රතන හිමියි-හිස්බුල්ලායි එකම වේදිකාවේ

ෂරියා සරසවිය පිරිවෙණ වෙලා ද?

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා දැන් සිටින්නේ එකම වේදිකාවක බවත්, ෂරියා විශ්වවිද්‍යාලය රතන හිමියන්ට දැන් පිරිවෙණක් වෙලා ද යන ප්‍රශ්නය ජනතාවට මතුව තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් (8) දා නාවලපිටිය බස් නැවතුම් පොළේ පැවති ප්‍රචාරක රැස්විමක් අමතමින් ඒ මහතා මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේද ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩී ඉවරයි. ලොකු කෑල්ල අරගෙන ගිහින් පොදු ජන පෙරමුණ හැදුවා. පොඩි කෑල්ල තියන් හිටියා මෛත්‍රිපාල සිරිසේන මහත්තයා. දැන් ඒ පොඩි කෑල්ලත් අරන් ගිහින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණට හේත්තු කර තිබෙනවා. මේකට විරුද්ධව චන්ද්‍රිකා හිටපු ජනපතිවරිය හා වෙල්ගම මන්ත්‍රීවරයා තවත් කණ්ඩායමක් එක්ක ශ්‍රීලංකා නිදහස් පක්ෂය සුරකිනවා කියා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙන්න තීරණය කළා. මේ තීන්දු දෙකටම එඟ නැති ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෝ පිරිසකුත් ඉන්නවා. ඒ පාක්ෂිකයන්ට මම කියන්නේ දැන් ඔබලා ජාතික ජනබලවේගය සමඟ එකතු වෙන්න කියායි.

පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ අන්තවාදී සුළු මුස්ලිම් ජාතික කණ්ඩායමක්. මහින්ද රාජපක්ෂ මහත්තයා කටයුතු කළේ රට පුරා මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් ගෙන ගොස් මෙහි වගකීම සමස්ත මුස්ලිම් ජනතාව මත පැටවීමටයි. මේ නිසා මුස්ලිම් ජනතාවට බියෙන් හා සැකයෙන් ජීවත් වෙන්න සිද්ධ වුණා. අපි දන්නවා ඒකට පොදු මුස්ලිම් ජනයා සම්බන්ධ නැහැ. පොදු මුස්ලිම් ජනයා ඒකට විරුද්ධයි.

මුස්ලිම් විරෝධයක් ඇති කර සිංහල ජනයාගේ කැමැත්ත ගන්න මහින්ද රාජපක්ෂ කණ්ඩායම උත්සහ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හාමුදුරුවෝ දළදා මාලිගාව ඉදිරිපට මාරාන්තික උපවාසයක් ආරම්භ කර කිව්වේ ආසාද්සාලි, රිෂාඩ් බදුර්දීන්, හා ඉස්බුල්ලා තනතුරුවලින් ඉවත් කරන්න කියායි. තැන්තම් එතනම මැරෙනවා කියා තමයි උන්වහන්සේ කිව්වේ. ඊට පස්සේ පොස්ටර් ගැහුවා රතන හාමුදුරුවන්ට මොනවා හරි වුණොත් අපි ගිනි තියාගන්නවා කියා. අපිත් බය වෙලා හිටියේ මොකක් හරි වුණොත් රට ගිනි ගනී කියා. ඒ වෙලාවේ මුස්ලිම් නායකයෝ තනතුරුවලින් ඉවත් වුණා, ඊට පස්සේ රතන හාමුදුරුවෝ නැගිට්ටා. මේ ඡන්දෙදි ඉස්බුල්ලා මහතා තීරණය කළා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දෙන්න. රතන හාමුදුරුවොත් තීරණය කළා ගෝඨාභය රාජපක්ෂ මහතාට උදව් කරන්න. දැන් ඉස්බුල්ලයි රතන හාමුදුරුවොයි දෙන්නම ඉන්නේ එකම වේදිකාවේ.

දැන් කාටද ලැජ්ජ නැත්තේ. කෝ දේශපාලන සාදාචාරය. එ කාලේ රතන හිමි කෑ ගැහුවා ඉස්බුල්ලා හදපු විශ්ව විද්‍යාලය ෂරියා විශ්වවිද්‍යාලයක් කියා. අද ගෝඨාභය රාජපක්ෂගේ වේදිකාවේ ඉන්න කථිකයෝ ඔක්කොම මේ මතයේ හිටියේ. ෂරියා විශ්වවිද්‍යාලයක් රටට අවශ්‍යය නැහැ. ඒක ඇත්ත. නමුත් එදා හඬ නඟපු අය දැන් මුකුත් නොකියන එකයි ප්‍රශ්නය. මේ අය හැසිරෙන්නේ ෂරියා විශ්වවිද්‍යාලය පිරිවෙණක් කියා හිතාගෙන ද කියා සැකයි. මේක දේශපාලනය නෙවෙයි.මේකට කියන්නේ දෙබිඩිකම කියලයි. මේ අය තමන්ට ඕනේ වුනාම ජාතිවාදය පතුරනවා. ඕන නැති වුනාම නිහඬව මුකුත් නොදන්න ගානට ඉන්නවා.

අසේල කුරුළුවංශ

(Visited 67 times, 1 visits today)

Related posts

Leave a Comment