුලත් සමඟ පෝෂණය වී රටේ ජාතික ආදායම තම පෞද්ගලික සුඛ විහරණය සඳහා යොදා ගන්නා අන්දම පසුගිය කාල වකවානුවේ අප දුටුවා. එම ක්‍රමවේදය නිසා බොහෝ දෙනා ප්‍රකාශ කරනවා මහජන නියෝජිතයන්ගෙන් වැඩක් නොමැති බව.

16 දින ජනතාව මට ලබාදෙන ශක්තියත් සමඟ මේ ක්‍රමය වෙනස් කරනවා. රටේ බදු මුදල් පොදු ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කැප කරනවා. මවු බිමේ ස්වර්ණමය සංවර්ධන යුගය ආරම්භ කරනවා. මින් ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයාට අගමැතිවරයාට තීරු බදු රහිත වාහන බලපත්‍රය තහනම්. ආණ්ඩු මාරුවන ගාණට අමාත්‍යාංශවලට වාහන ගෙන්වන ක්‍රමයක්ද ක්‍රියාත්මක වනවා. 16 දින ජයග්‍රහණයත් සමඟ රටේ මුදල් කාබාසිනියා කරන ඒ දෙයටත් සම්පූර්ණයෙන් තිත තබනවා. ඒ වගේම ජනාධිපතිවරයාට, අගමැතිවරයාට ගිහින් ඉන්න රජ මාලිගා වගේ නිල නිවාස තිබෙනවා.

මේවා නඩත්තු කරන්නෙ රටේ ජනතාව. තමුන්නාන්සේලා ගෙවන සෘජු බදු සහ වක්‍ර බදුවලින් ලැබෙන ආදායමින් තමයි ඒවා නඩත්තු වන්නෙ. මේ බදු මුදල්වලින් පාසල්, රෝහල් පද්ධතිය දියුණු කරන්න අපට නොහැකිද. නිවාස නොමැති පුද්ගලයන්ට නිවාස ලබාදීමට එම මුදල් යෙදවිය නොහැකිද. යම් පුද්ගලයකුට මේ රටේ ඡන්ද අයිතිය තිබෙනවා නම් ජාතික හැඳුනුම්පතක් තිබෙනවා නම්, මේ රටේ පුරවැසියෙක් නම් ඔහුට ඉඩමක් නිවෙසක් තිබිය යුතුයි. ඒක ජනතාවගේ මානව අයිතියක්. මගේ වැඩපිළිවෙළ සාම්ප්‍රදායික දේශපානඥයන්ට අමිහිරි වන්න පුළුවන්. මගේ ජයග්‍රහයත් සමඟ දේශපානඥයන්ගේ සුරසැප කාලය අවසන්. දේශපාලනඥයෙක් විදේශීය නිල සවාරියක යනවා නම් ඔහු රටට සම්පත් රැගෙන ආ යුතුයි. මේ වන විට රටේ ජනතාවට සම්ප්‍රදායානුකූල දේශපාලනය තිත්ත වෙලා තිබෙන්නෙ.

ප්‍රතිඵල කේන්ද්‍ර කර ගත් රාජ්‍ය පාලනයක් අප අනුගමනය කරනවා. පරාර්ථකාමී දේශපානයක් මා ක්‍රියාත්මක කරනවා. මේ රටේ බොහෝ දෙනෙක් බදු බරින් මිරිකිලා. මට මේ රටේ ජනතාවගේ හද ගැස්ම හොඳින් තේරෙනවා. රටේ ජනාධිපතිවරයා ලෙස මා පත්වන විට මගේ පාවිච්චිය සඳහා එකදු වෙඩි නොවදින හෝ සාමාන්‍ය වාහනයක්වත් පිටරටින් ගෙන්වන්නේ නෑ. දැනට තිබෙන වාහන ටික ප්‍රමාණවත්. ජනාධිපතිවරයා ලෙස මට ලැබෙන වැටුප දීමනා සියලුම පුද්ගලික පහසුකම් මම ආපසු ලබා දෙනවා පොදුජන සේවයට. මම රජයේ නිල නිවාසවල ඉන්නෙ නැහැ. මම පුළුවන් තරම් දුරට බදු ගෙවන ජනතාවගේ මුදලින් නඩත්තු වන ජනාධිපතිවරයකු වන්නෙ නැහැ. මන්ත්‍රීකම කියන්නෙ රස්සාවක් නොවේ.

