පොහොට්ටුවට 3/2 දෙන්න රනිල් ගහන ගැටේ!

එක්සත් ජාතික පක්ෂයේ අවුල නිවී නිවී පත්තුවන්නා සේ ය. ‘කෘත්‍යාධිකාරිය’ සහ ‘හතරදෙනාගේ කමිටුව’ යන කිසිවකින් අවසන් තීන්දුවක් නොලද ‘ලකුණ පිළිබඳ ගැටලුව’ මේ වන විට ‘පඹ ගාලක්’ බවට පත්ව ඇත්තේ ය.

කලින් සතිය අවසන් වන විට, ගැටුම තිබුණේ ‘අලියා ලකුණ’ සහ ‘හදවත ලකුණ’ අතර ගැටුමකි. එහෙත් මේ සතිය අවසන් වන්නේ ‘අලියා ලකුණ’ සහ ‘හංසයා ලකුණ’ අතර ගැටුමකිනි.‘‘හදවත ලකුණට ඔබතුමන්ලා බලාපොරොත්තු වන හාරත ලකුණ නං දෙන්න විදියක් නෑ… හදවත ලකුණ ඕනැ නං මනුස්ස හදවතක ලකුණක් තමයි දෙන්න වෙන්නෙ… ’’ යනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද පවසා තිබුණෙන්, මේ වන විටත් ‘හදවත’ ‘ගැටුම් චක්‍රයෙන්’ එළියට විසි වී තිබේ.

කෙසේවෙතත් ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරුවේ මැතිවරණ කොමිසමට ගිය රවී, අකිල, කබීර් හෂීම්, මද්දුම බණ්ඩාර යන නියෝජිතයින් ‘ලකුණ සම්බන්ධයෙන්’ මැතිවරණ කොමිසමේ උපදෙස් ලබාගෙන මැතිවරණ ලේකම් කාර්යාලයෙන් එළියට බැස ආහ. මෙහිදී එ.ජා.පෙ. සන්ධානයේ රංජිත් මද්දුමබණ්ඩාර ගමන ඉක්මන් කරමින් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට යන අතරතුර එ.ජා.ප. මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මාධ්‍යයට ‘වොයිස් කට් එකක්’ දුන්නේ ය.

ඉන් කියැවුණේ ‘‘අපි අලියාගෙන් තරගකරන්න තීන්දුවක් අරගෙන ඉන්නෙ… හංසයාගෙන් යන්න කිසිම තීන්දුවක් නෑ…’’ යන්නයි.

එහෙත් ඒ වන විටත්, රනිල් පිල සහ සජිත් පිල අතර එවන් එකඟතාවක් නොපැවතුණි. වෙබ් අඩවිවල පළ වූ මෙම ‘වොයිස්කට් එක’ දුටු සජිත් පිලේ අයට ඒ කතාව නිසා ‘අසූ හාරදාහට’ කේන්ති ගොස් තිබුණි. ඒ නිසාම පාර්ලිමේන්තුවෙන් එළියට ආ රංජිත් මද්දුම බණ්ඩාර ‘එකට එක කියන අදහසින්’ ම මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට ‘වොයිස්කට් එකක්’ දුන්නේ ය.

ඉන් කියැවුණේ මෙවැන්නකි.

‘‘අපි මැතිවරණයට යන්නෙ අලියා ලකුණින් නෙවෙයි… හංසයා ලකුණින්…’’

කෙසේවෙතත් මේ ‘වොයිස් කට් දෙක’ අතරතුර ‘කාලයේ පරතරය’ පැයක් පමණක් වීම ද සුවිශේෂී දෙයක් වූ අතර මෙම ‘වොයිස් කට් දෙකෙහි’ පරස්පර බව සවස පැවති කෘත්‍යාධිකාරියේ ගැටුමක් අනිවාර්ය වන බව ඉඟි කරමින් තිබුණේ ය.

අලියා නැතුව ඡන්දෙ ඉල්ලන්නෙ නෑ – නවීන්

බ්‍රහස්පතින්දා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේ සිරිකොතේදී ය. සාමාන්‍යයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කතා නොකරන රුවන් විජේවර්ධන එදා, බ්‍රහස්පතින්දා කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ මුලින් ම නැඟී සිටියේ ‘අලියා ලකුණේ බරපතළකම’ කීමට යි.

‘‘අපේ පක්ෂයට අලියා ලකුණේ අනන්‍යතාව ලැබිල තියෙන්නේ පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමාගේ කාලෙ ඉඳන්… ඔබ දන්නවා… ඇමරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂයේ ලකුණත් අලියා… අනික් කාරණය තමයි අලියා අපේ දේශීය සංස්කෘතිය එක්ක හොඳින් ම බද්ධ වෙලා තියෙන සංකේතයක්… ඒ නිසා ළඟ එන මහ මැතිවරණයේදිත් අපි තරගවැදිය යුත්තේ අලියගෙන් ම තමයි…’’ රුවන් කීවේ ය.

රුවන් සිය කතාව පවත්වා අසුන්ගන්නා විට ම සභාව ඉදිරිපිට නැඟී සිටියේ නවීන් දිසානායක ය. එසේ නැඟී සිටිමින් ඔහු පැවැත්වූ කතාව ද රුවන් විජේවර්ධනගේ කතාවට දෙවැනි නැත.

