විකෘති කිරීම් නවතා අදහස්වලට සවන් දෙනු

විශේෂ නිවේදනය

විකෘති කිරීම් නවතා අදහස්වලට සවන් දෙනු

රටක් ලෙස අප මුහුණ දී සිටින ව්‍යසනකාරී තත්ත්වය තුල පවා ඇතැම් පාර්ශව සිය මෘග්ධ දේශපාලන අරමුණු ඉස්මතුකරගෙන කටයුතු කරන ආකාරයක් දක්නට ලැබීම කණගාටුවට කරුණකි.

හිටපු විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනතාවාදී ව ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන අදහස් විකෘති කරමින් සිදු කරන ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරමු .

එක් අතකින් විපක්ෂයේ අදහස් පසෙක ලා ආණ්ඩුව ක්‍රියා කරන්නේ නම් එය ජන සම්මතවාදී පාලනය අභියෝගයට ලක් වීමකි .

කොරොන උවදුර පිළිබදව මෙරට පාර්ලිමේන්තුව තුල මුලින්ම කරුණු අනාවරණය කළ මහජන නියෝජිතයා වූයේත්,නිරන්තරයෙන්ම ජනතාව දැනුවත් කළ සහ රජයේ අවධානය මේ උදෙසා යොමුකළ තැනැත්තා වූයේත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බව නොරහසකි .

කෙසේ වෙතත් සමාජයේ හිතසුව පිණිස ඔහු විසින් කරන ලද ප්‍රකාශ විකෘති කරමින් පිළිකුල් සහගත භාවිතාවක යෙදෙන දේශපාලනයක් සමාජ ජාල ආශ්‍රිතව ක්‍රියාත්මක වේ.

එහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ ඔහු විසින් කොරොනා මැඩලීම උදෙසා ඖෂධ කිහිපයක නම් සදහන් කොට ඇති බවට වන ප්‍රකාශයයි.

කොරෝනා වෛරසය පිළිබඳ ව ලෝකයේ අවධානයට යොමු ව ඇති ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ව ආණ්ඩුවේ අවධානය යොමු කිරීම වගකීමක් ඇති දේශපාලන නායකයකු ලෙස ඉටු කරනුයේ මහජන නියෝජිතයෙකුට අදහස් පළ කිරීම සඳහා තිබෙන පාර්ලිමේන්තුව රැස් නොකිරීම නිසා ය .

ජනතාව වෙනුවෙන් මහජන නියෝජිතයින්ට විවිධ පාර්ශ්ව මගින්ලබා දෙන ලැබෙන තොරතුරු ඉදිරිපත් කිරීම වග කීමෙන් ඔබ්බට ගිය වගවීමකි .

කිසිම විටෙක ඔහු විසින් එම ඖෂධ නිර්දේශ නොකළ අතර ඒ පිළිබදව ප්‍රාමාණිකයින්ගේ අවධානයට යොමු කළා පමණි.

එහෙත් පණිවිඩකරුට වෙඩි තැබීමේ අශිෂ්ට භාවිතාව පිළිබඳව දන්නා අපි ඔවුන්ගේ පිළිකුල් සහගත ක්‍රියාපිළිවෙත ඊට අදාල පිළිකුලෙන්ම හෙලා දකිමු.

අදහස් විකෘති කරමින් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක සිහිනය සැබෑ කර ගැනීමට පටු අරමුණු තුළ ක්‍රියා කිරීම මෙම අර්බුදය විසඳීමට නොව උත්සන්න වීම ට හේතුවකි .

මේ ව්‍යසනය තුල පවා ගර්හිත දේශපාලනයක යෙදීම අප්‍රසන්නය.

මේ මොහොතේ වහා ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති වරයාට හිමි බලය භාවිතා කොට පාර්ලිමේන්තු ව කැඳවන ලෙස යලිත් ඉල්ලා සිටින අතර එම නිසා වහාම පාර්ලිමේන්තුව රැස් කරන ලෙස යළිත් අවධාරණය කරන අතර සජිත් ප්‍රේමදාස මැතිතුමා මීට පෙර ඉල්ලා සිටි පරිදි සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ද ජනාධිපති තුමාට යලිත් අවධාරණය කරමු .

එසේ නොකොට ජනතා නියෝජිතයින් දක්වන අදහස් විකෘති කොට ප්‍රචාරය කරමින් තමන් විසින් නඩත්තු කරන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුලින් කරනු ලබන බියගුලු දේශපාලනය වහා ම අත් හරින ලෙස ආණ්ඩුවේ සියලු පාර්ශව වලට සිහිපත් කරනු කැමැත්තෙමු.

ස්තූතියි

හරින් ප්‍රනාන්දු

සමගි ජනබලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී

(Visited 13 times, 1 visits today)

Related posts

Leave a Comment