ජනතා සේවයක්. පවතින රාමුවෙන් පිට පැන අලුත් ලෙස සිතා නව දැක්මක් තුළින් ගමනක් යෑමට මා කටයුතු කරනවා. ඒ වගේම සුදුස්සාට සුදුසු තැන ලබාදෙන ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා. ඒ නිසයි ආරක්ෂාව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන්නෙ. මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා මේ වන විට පිළිඅරන් තිබෙනවා යුද්ධය අවසන් කෙළේ සහෝදර පරම්පරාව නොව සරත් ෆොන්සේකා මහතා බව. ඔහුගේ ටෙලි ප්‍රොම්ටරය පචවාහිනිවලින් පෙන්වන්නෙ නැහැ. මම එවැනි දෙයක් යොදා ගත්තා නම් ප්‍රවෘත්ති දෙකේ හෙඩ් ලයින්. අප ඇති කර තිබෙන මාධ්‍ය නිදහස එමගින් පෙනෙනවා. යුද්ධය අවසන් වූ පසු මොනවද නොකළෙ. පොළොව ඉම්බා. කටවුට් ගැහුවා. ටෙලි නාට්‍ය හැදුවා. ගීත නිර්මාණ කළා.

අපට පුළුවන් ප්‍රතිවාදී අපේක්ෂකයා සමඟ ස්වාධීන තැනක මධ්‍යස්ථ තැනක ප්‍රතිපත්ති පිළිබඳ විවාදයක් කරන්න. එවිට ජනතාව තේරුම් ගනියි කාගෙ ප්‍රතිපත්ති සුදුසු ද කියා. මම නැවත නැවතත් අභියෝග කරනවා කරුණා කර විවෘත විවාදයකට එන ලෙස. ඵෙතිහාසික කෝට්ටේ පුරවරයේ මේ ස්ථානය ද ඒ සඳහා සුදුසුයි. මාත් සමඟ විවාද කරන්න බය නම් ජනාධිපති අයියා සමඟ එන්න කියා මා කියනවා. ඒත් බැරිනම් පවුල් පරපුරම රැගෙන එන්න. මට දේශපාලන කුක්කො එක්ක වාද විවාද කරන්න අවශ්‍ය නැහැ. මම රණසිංහ ප්‍රේමදාසගේ ජානවලින් ශක්තිමත් වූ පුද්ගලයෙක්.

කෝට්ටේ මැතිවරණ කොට්ඨාසයේ තිබෙන නිවාස ගැටලුව ද 2025 දී රටේ සියලු දෙනාට සෙවණ ලබාදෙන විට විසඳෙනවා. 16 දිනෙන් පසු නිවාස පිළිබඳ වගකීම් දරන ආයතන එකම අමාත්‍යාංශයක් යටතට ගෙන එනවා. සම්බුද්ධ ශාසනයට මුල්තැන ලබා දෙමින් ප්‍රායෝගික බෞද්ධයෙක් ලෙස වෙහෙර විහාරස්ථාන ගොඩ නඟන්න දැවැන්ත කාර්ය භාරයක් ඉෂ්ට කරනවා. ඉදිරියේ දී චෛත්‍ය එක්දහස් එකසිය විසි පහක් ඉදිවෙනවා. ගස් යට දහම් අධ්‍යාපනය ලැබූ දූ දරුවන්ට අදාළ පහසුකම් ලබා දුන්නෙ මේ රජයයි. හැබැයි මම රන් වියන ඉදිරිපිට කාර් රේස් යන්නෙ නැහැ. දළදා මාලිගාව ඉදිරිපිට කවුද විකාර නැටුවේ.

හර්ෂ ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කළ ගිලන් රථ සේවය නිසා රටේ ජනතාව කොතරම් ප්‍රයෝජන ලබනවාද. පසුගිය පාලනය කළේ ඔවුන් කුමක් හෝ ගමක වැඩකට යන විට ගමේ රෝහලේ තිබෙන ගලන් රථය රැගෙන යෑමයි. අප දූෂිතයන්ට පත්වීම් ලබා දෙන්නෙ නැහැ. මේ අවස්ථාව සඳහා මහා සංඝරත්නය, මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

උපාලි කරුණාරත්න

(Visited 14 times, 1 visits today)

Related posts

Leave a Comment