‘‘මගේ තාත්තත් මේ පක්ෂයේ දැවැන්තයෙකු ව හිටියා… මමත් එහෙමයි… කුඩා කාලේ ඉඳන් ම එක්සත් ජාතික පක්ෂය එක්ක වැඩ කළා… මම කියන්නෙ ‘අලියා’ කියන්නෙ අපි දිවිහිමියෙන් රැකගත යුතු ලකුණක්… මම කියන්නෙ තමුන්නාන්සේලා වෙන ලකුණකින් ඉල්ලනව නං ඉල්ලන්න… හැබැයි මට නුවරඑළියෙන් විතරක්වත් ‘අලියා ලකුණින්’ තරග වදින්න දෙන්න… මම නං මේ පාර ‘අලියා’ නැතුව වෙන ලකුණකින් ඡන්දෙ ඉල්ලන්නෙ නෑ…’’ නවීන් දිසානායක කීවේ ය.

නවීන් දිසානායක වාඩි වන විට ම නැගී සිටියේ ‘පාලිත රංගෙ බණ්ඩාර’ ය.

‘‘කවුරු හරි හිතනව නං, පක්ෂයක ලකුණක් හිතෙන හිතෙන වෙලාවට වෙනස් කරන්න… ඒක මහ අඳ බාල වැඩක්… එහෙම හිතුණු හිතුණු වෙලාවට පක්ෂවල ලකුණු මාරු කරන්නෙ නෑ…’’ ආදී වශයෙන් රංගෙ බණ්ඩාර ද සිය කතාව පැවැත් වූයේ ය.

රනිල්ගේ ‘සිට් ඩවුන්’ විධානය

බදුල්ලේ රවීන්ද්‍ර සමරවීර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හමුවේ නැඟී සිටියේ මේ අතර ය.

‘‘මේ කතා කළ ඔක්කොම හැබෑ යූ.ඇන්.පී. කාරයොද කියල සැකයක් මට තියෙනවා… එදත් අදත් හෙටත් ගමේ ඉඳන් ගමේ මිනිස්සු එක්ක දේශපාලනය කරන අපි තමයි හැබෑ යූ.ඇන්.පී.කාරයො…’’ ආදී වශයෙන් රවී කියන්නට යන කතාව නායක රනිල් වික්‍රමසිංහට රිස්සුවේ නැත.

‘‘සිට් ඩවුන්… සිට් ඩවුන්…’’ කෘත්‍යාධිකාරියේ දී තමන්ගේ අභිමතයට පිටින් යන කවරෙකු වුවත් මෙල්ල කිරීම සඳහා හැමදාමත් රනිල් දෙන සුපුරුදු විධානය මෙදා රවින්ද්‍ර සමරවීරටත් දුන්නේ ය.

රනිල්ගේ ‘සිට් ඩවුන්’ විධානයට ‘අසූ හාරදාහකටත් වඩා වැඩියෙන්’ කේන්ති ගිය රවින්ද්‍ර සමරවීර තමන් සිටි තැනින් ඉවත්ව කෙළින් ම රනිල් ළඟටම ගියේ ය.

‘‘තමුසෙ කොහොමද මට වාඩිවෙන්න කියන්නෙ… තමුසෙ හදන්නෙ මේ පාරත් මේ පක්ෂය පරද්දන්න… ’’ කියමින් රවී රනිල්ගේ ඇඟට කඩා පැන්නේය.

කොපමණ ගැටලු පැන නැඟුණත් මේ වන තෙක් කිසිවෙකුත් රනිල්ට ‘තමුසේ’ කියා නැත. එම නිසා එදා, බ්‍රහස්පතින්දා කෘත්‍යාධිකාරී රැස්වීමේ තත්ත්වය අන් කවරදාකටත් වඩා දරුණු විය. අප්‍රසන්න විය.

රවීගේ කතාවට වැඩිපුරම තරහ ගියේ පාලිත රංගේ බණ්ඩාරට ය. ඉන් අනතුරුව රවින්ද්‍ර සමරවීර සහ පාලිත රංගේ බණ්ඩාර අතිශය උණුසුම් වාග් ප්‍රහාර මාලාවකට මැදි විය. මේ අතර සජිත් පිල සහ රනිල් පිල යළිත් දෙකට බෙදී වාද විවාද කරගන්නට පටන්ගත් අතර ‘කටින් යුද්ධය’ ක්‍රම ක්‍රමයෙන් ‘අතින් පයින් යුද්ධයකට’ යා නොදී රැස්වීම අතරමඟ නැවැත්විණි.

‘‘කරු, නවීන් වගේ පක්ෂෙන් පැනල ගියපු අයට තමයි දැන් අලියා ලොකුවෙලා තියෙන්නෙ… මේක රනිල්ල ගෙ ඩීල් එකක්… ඕගොල්ලො ඔහොම කරන්නෙ, මහින්ද රාජපක්ෂට ‘තුනෙන් දෙකක’ පාර්ලිමේන්තුවක් හදල දෙන්න…’’ පසුපෙළේ සිටි මන්ත්‍රීවරයෙක් මහා හයියෙන් කියනු ඇසුණේ ය.

(Visited 7 times, 1 visits today)

Leave a Comment